2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

දැහැන

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

පත්තරේ පිටු Layout කරද්දී පාට වැඩිය දාන්න එපා. පාට ඉක්මනට ඉවර වෙනවා.. Layout ගැන Training එකකට ආව අලුත් එකෙකුට අපේ Layout Artist එහෙම කීවම.. අර පොඩි එකා හිතුවෙ ඒ කතාව ඇත්තක් කියලා. ආ.. මම දන්නෑනේ අයියේ.. මම එහෙනම් ආය පාට දෙක තුනක් දාලා පිටු හදන්නම්... ඔන්න Layout ගැන පුහුණුවට ආව අලුත් ළමයගේ දැනුම... අපි එයා නැති තැන ඒක ජෝක් එකකට අරන් හිනා වුණත් අද පරම්පරාවේ හුඟක් කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප්‍රායෝගික දැනුම ගැන වගේම ඉතිහාසය, සාහිත්‍ය වැනි විෂයන් සම්බන්ධව දැනුමත් බිංඳුවේ. උන්ගෙ ලෝකේ උන් දන්නා එකම දේ තාක්ෂණය. ඒකත් සමහර වෙලාවට බාගෙට. මේ අතරේ පොත පත කියවන සාහිත්‍ය ඉතිහාසය තාක්ෂණය වගේම ඉංග්‍රීසිත් හරියට ඉගෙනගත්ත අද ලෝකෙට අවශ්‍ය ප්‍රායෝගික දැනුමෙන් පූර්ණ පරම්පරාවකුත් මැට්ටන් සහ අර්ධ මැට්ටන් අතරෙ ඉන්නවා.

අමරදේව මාස්ටර්ගෙ ආදාහනය දවසේ අමරදේවට අවසන් බුහුමන් දක්වන්නට පැමිණි ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් අපේ ඡායාරූප ශිල්පියාගේ කැමරා ඇසට හසුවී තිබුණා. ඒ මහාචාර්යවරයා නිතර මාධ්‍යයේ දකින්න ඉන්න මහාචාර්යවරයෙක් නිසා එයාව දැක්ක ගමන් ඕනෑම කෙනෙක් එයා කවුද කියලා දන්නවා. එහෙව් එකේ එදා අපේ පිටු හදපු අපේ පිටු සැකසුම් ශිල්පියෙක් අපේ ඡායාරූප ශිල්පියාගෙන් ඇහුවා කවුද මචං මේ කියලා. මුදලාලි කෙනෙක් බං.. නුගේගොඩ පැත්තේ.. ඡායාරූප ශිල්පියා උත්තර දුන්නා... ආ එහෙමද ?ඡායාරූප ශිල්පියාට මළ පැන්නෙ ඊළඟට... උඹලා ඉගෙනගත්තේ කොරියාවේද? උඹලා ඔච්චර කල් හිටියේ ලංකාවේ නෙවෙයිද? පොඩ්ඩක් ඇත්නම් අසූ හාරදහට කේන්ති යන, ඒ ගුණාංගයේ තරම කොච්චරද කියනවනම් කසාද බඳින දවසේ ඒ නිසාම කලින් වැඩ කරපු පත්තරේ යාළුවන්ගෙන් මංගල තෑග්ගක් විදිහට කොහිල පාර්සලයකුත් ලබපු කෙනෙක් තමා අපේ photographer.... එදා මහාචාර්යවරයෙක් නිසා අපේ Layout Artist නෑව නෑමටම සමාන නෑමක් මේ ළඟදී අපේ තවත් layout Artist කෙනෙක් නෑවා... එයා Layout Artist වගේම photographer.. Computer ගැන.. අලුත් අලුත් phone, Tab ගැන එයාගෙ දැනුම අවුලක් නෑ.....ඒත් එක  පැත්තක් බාගෙට හිස් කිව්වොත් හරියටම හරි. ඔන්න අපි ගාල්ලෙ වැඩ වගයකට ගියා.. එදා අපි කොග්ගල පිහිටි එදා මෙදා තුර අපේ රටේ බිහි වූ මහා සහිත්‍යවේදියෙකු වෙනුවෙන් ඉදි වූ ජන කෞතුකාගාරයකට ගිහින් බැස්සා විතරයි අපේ photographer ඇහුවා ඒ කවුද ඒ? එයා මෙච්චර පොත් ලියලා තියෙනවද කියලා... 

අද සරසවියේ ඉගෙන ගන්න හුඟක් දරුවොත් කියවන්නේ විෂයට අදාළ පොත් විතරයි.. එයාලගේ Target එකත් උපාධිය සහ රැකියාව. සමාජයේ සැකැස්ම වාණිජ අරමුණු තුළ රාමුගත වීමත්, ලිහිල්වීමත්, පරිභෝගිකවදී වීමත්, අතිධාවනකාරී වීමත් යන ප්‍රධාන කරුණු හතර තුළ අධ්‍යාපනයේ සහ දැනුම් ගවේෂණයේත් අරමුණු වෙනස්වෙලා. ඒ නිසා යම් යම් විෂයන් සම්බන්ධ  දැනුම වගේම ප්‍රාෙයා්ගික සමාජ සිද්ධාන්ත බොහොමයක්  විෂ‍යෙහිත් යාවත්කාලීන නොවන අලුත් පරපුරට අපිට කෙළින්ම ඇඟිල්ල දිගු කරන්න බෑ... මොකද සාධාරණ න්‍යාය වෙන්නෙ වරදට පෙරාතුව වරදේ හේතුවට පිළිතුරු සැපයිය යුතු නිසා. 

I Sanju