2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

සැත්කමට ගියේ අත උඩ දාගෙනලු

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

කාලෙන් කාලෙට රෝහල්වල සිදුවෙන අත්වැරදීම් ගැන අපට ආරංචිවෙලා තියෙනවනෙ.

දකුණු ඇහැ වෙනුවට වම් ඇහැ ශල්‍යකර්මයකට භාජනය කරපු හැටි වගේම වම් අත වෙනුවට දකුණු අත කපපු ඇඟ කිළිපොළා යන ආරංචිත් අපට අමතක නැහැනෙ. සමහරුන්ට නම් මේවා ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.
කලා ලොවට සම්බන්ධ ශිල්පියෙක් ළඟදි පෞද්ගලික රෝහලකට ඇතුළු වුණාලු. වම් අතේ වළලුකර ළඟ තියෙන පුංචි ගෙඩියක් ශල්‍යකර්මයකින් කපලා අයින් කරන්න.

ශල්‍යකර්මය සිදුවන දවසෙ මෙයා දොස්තරලගෙන් නර්ස්ලගෙන් තොරතෝංචියක් නැතුව අහනවලු, එයාව සිහි නැති කරලද ඔපරේෂන් එක කරන්නෙ කියලා.
නැහැ නැහැ, ඒ හරිය විතරයි අපි නිර්වින්දනය කරන්නෙ. මොකෝ ඔය තරම් බයවෙලා. දොස්තර මහත්තයා ඇහුවලු.

අපි අහලා තියෙන දේවල්වල හැටියට ලෙඩ්ඩු හැටියට අපි බයවෙන්න එපායැ මහත්තයො. මම ඔපරේට් තියටර් එකට යනකොට වම් අත උඩට උස්සගෙන යන්න හිතාගෙන ඉන්නෙ. නැත්නම් වැරදිලා දකුණු අත ඔපරේට් කළොත් ඉතින් ඉඳලා වැඩක් නැහැනෙ. ඔහු කිව්වලු.

 

වෙලාවට සල්ලි නොගෙව්වොත් ලෙඩ්ඩු මරණ හොස්පිට්ල්

දර්ශන තලයකට පැමිණි ප්‍රවීණ කලා ශිල්පියෙක් ඔහු පහුගිය දවසක මුහුණ දීපු අත්දැකීමක් විස්තර කළාම අහන් හිටපු කට්ටිය විශ්වාස කළෙත් නැහැලු. ඒත් ඒක තමයිලු ඇත්ත.
වෛද්‍යවරු දෙවිවරුන්ට සම කළේ ඉස්සර. දැන් නම් එහෙම වෛද්‍යවරු බෙහෙතකටවත් හොයාගන්න බැහැ. හැබැයි ඉතින් එහෙම අය නැතුව නෙවෙයි, නමුත් ඒ අයට ඉස්මතුවෙන්න ඉඩක් නැති විදිහට සිස්ටම් එක හැඩගැහිලා. අද හැමදෙයක්ම මුදල්වලට යටවෙලා. ඔහු කිව්වලු. 

මොකෝ අයියෙ සීන් එක...

දුක් සීන් එකක් තමයි මල්ලි. අපේ ඥාති සහෝදරයෙක් ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක මාසයක් විතර ප්‍රතිකාරවලට නැවතිලා හිටියෙ. දවස් දෙක තුනකට සැරයක් බිල ගෙවනවා. ඔන්න පහුගිය සතියෙ එයාට අමාරුවෙලා ICU එකට දාලා. එහෙට දාලා පැයක් ගිහිල්ලත් නැහැ. රෝහලේ ගිණුම් අංශයෙන් පවුලේ කෙනෙකුට කතා කරලා කියනවලු, බිලේ හිඟ මුදල් මොකුත් තියන්න එපා කියලා.
ඕගොල්ලො ලෙඩා ගැන හිතනවනම් බිල වෙලාවට ගෙවන්න, මොකද අපේ ගිණුම් අංශයේ සිස්ටම් එක ලෙඩාට ප්‍රතිකාර කරන ICU එකේ සිස්ටම් එකට ලින්ක් කරලා තියෙන්නෙ. මුදල් ගෙවීම බ්ලොක් වුණොත් ලෙඩාට කරන ප්‍රතිකාරත් බ්ලොක් වෙනවා. අර නිලධාරියා කිව්වලු.

අනේ මෙහෙමත් කුරිරු ලෝකයක්.

 

සෙල්ෆි පහෙන් ස්ටික් බ්ලාස්ට්

පහුගිය දවසක තරුණ කලාවේදිනියකට වුවමනා වුණාලු එයාගෙ හොඳම යාළුවගේ පොඩි පුතාගෙ උපන් දිනේට හොඳ තෑග්ගක් ගන්න.
මල්වත්ත පාර දිගේ ගියාම තියෙන ලොකු සෙල්ලම් බඩු කඩේකට ගිහින් එන ගමන්, කාලෙකින් පිටකොටුව පැත්තට ආපු නිසා ඒ පැත්තෙ ප්‍රසිද්ධ වීදි දෙක තුනක පොඩි රවුමක් ගැහුවලු. පාර දෙපැත්තෙ වෙළෙන්දො විකුණන භාණ්ඩ අතර මෙයාගෙ හිත ගියේ ලාබෙට විකුණන සෙල්ෆි ස්ටික්වලට. කාලෙක ඉඳන් තිබුණු ආසාවක් මුදුන්පත් කරමින් ඇය සෙල්ෆි ස්ටික් එකක් අරගෙන ගෙදර ගියාලු.

ගිය ගමන්ම කළේ පවුලේ අය ළංකරගෙන සෙල්ෆි ටිකක් ගන්න එකලු. හරියටම පස්වැනි සෙල්ෆිය ගන්නකොටම ස්ටික් එක හරි මැදින් කැඩුනලු.

එයාගෙ මල්ලිවත් කතා කරගෙන මෙයා ආයෙත් යන්න හදනවලු ඒක මාරු කරගන්න. පිටකොටුව පේමන්ට් එකේ බඩු එක්ස්චේන්ජර් කරන්නෙ නැහැයි කිව්වට මෙයා අහන්නෙම නැහැල්ලු. බැරිම තැන කාමරේ වහගෙන පැය දෙකක් විතර අඬාගෙන පස්සෙ එළියට ඇවිත් යථාර්ථය තේරුම් ගත්තලු.

 

පොකො මරුට

පොකො මරුට කියලා ප්‍රවෘත්තියක ශීර්ෂ පාඨයක් තිබ්බම කවුරුත් ඒ ගැන විමසිලිමත් වෙන එක අහන්න දෙයක් නෙවෙයිනෙ. මේකත් පහුගිය දවසක වෙබ්සයිට් එකක තිබුණ නිවුස් එකක්. කතාව තේරැරුම් ගත්තෙ ඒක කියෙව්වට පස්සෙ. කැකිරාව පැත්තෙ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නෙ.

ඔය කතාව කියවපු ගමන් මගේ මතකයට ආවෙ මීට ටික කලකට කළින් අපේ හොඳම හිතවතෙක් කියපු කතාවක්.

හමුදාවෙ පුහුණුව ලබන කාන්තා සෙබළියක් වෙනත් අංශයක අමතර පුහුණුවක් සඳහා ගිය වෙලාවෙ එතන හිටිය ප්‍රධානියා මෙයාගෙ නම ඇහුවලු.
ආකාසෙ තාරුකා
මොකා?
ආධුනික කාන්තා සෙබළ තාරුකා කියලා ඇය කිව්වලු.

 

ඔයාගෙ ගෙදර එන්නද?

ඔන්න ළඟදි දවසක අපේ දන්න කියන රංගන ශිල්පියෙක් ඔහුගේ පුතාව ගන්න ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ගියාලු. එදා වාහනේ සර්විස් එකට දාලා තිබුණ නිසා පුතාව ගෙදර ගේන්න හිටියෙ ත්‍රීවිල් එකකින්. ඒත් ඒ දවස්වල තිබුණ තෙල් අර්බුදයත් එක්ක එයා නවත්තන හැම ත්‍රීවිල් රියැදුරෙක්ම කියන්නෙ එයා යන පැත්තට යන්නෙ නැහැ කියලලු.

ඒ වගේ ත්‍රීවිල් පහ හයක්ම මෙයාව මඟඇරලා ගියාම මෙයාට මළ පැන්නලු.

ඊළඟට ආපු ත්‍රීවිල් රියැදුරාත් කිව්වෙ එහෙම කතාවක්ලු.

මල්ලි එහෙනම් ඔයා කියන්නෙ මට කොයි පැත්තට යන්න කියලද? ඕගොල්ලන්ගෙ ගෙදරටද මට යන්න කියන්නෙ. ඔහු කේන්තියෙන් කිව්වලු.
 

► Text - Mithra