2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

අවතාර ගැවසෙන කළපුවේ දවසක්

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 312

හිරුගෙ රැස් වලාකුළු මත පරාවර්තනය වී වලාකුළු අග්ගිස්ස රිදී පාට රේන්දවලින් දිලිසුන ඒ උදෑසන අපි හිටියෙ ඔරුවක. අපි ඔරුවට නැගුණේ කලපු යාත්‍රාවක යාත්‍රා අත්දැකීම විඳගන්න. රාත්‍රියේ THANGALLA VILLA LANGOON හි ගත කළ අපි එදා උදේම තංගල්ල මුහුදෙන් නාලා ඊළඟට ආවේ මැඩිල්ල කළපුවට. පැය දෙකකටත් වැඩි කාලයක් අපි හෙමින් සීරුවේ හබල් ගගා කළපු දියත් එක්ක හරඹ කරන ඔරුවෙ නැගලා මඩිල්ල කළපුවේ වටේ අපේ යාත්‍රාව පටන් ගත්තා. walk 111 එක්ක අද අපි ඔයාව එක්ක යන්නෙ ඔරුවෙන් කලපු යාත්‍රාවක්...

උදේ 6.00 වෙද්දී ආවොත් හිතේ හැටියට කුරැල්ලන් බලන්න පුළුවන් කීව නිසා අපි උදේම ආවා මැඩිල්ල කළපුව ඉස්මත්තට. අපිට කලපු දියේ යාත්‍රා කරන්න ඔරුව දුන්නෙ ප්‍රදීප්. ඔරුවෙන් කලපු යාත්‍රාවට අකමැති කෙනෙක් ඉන්නවනම් කයැක් වර්ගයේ බෝට්ටු වුණත් තියෙනවා. Single, Double, Family මේ ඕනෑම කයැක් වර්ගයේ කයැක් එකක් ඔයාට වෙන්කරගන්න පුළුවන්. අපිට ඕන වුණේ ඔරුවෙන් යන්න නිසා අපි අපේ ගමන ඔරුවෙන් පටන් ගත්තා.

මැඩිල්ල කළපුව දිගේ රැකව කළපුව තෙක් යන්න පුළුවන්. මැඩිල්ල කළපුවේ ඉඳන් රැකව කළපුවට තියෙන්නෙ කිලෝමීටර් හයක විතර දුරක්. මැඩිල්ල කළපුවේ ඉඳන් රුකව බලා යද්දී එක තැනක ගල් බැම්මක් දාලා පාරක් හදලා තිබුණත් එතැනින් ඔරුව හරි බෝට්ටුව හරි එගොඩ කර ගත්තම රැකවට යන්න පුළුවන් පැය එකහමාරක විතර කාලයකින්. කළපුව අවට සාරෙට වැරණිය, හීන් කඩොල්, මහ කඩොල්, තිල්ලන්, මඩ වැනි ශාඛ වර්ග වැවී තියෙනවා. මේ අතරින් තිල්ලන් කියන්නේ හරිම භයානක නපුරෙක්. තිල්ලන් කිරි ඇස්වලට වැටුණොත් ඇස් අන්ධ වෙන්න වුණත් පුළුවන්. මූණේ කිරි ටිකක් නැත්නම් නිකම් කොළ ටිකක් ගෑ වුණත් මුළු මුණෙම විස බිබිලි නගින්න පුළුවන් කියලා තමා තිල්ලන් ගැන දන්න උදවිය නම් කියන්නේ.

ඒ වගේම තිලාපියා, උගුඩුවා, ගොඩයා, වේක්කයෝ පැටවු අදටත් හිටු කියලා මෙහි උන්නත් පරව් වගේ ඉස්සර හිටපු මාළු විශේෂ බොහොමයක් දැන් මෙහි නෑ. ඒත් අපි නම කියන්න දන්නෙ නැති රිදී පාට පුංචිම පුංචි මාළුන් විශේෂයක් අපි කළපුව දිගේ යද්දී කැලතෙන දිය රැල්ලක් රැල්ලක් ගානේ මුතු ඇට අහුරක් වගේ වතුර යටින් මතු වෙවී උඩ පැන්නා. උදේ 6.45 වගේ වෙද්දී නැත්නම් හවස 6.30 වගේ වෙද්දී මේ කළපු තීරය කුරුලු පාරාදීසයක්. අතු පතර විදාහළ කොළපාට ගස් හරියට සුදු සළුවකින් වැහුවා වගේ ගස වසාගෙන කොක්කු ලගිනවා. දියකාවන් විශේෂ තුනක්, කිරල විශේෂ, උකුස්සන් විශේෂ වගේම පිළිහුඩු පවුලේ ලොකුම පිළිහුඩුවා හොට දිග ලස්සන හැඩකාරයා ඇතුළු තවත් කුරුලු විශේෂ ගණනාවක් ඔයාට මැඩිල්ල කළපුවේ සංචාරයක යෙදුනොත් දැක බලාගන්න පුළුවන්. ඒ වගේම උදේ එළිය වැටෙන වෙලාවට මොණරු වගේම වලි කුකුලොත් කලපුවේ සිරි අසිරි බලන්න එනවා. ආඩම්බරකාර මොණරාගේ දිලිසෙන ලස්සන නම් බලන්න ආසයි. සොබාදහමේ කවර දෙවඟන ඒ ආඩම්බරකාර කුරුල්ලා වෙනුවෙන් එච්චර නීල පච්ච පැහැසර පිල් කළඹක් නිමෙව්වද හිතෙනවා. දඬුලේනෝ වගේම වඳුරොත් මේ කලපු බිමේ පාරම්පරික පදිංචිකාරයෝ. හරක් රෑන් පිටින් එගොඩ මෙගොඩ යන්නෙ කළපු දියේ බැහැගෙනමයි. කළපුවේ ගැඹුරුම තැන අඩි හයක් විතර වෙනවා. අනිත් තැන් අඩි තුන හතරකට වඩා ගැඹුරු නෑ. උදේම කබරයොත් එළි පහළියට එනවා. කබරයෝ හතළිහක් පනහක් විතර මේ කලපුවේ ඉන්නවා. ඒත් ඇඟ ගොරෝසු වුණාට උන්ගෙ හිත් එච්චර ගොරෝසු නැති පාටයි. අව්ව පොඩ්ඩක් සැරවෙන්න පටන් ගත්ත ගමන් කබරයෝ සිහිලස හොයාගෙන ගස් අස්සට ඇදෙනවා. ඒ වගේම කබරයා අලි කම්මැලියා. හවසට නින්ද හොයන නිදිකුම්බරයා. උදේට එළියට ඇදුනා. දවල්ට ගස් අස්සෙ රිංගුවා. හවසට බතලයා වගේ නිදාගත්තා. අපි යන වෙලාවෙ නම් කළපුවේ පුංචි දූපත් වගේ සැදී තිබුණ හැම ඉසව්වකම වගේ මේ කබරයෝ වැතිරිලා හිටියා. මැඩිල්ල කලපුවේ කිඹුලන් නෑ කියලා තමා කියන්නේ. ගංවතුරට කිඹුලන් ගසාගෙන ආවත් නොගැඹුරු කලපුව උන්ගෙ වාසයට හරියන්නෙ නැති නිසා උන් කළපුව අත්හැරලා යනවලු. තනියෙන් බෝට්ටුවේ නැගලා කළපුව වටේ යද්දී හිටපු ගමන් සුද්දියෝ බෝට්ටුව පෙරළගෙන තිබුණත් ඒ කාටවත් කිඹුල් නපුරන්ගෙන් කරදරයක් වෙලත් නෑලු. ඒ කියන්නේ අහල මායිමකවත් කිඹුලන් නෑලු. අනිත් එක හවස 6.30න් පස්සෙ සංචාරකයන් කළපු දියේ එක්ක යන්නෙත් නෑ. තනියෙන් ගිය සංචාරකයෙක් හවස 6.30වෙද්දී නාවොත් වුණේ මොකද බලන්නත් බෝට්ටු අයිතිකාරයෝ යනවලු.

සුනාමියට මුහුදු රැල්ලත් එක්ක ආව මුහුදු වැලි මේ කළපුවේ තැන්පත් වීම නිසා කළපුවේ එදා තිබුණ ගැඹුර අද නෑ. පරව් වගේ මත්ස්‍ය විශේෂ සමහරක් වඳවී යන්න හේතුවත් ඒකම තමා. අපිත් එක්ක ඔරුවේ ගිය ගම්වැසියා කියපු කතාවෙන් එකපාරටම අපේ ඇඟේ හිරිගඬු පිපුණා. හොඳට හිරුඑළිය වැටෙන වෙලාවක වුණත් හිරුඑළිය නොවැටෙන අඳුරු ඉසව්වකුත් මේ කලපුව දිගේ යද්දී හම්බෙනවා. ඒත් ඒ ඉසව්වෙත් මොකක්දෝ ගුප්ත සෞන්දර්යයක් රැඳිලා තියෙනවා. අපි ඒ ඉසව්වට එද්දීම ඔහු කතාව පටන් ගත්තා.

සුනාමියේදී මැරුණ මිනිස්සුන්ගේ මළකඳන් මේ ගස් උඩ රැඳිලා තිබුණෙ. ඒ මිනී දැලි පාට වෙලා තිබුණා. සුද්දන්ගේ මිනී හොයාගෙන තානාපති කාර්යාලවල අය ආවා. මමත් ඒ අය ඔරුවෙන් බෝට්ටුවෙන් එක්ක ආවා. අපි ගස් උඩ රැඳුණු මිනී බාගන්නත් උදව් කළා ඔක්කොම මිනී එකවගේ. සිංහලයෙකද දෙමළෙක්ද සුද්දෙක්ද මරක්කලයෙක්ද අඳුරන්න බෑ. මිනිස්සු කියන්නේ මේ ඉසව්වේ ඊට පස්සේ අවතාර ගැවසෙනවා කියලා. දවස් ගාණක් මිනී තනිකරපු ඉසව්වක්නේ. ඇත්ත වෙන්නත් පුළුවන්. මටත් දවසක් හරි වැඩක් වුණා. එදා මම කළපු ගිහින් එද්දී හොඳටෝම රෑ වුණා. ඒත් අපිට පාර පුරුදුයිනේ. ඒත් මේ ඉසව්වට එද්දීම එකපාරටම අමුතුම අන්ධකාරයක් ඇවිත් ඔක්කොම කළු කළා. මට දැනුණා මම අතරමං වුණා වගේ. මං බය වුණේ නෑ. හිතට හයිය ගත්තා. ඔරුව ගහක ගැටගහලා ඇස්දෙක පියාගෙන එළිය වැටෙනකම් හිටියා. මට හිතෙනවා මට පාර වසන් කළෙත් අවතාරම තමයි කියලා.

අදටත් සුනාමියෙන් ගහගෙන ආව විශාල බෝට්ටුවක් මේ කළපුවේ ගිලිලා තියෙනවා. අයිතිකාරයත් සුනාමියෙන් මළා. ගොඩගන්න බැලුවත් ඒ බෝට්ටුව ගොඩගන්න බෑ..... ඒ අවතාර කතා අසමින්ම අපි ඒ අඳුරු ඉසව්ව තරණය කළෙමු. සුන්දර සේයා රූ එකතුවක් රැගෙන යාමට පැය දෙක තුනක කළපු සංචාරය කදිමය. එහෙත් විදේශීය සංචාරකයන්ගේ නොමඳ ආදරයට සහ ආකර්ෂණයට බඳුන් වුවත් ඇතැම් දේශීය සංචාරකයන් නිසා එක් සතියකට කළපු ගැඹුරේ ගොඩගැසෙන පොලිතින් හා අපද්‍රව්‍ය රාශියකි. එමෙන්ම සංචාරක හෝටල් නිසාත් මේ පරිසර බිමේ සීමාවන්ටත් අයිතිය හඟවමින් කරන පරිසර විනාශකාරී ඉදිකිරීම් නිසාත් මැඩිල්ල කළපුවට සිදුවෙන හා සිදුවී ඇති හානිය බරපතළය.
වසන්තයේදී තැඹිලි කහ ආදී පාට පාට මල් පිපෙන කළපු තීරයේ ඇති මහා ගස් මත හෙටත් ඒ පොහොට්ටුවලට පිපෙන්නට ඉඩ හැරිය යුතුමය. කළපු යාත්‍රාවේ කෙළවර අපට සිතුණේ එහෙමය. ඔයත් හැකිනම් ගිහින් එන්න. එන සති අන්තෙත් Walk 111 අපි යමු කොහේ හරි ඇවිදින්න.
 

► Text -Saara / Pic- Channa Kassapa Koralearachchi