2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

බ‍ෙරේට තිබූ තැන අපි ව‍ෙනස් කළා.....

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 156

මෙරට සංගීත ක්ෂේත්‍රයට නව ආරක් බිහි කළ මෑතකාලීන ශිල්පීන් අතර Naadro තාල වාද්‍ය කණ්ඩායමට හිමිවන්නේ සුවිශේෂී තැනකි. දේශීය සම්ප්‍රදාය මෙන්ම ලෝකය පුරා විසිරි පැතිරී පවත්නා තාල වාද්‍ය දැනුම නිසි පමණට උකහා ගනිමින් මෙරට තාල වාද්‍ය සංගීතය ජනප්‍රිය කරවීමට ඔවුන්ගෙන් සිදුව ඇති කාර්යය සුළුකොට තැකිය නොහැක. එවන් ගමනක් පැමිණි Naadro මේ වසරේ තම දසවැනි උපන් දිනය සමරයි. දසවැන්න සැමරීමට Naadro ශිල්පීන්ගේ සූදානම කුමක්දැයි එහි නායක රඛිත වික්‍රමනායක සමඟ පැවැති සුහද පිළිසඳරක් මෙසේ දිගහැරේ. 

අවුරුදු දහයක් ගෙවිලා ගිහින්. මොකද හිතෙන්නෙ ඇත්තටම? 
ගෙවුණු කාලය දිහා හැරිලා බලද්දි මට හිතෙන්නෙ විශේෂයෙන්ම තරුණ පරම්පරාවට හොඳ දෙයක් දෙන්න අපිට පුළුවන් වුණා කියලා. ජාත්‍යන්තර තලයේ තියෙන අර්ථවත් දෙයක් ලංකාවට ගෙනත් ප්‍රචලිත කරන්න අපිට පුළුවන් වුණා කියලා හිතෙනවා. බෙරේට තිබ්බ තැන වෙනස් කරන්න අපිට හැකිවුණා කියන එකයි මගේ විශ්වාසය. 

Naadro ට කලින් ජනප්‍රිය තාල වාදනයක් අපේ රටේ තිබ්බෙ නැද්ද? 
තිබුණා. මම නැහැ කියන්නෙ නෑ. මගේ ගුරුතුමා පියසාර ශිල්පාධිපති, රවිබන්දු සර්, ජනනාත් අයියා, එලිෆන්ට් ෆුට් වගේ අය හිටියා. අපි කළේ දේශීය බෙර වගේම අප්‍රිකානු, ලතින් අමෙරිකානු බෙර ආදී සියල්ල එකතුකරගෙන රූප වින්‍යාසයකුත් එක්ක හොඳ වේදිකා නිර්මාණ විදිහට තාල වාදනය හඳුන්වාදීමයි. ඒක ලොකු වෙනසක් වුණා.

දැන් තාල වාද්‍ය කණ්ඩායම් සෑහෙන ප්‍රමාණයක් රට පුරා ඉන්නවා. Naadro ට අභියෝගයක් නෙමෙයිද මේ අලුත් කණ්ඩායම්? 
අභියෝගයක් නැහැ. මොකද අපි වැඩ කරන්නෙ අපිටම අනන්‍ය වුණු රීති කිහිපයක් එක්කයි. අපි යොදාගන්න බෙර, අපේ තාක්ෂණය, පාවිච්චි කරන මයික් එක විතරක් නෙමේ, අඳින ඇඳුම්වල පවා ප්‍රමිතියක් තියෙනවා. අපි ඒ ප්‍රමිතියෙන් පල්ලෙහාට යන්නෙ නෑ. එතකොට කවුරුවත් අභියෝගයක් නොවන විදිහට වැඩ කරන්න අපිට පුළුවන් වෙනවා. 

දසවසර සැමරුමට අලුත්ම වැඩක් කරන Naadro  

පටන් ගනිද්දි හිතුවද අවුරුදු දහයක් තරම් දුර එන්න පුළුවන් වෙයි කියලා? 
අවංකවම හිතුණෙ නෑ. මට පොඩි කාලෙ ඉඳන්ම තිබුණා බෙර ගැන උණක්. බෙර ගහන්න, බෙර එකතු කරන්න ආසාවක් තිබ්බා. රාජකීය විද්‍යාලයේ සාගා ප්‍රසංගය කරද්දි තමා බටහිර තිබුණු බෙර වර්ග ගැන මම හොයන්න ගත්තෙ. ඔහොම යද්දි තමා මට තාල වාද්‍ය සංගීතය කියලා දෙයක් තියෙන බව තේරුණේ. ඒ ආසාවට එදා පටන් ගත්තට මෙච්චර දුර ගමනක් එයි කියලා හිතුණෙ නෑ. 

අවුරුදු දහය සැමරීමට ලොකු වැඩක් කරන්න යනවා කියලා ආරංචියි...
ගෙවුණු අවුරුදු දහයේ අපිට විවිධ කඩඉම් තිබුණා. දැවැන්ත ප්‍රසංග සහ වැඩසටහන් කිහිපයක්ම අපි කළා. ඉතින් අවුරුදු දහයක් යද්දි අපි මොකක්ද කළ යුත්තේ කියලා මම කල්පනා කළා. ඒ අනුව තාල වාදනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ වැඩක් ලංකාව ඇතුළෙ කරන්න අපි දැන් සැලසුම්කරලා තියෙනවා. 

මොකක්ද ඒ ජාත්‍යන්තර වැඩේ? 
ඒ තමයි Naadro BeraFest 2017. නොවැම්බර් 26 වැනිදා උදේ ඉඳන් අපි කොළඹ විහාරමහා දේවී එළිමහන් රංග පීඨය අවට විශේෂ වැඩසටහන් මාලාවක් සූදානම් කරලා තියෙනවා. උදේ නමයට පටන් ගත්තම තැන් කිහිපයක වැඩසටහන් කිහිපයක් පැවැත්වෙනවා. එක තැනක ත්‍රිවිධ හමුදා සහ පොලිස් බෑන්ඩ්වල ඉදිරිපත් කිරීම් වගේම Sri Lanka Youth සහ තවත් පිරිස් කිහිපයක ඉදිරිපත් කිරීම් එතැන තියෙනවා. ඊළඟට අපි ගාව  තියෙන ලංකාවෙ ලොකුම තාල වාද්‍ය භාණ්ඩ එකතුව ප්‍රදර්ශනයක් ලෙස තවත් තැනක පෙන්වනවා. ඒ වගේම පැමිණෙන අයට බෙර වාදනය කරමින් ඡායාරූප ගන්න, තමන් වාදනය කරපු සංගීත ඛණ්ඩය පටිගත කරගන්න වගේ පහසුකම් ගොඩක් මෙතැන තියෙනවා. ඒ වගේම දේශීය සහ ජාත්‍යන්තර තාල වාද්‍ය ශිල්පීන්ගේ වැඩමුළු පැවැත්වෙනවා.  හවස පහේ ඉඳන් හය වෙනකල්, මේරියන්ස්, වායෝ, ඩැඩී, මිස්ටී වගේ බෑන්ඩ්ස් වල ඉන්න ඩ්‍රම් වාදකයන්ට තනි තනිව තමන්ගෙ දක්ෂතා ඉදිරිපත් කරන්න වෙලාවක් වෙන් කරලා තියෙනවා. මේ සියල්ල නොමිලේ තමයි සිද්ධ වෙන්නෙ. 

හයෙන් පස්සෙ? 
ඊට පස්සෙ තමා අපේ ප්‍රධානම සංදර්ශනය පැවැත්වෙන්නෙ, එළිමහන් රංග පීඨෙ ඇතුළෙ. මහේෂ් දෙනිපිටිය විසි දෙනෙකුගේ වාද්‍ය වෘන්දයක් සමඟ සංගීතය සපයනවා. Naadro ඉදිරිපත් කිරීම් එතැනදි දකින්න පුළුවන්. තව මේකට ජියොවානි හිඩල්ගෝ කියන ලෝකෙ හොඳම තාල වාදන ශිල්පියා සහභාගි වෙනවා. එංගලන්තෙන් පීට් ලොකෙට් කියලා ශිල්පියෙක් එනවා. ඉන්දියාවේ රාජස්ථානයේ ජන සංගීත ශිල්පීන් කිහිපදෙනෙකුත් පැමිණෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක් වේවි. ඊට අමතරව අපේ රටේ තවත් තාල වාදන ශිල්පීන් රැසකගේ ඉදිරිපත් කිරීම් දැකගන්න පුළුවන්. ඊට පස්සෙ භාතිය සන්තුෂ්, කසුන් කල්හාර, ඩැඩී, චිත්‍රාල් සෝමපාල, ළහිරු පෙරේරා කියන ශිල්පීන් පස්දෙනා එක්ක පහුගිය කාලෙ අපි කරපු නිර්මාණත් මෙතැනදී පෙන්වනවා. 

► Text – Rajitha  / Pic - Samantha