2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

සුනිල් පෙරේරලාගේ සරම් ඇන්දිල්ල

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 261

අද කාලේ කොල්ලෝ හරි කැමතියිනේ හිරවෙච්චි ඩෙනිමක් ඇඳලා හරි උජාරුවට පාරේ යන්න. සමහරු ඉතින් ඔය යසට තියෙන ඩෙනිම තැනින් තැන කපලා ඒකේ නූලුත් ඇදලා අලුත් මෝස්තරයක් කරගන්නවා. අනේ ඉතින් ඕවා දකින අපේ වයසක ආච්චිලා සීයලා කියන්නේ අනේ අප්පොච්චියෝ... කොල්ලා දුප්පත් වෙලා. හරියට මූ කනවද දන්නෙත් නෑ කියලයි.

ඒත් ඉතින් මේ අතරේ අපේ සරමටත් දැන් දැන් තරුණ හිත්වල තියෙන කැමැත්තනම් වැඩියි.. 
ඔන්න ඉතින් සරම ගැන අපේ රටේ ඉතා දක්ෂ ප්‍රවීණ කලාකරුවන් හතරදෙනෙක් හරි අපූරු ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි සරම. ඩෙස්මන්ඩ් ද සිල්වා, සුනිල් පෙරේරා, ඇනෙස්ලි මාලවන හා රජීව් සෙබස්තියන් කියන මේ සගයන් හතර දෙනා එකතු වෙලා කරපු සරම හි නියම අයිතිකාරයා රජීව්.

මම සාමාන්‍යයෙන් බොහෝම සුපුරුදු විදිහට අඳින මට හුරුපුරුදු ඇඳුම වගේම මම විශ්වාස කරන විදිහට ලංකාවේ ජාතික ඇඳුමට සම්බන්ධයක් තියෙන අපිට බොහෝම සරලව අඳින්න පුළුවන් ලංකාවේ ජනප්‍රියතම ඇඳුම සරම. හැබැයි මේ සරම ගැන කවුරුත් කතා කරලා තිබුණේ නෑ. ඉතින් මම සින්දු කරද්දිත් කරන්නේ හොඳට හිතලා බලලයි. ඒ කරද්දිත් කරන්නේ වෙනස් දෙයක්. ඒ දේ එදත් මගේ හිතේ තිබුණා. අදටත් මගේ හිතේ තියෙනවා. ඉතින් මේකට ඩෙස්මන්ඩ් තෝරාගත්තට පස්සේ ඒකට දේශපාලනය ඇතුළත් කළාට පස්සේ මම තේරුම්ගත්තු දෙයක් තමයි මේකට සුනිල් ඉන්නම ඕනේ කියලා.

 

ඩෙස්මන්ඩ් සහ සුනිල්ව සරම ට රජීව් තෝරාගත්තා කියමුකෝ. එතකොට කොහොමද ඇනෙස්ලි සරම ට එකතු වුණේ. ඒකත් රජීව්ගෙන්ම අහලා දැනගනිමු. ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ සිංහල පොප් සංගීතයේ රජු නම් ඇනෙස්ලි මාලවන කියන්නේ කුමාරයා. ඉතින් මටත් ඕන වුණා මේකට ඇනෙස්ලිවත් එකතු කරගන්න. අන්තිමට මම අනෙස්ලි හා ඒ ගැන කතා කළා. කාඩ්පැක් එකේ ආසියෝ හතරදෙනා විදිහට හිතාගෙන තමයි අපි හතර දෙනා එකතුවෙලා මේ නිර්මාණය කළේ. 
මෙම ගීතය පද රචනය සංගීතය රජීව් සෙබස්තියන්ගේ. රූප රචනාවද රජීව්ගේ වීම මෙහි විශේෂත්වයක්. 

අද කාලේ ගීතවල අයිතිය හරි ප්‍රශ්නයක්නේ. එක එක අය ලියපුවා. තනු දාපුවා ගන්න ගියාම හරි වාතයක්. අපි සින්දු කරන්නේ පවතින්න මිසක් මිනිසුන් අතරට යන්න මිසක් නඩු දාගෙන උසාවි ගානේ රස්තියාදු වෙන්න නෙමෙයිනේ. ඉතින් මේ තත්ත්වය උඩත් මම ගොඩක් බැට කාපු කෙනෙක්. ඉතින් මම හිතාගත්තා මේ සගයන් තුන්දෙනත් එක්ක මම මේක කරන්නෝනේ කියලා. අන්තිමට මම ඒ දේ කළා.

ඩෙස්මන්ඩ් ද සිල්වා පසුගිය අවුරුදු දාහතරට කරපු හැම පටිගත කිරීමක්ම කළේ මාත් එක්කයි. සුනිල්ට කලින් මම මුලින්ම හඳුනාගත්තේ සුනිල්ගේ සහෝදරයා වුණුලාල් පෙරේරායි. මගේ පළමුවැනි කැසට් එකේදී තමයි ලාල් මුලින්ම මට මුණගැහුණේ. ඒකත් එක්ක ගල්කිස්සේ මුහුදු වෙරළේ ගීතය ඒ කාලේ මාත් එක්ක පටිගත කළා. අද වෙද්දී මායි සුනිලුයි ගීත පහකට සම්බන්ධ වෙලා ඉන්නවා. සුනිල් කියන්නේ හරිම හොඳ මනුස්සයෙක්. අලුත් පරම්පරාව වගේ පණ්ඩිත නෑ. ඔහු එක්ක වැඩ කරන්න ලේසියි. මුන් අපිට වඩා බාලයි කියලා ප්‍රවීණකමෙන් හිස  උදුම්මවා ගෙන නෑ. හරිම උනන්දුවෙන් ඔහු මේකට සම්බන්ධ වුණේ. 

එක දවසින් අපි මේකේ විෂුවල් එකම කරලා අවසන් කළා. උදේ පාන්දර පහමාරට විතර අපි අපේ වැඩ ටික පටන් ගත්තා. මුලින්ම ඩෙස්මන්ඩ් අරගෙන කැස්බෑව පැත්තේ එයාගේ විෂුවල් කොටස් කළා. ඊළඟට සුනිල්ව අරගෙන එයාව ගෙනාවා අපි පාර්ලිමේන්තුව පැත්තට. එතන විෂුවල් කළා. ඊළඟට ඇනෙස්ලිව අරගෙන අපි හතරදෙනාගේ කොටස කළා. 
මුලින්ම අපි මේකට විකට චරිතයක් ගන්න තමයි හිතාගෙන හිටියේ. මේකේ ඩෙස්මන්ඩ් ඉන්නේ ගමේ ආරච්චිට.

කළු කෝට් ඇඳලා ආරච්චිලා හොල්ලපු මුළු ගමම
හවඩිය බැඳලා යටට ඒ ඇන්දෙත් සරම
මුත්න මිත්තො රැකගෙන ආ අපේ ජාතික ඇඳුම
ඉනට යසට අපූරුවට සරසන්නෙත් සරම
ඉතින් අපිට ඕන වුණා මේ කරත්තේ යද්දි ඒ කියන්නේ දක්කන්න විකට චරිතයක් ගන්න. හැබැයි ශාන්ත බණ්ඩාර ඒකට අකමැති වුණා. 
රජීව් අයියේ වැරදි මනුස්සයෙක් අරගෙන හරකා කුලප්පු වුණොත් ඔය ඔක්කොම ඉවරයි. ඊට වඩා හොඳයි කරත්තේ දක්කන මනුසයාම ගත්තොත් නේද කියලා ඇහුවා. ඊට පස්සේ තමයි අපි කරත්තේ අයිතිකාරයව දාලා ඒ වැඩේ කළේ.
සුනිල් ඉන්නේ දේශපාලනඥයෙක්ටනේ. හැබැයි සුදු සරම ඇඳලා වැෙඩ් පටන් ගත්තා විතරයි මෙන්න එකපාරටම දියවන්නාවට වැස්සා. අන්තිමට පැයක් විතර නතර කරලා තමයි අයේ ඒ කොටස කරන්න පටන් ගත්තේ.
මේ ගැන අපි සුනිල්ගෙනුත් අහන්න අමතක කළේ නෑ.
රජීව් ඔයා හරි හොඳ වැඩක් කළේ. සරමට අද තැනක් නැහැනේ. ඔන්න රජීව් හැදුවා නියම සින්දුවක්. ඉතින් මම දවසක් රජීව් මෙහෙම සරම ගැන කියන්න කතා කළා. හොඳ වැඩක් හොඳ සින්දුවක් මාත් හා කිව්වා. දවසයි ගියේ. කරද්දී වැස්සකුත් වැස්සා. පොඩ්ඩක් වැස්සටත් තෙමුණා. හැබැයි ඒකේ ගාණක් නෑ. අන්තිමට හොඳ වැඩක් කරලා අද ඒක හැමෝටම බලන්න පුළුවන්.
සරම ගැන විස්තර කියනවාට වැඩිය හොඳම දේ සරම අහන එක. සරම බලන එක . 

අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින් එපා ඇඳුමෙන් කිසිකෙනෙකුගෙ තරම
කෙනෙක් අැන්දට සරම කවුරු හිතුවත් කොහොම 
සරම අඳින කෙනයි දන්නෙ සරමෙ පහසුවෙ තරම

► Text - Jayamali / Pic - Internet