2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ජෝර්ජ් බබා රැකගන්න ලාෙකු හමුදාවක්

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

බ්‍රිතාන්‍ය කිරීටයේ තුන්වැනි උරුමක්කරු පුංචි ජෝර්ජ් කුමරුවා තම පාසල් දිවිය ආරම්භ කළේ මීට මාස දෙකකට පමණ උඩදීය. නිල් පැහැ කමිසයකිනුත් කොට කලිසමකිනුත් සැරසී පාසල් යන්නට පටන්ගත් කුමරාගේ සේයා රූ කිසිදු භේදයකින් තොරව සියලු ලෝකවාසීන්ගේ දෑස් සතුටින් තවරන්නට සමත්විය. එහෙත් කුමරුගේ එවන් සුන්දර ඡායාරූපයක් අසුන්දර කටයුත්තකට යොදාගන්නටද පිරිසක් පසුගියදා ක්‍රියා කළහ. ඒ අන් කවුරුවත් නොව සිත් පිත් නැති කෘෘර අයිසිස් ම්ලේච්ඡයින් ය. 

මීට පෙර අවස්ථා කිහිපයකදීම අයිසිස් ත්‍රස්තයින් විසින් බ්‍රිතාන්‍ය රජ පවුලට මරණ තර්ජන එල්ල කර තිබුණි. දෙවැනි ලෝක යුද සමාප්තියේ හැත්තෑ වැනි සංවත්සරය සමරන අවස්ථාවේදී එනම්, 2015දී බ්‍රිතාන්‍ය රැජනට එම ත්‍රස්තයෝ තර්ජනය කළහ. ඉන්පසු මීට මාසයකට පමණ උඩදී ජෝර්ජ් කුමරුගේ බාප්පා වන හැරී කුමරුට අයිසිස්වරු තර්ජනය කර තිබුණේ හැරී නිර්භය පුද්ගලයෙක් නම් තමන් හා සටන් වැදීමට පැමිණිය යුතු බව ය. එසේ පැමිණෙන හැරීව අපායේ ගින්නට තල්ලු කරදැමීමට තමන් සූදානම් යැයිද මෙම ත්‍රස්තයෝ වහසි බස් දෙඩූහ. ඔවුන්ගේ අලුත්ම ඉලක්කය වී ඇත්තේ යන්තම් සිව් හැවිරිදි විය සම්පූර්ණ කළ ජෝර්ජ් කුමරුය. 

ජංගම දුරකථන සන්නිවේදන මෘදුකාංගයක් වන ටෙලිග්‍රෑම් හරහා අයිඑස් ත්‍රස්තයින් එවන ලද කෙටි පණිවුඩයක කුඩා කුමරුවා පාසල අසල සිට ගෙන තිබූ ඡායාරූපයක් අන්තර්ගත වී තිබුණේ, රජ පවුලේ අන් කිසිවෙකුත් අත් නොහරින බව සඳහන් කරමිනි. තවද School starts early (පාසල වේලාසනින් පටන්ගනී) යනුවෙන් ද එම පණිවුඩයේ සඳහන් වී ඇත. 

එම කෙටි පණිවුඩයේ ජිහාඩ්වරුන්ගේ ගීතයක් ලෙස සැලකෙන “when war comes with the melody of bullets, we descend on disbelief, desiring retaliation” (වෙඩි උණ්ඩවල තාලයට යුද්ධය පැමිණි විට, අපි අවිශ්වාසය අත්හැර පළිගැනීම බලාපොරොත්තුවෙන් හිඳිමු)  යන්න ද අරාබි අක්ෂරවලින් ලියැවී තිබූ බව සඳහන් වේ. 

බ්‍රිතාන්‍ය බුද්ධි අංශ පෙන්වා දෙන්නේ මෙය ඉතාම බරපතළ තත්ත්වයක් බවය. මෙය කුමරුගේ ජීවිතයට එල්ල වුණු දැවැන්ත තර්ජනයක් ලෙස සලකා තමන් කටයුතු කරන බව බුද්ධි අංශ පවසා තිබේ.  
ටෙලිග්‍රෑම් මේ වනවිටත් අයිඑස් ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා බහුලව භාවිත කරන ක්‍රමවේදයකි. මෑතකදී පැරිසියට එල්ල වූ අයිඑස් ප්‍රහාරයේදීද මෙම ටෙලිග්‍රෑම් මෘදුකාංගය තම සන්නිවේදන කටයුතු සඳහා ත්‍රස්තයින් විසින් භාවිතයට ගෙන තිබුණි. 
ජෝර්ජ් කුමරුට ත්‍රස්තවාදීන්ගේ තර්ජන එල්ලවීමත් සමඟ බ්‍රිතාන්‍ය වැසියන් මහත් කෝපයට පත්ව සිටින බවද එරටින් දැනගන්නට තිබේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් බ්‍රිතාන්‍ය ජාතිකයින් අයිසිස් ත්‍රස්තයින්ට ශාප කරන්නටත් ජෝර්ජ් කුමරැ වෙනුවෙන් දෙවියන් යදින්නටත් පෙළඹී සිටිති. 

“ඔහු (ජෝර්ජ්) තාම පුංචි දරැවෙක්. ඔහුව ඝාතනය කරන්න කෙනෙක්ට හිතන්නවත් පුළුවන් ද?” 
“පොඩි දරුවෙක් මරන්න කුමන්ත්‍රණය කිරීම තරම් දුෂ්ට දෙයක් තවත් මේ ලෝකෙ නැහැ”
“දෙවියන්ගෙ නාමෙට ජෝර්ජ් කුමාරයාට කිසිම හානියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා” 
දහස් ගණන් බ්‍රිතාන්‍ය වැසියෝ ලෝකයේම ආදරය දිනූ තම රජ කුමරුවා ගැන ට්විටර්, ෆේස්බුක් හරහා අදහස් පළ කොට තිබුණේ එලෙසිනි. 

මෙම තර්ජනයත් සමඟ බ්‍රිතානයේ අනාගත රජුට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැපයීමට එරට පොලිස් හා බුද්ධි අංශ මේ වනවිට දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද දැනගන්නට තිබේ. ඊට ඔහුගේ පාසල වන තෝමස් බැටර්සී පාසලෙන් ද විශාල සහයෝගයක් ලැබී තිබේ. කෙසේ නමුත් ජෝර්ජ් කුමරු පාසල් ගමන ආරම්භ කරන අවස්ථාවේදී ද බොහෝ පාර්ශ්ව පෙන්වා දී තිබුණේ බැටර්සී පාසලේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවය. 
එහෙත් විවෘතවම රජ කුමරුවාට තර්ජන ඉදිරිපත් වී ඇති මේ මොහොතේදී ආරක්ෂාවේ ඇති කුඩාම සිදුරක් වුව වසා දැමීමට බ්‍රිතාන්‍ය බලධාරීන් උත්සුක වනු ඇති බවට සැක නැත. 

► Text - Rajitha