2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මම ඒ අඳුරු පල්ලියට ආසයි...

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

මම ආදේශ්ගේ උරහිසේ හිස තියාගෙන ඇස් පියාගත්තා. මොහොතකට මට දැනුණේ කුරුලු පිහාටුවක තරම් සැහැල්ලුවක්. ඔළුවේ තිබුණ හැම ප්‍රශ්නයක්ම කවුදෝ අරගත්තා කියලා මට හිතුණා. මම වේගයෙන් හුස්මක් අරගත්තේ මොහොතකට සැනසීමක් ඉල්ලගෙන.  

ඔච්චර හයියෙන් හුස්ම ගන්න එපා දුල්යානා. ඒ හුස්ම මට හුඟක් ගැඹුරින් දැනෙන්න ගන්නවා. 
ඒ මගේ හිතේ තියෙන කාටවත් කියාගන්න බැරි හැඟීම්
මට රිදෙනවා වැඩියි ඔයා එහෙම හුස්ම ගනිද්දී 

බොරු කියන්න එපා ආදේශ්.... මම මෙච්චර කාලයක් උන්නද මැරුණද බැලුවේ නැති ඔයාට දැන්ද මගේ ගැන වේදනාවක් දැනෙන්නේ?
කොච්චර දුරක හිටියත් මට හැමදාමත් ඔයාව මතක් වුණා දුල්යානා.. ඒත් ඔයාම නේද මාව ප්‍රතික්ෂේප කරලා යන්න ගියේ... 
අයිතියක් නැති තැනක හැමදාම ඉන්න පුළුවන්ද? මම ඔයාගේ කවුරු විදිහටද හැමදාම ඉන්නේ? ඒ හින්දානේද මම යන්න ගියේ.. මම තවම මට නවතින්න තැනක් හොයනවා ආදේශ්.. 
ඔයා මට ඕන වෙලාවක හිතුණ ගමන් එන්න පුළුවන් තැනක නවතින්න... ඉන් එහා ඈතකට යන්න එපා... මට ඒක ටිකක් දරාගන්න අමාරුයි 

මට රිදෙනවා වැඩියි ඔයා එහෙම හුස්ම ගනිද්දී 

ඔයා මෙච්චර ආත්මාර්ථකාමී මිනිහෙක් කියලා මම හිතුවෙ නෑ... හැමෝම හිතන්නේ තමන්ගේ සතුට විතරයි... ඔයාලා ඔයාලගේ ජීවිතේ පරිස්සම් කරගන්න ගමන් නාස්ති කළේ මගේ ජීවිතේ... 
ආදේශ් ඈත ගඟ දිහා බලාගෙන හිටියා විතරයි. වචනයක්වත් කතා කළේ නෑ...
අපරාදේ මම ඔයාගෙන් උදවු ඉල්ලගෙන ආවේ. මෙච්චර කල් හැමදේම මමම විසඳගත්තා වගේ මට තිබුණේ මේ ප්‍රශ්නෙත් මමම විසඳා ගන්න 
මම එහෙම කියන ගමන් නැගිට්ටා 
ඇයි ඔයා නැගිට්ටේ? 
මම දැන් යන්න ඕනෑ 
අපි තව ටිකක් ඉමු... මම තවම කතා කරලා ඉවර නෑ 
ඒත් මම කතා කරලා ඉවරයි ආදේශ්... 
ඔහු මගේ ඇත දැඩිව අල්ලා ගත්තා 
අපි වෙන්වුණාට පස්සේ අද හම්බවුණේ කාලයකට පස්සේ. ඒ හම්බවුණෙත් ඔයාගේ වුවමනාවට. දුල්යානා මට ඔයාව මඟහරින්න බෑ. ඔයා ඔයාගේ ජීවිතෙන් ලොකු කාලයක් මම වෙනුවෙන් කැපකළා. මට ඒක අමතක කරන්නත් බෑ...
කවුරුත් මම වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ඕනෙ නෑ... මම ජීවිතේට ඕනෑවටත් වඩා පදම් වෙච්ච ගෑනියක් ආදේශ්... අහස ඔළුව උඩට කඩන් වැටුණත් මම දන්නවා ඊළඟ මොහොතේ නැගිටින්න... 
ඔයා ඔය කතා කරන්නේ තරහෙන් 
නෑ ආදේශ්... මම තරහා වෙනවනම් තරහ වෙන්න ඕන මට මගේ ජීවිතේ හම්බවෙච්ච හැම කෙනෙක් එක්කම... ඒත් මම කා එක්කවත් තරහා නෑ... 
මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ඔයා මට කෙලින්ම උත්තරයක් දෙනවද?
මම ආදේශ් දිහා බැලුවේ කුතුහලය පිරිච්ච ඇස් දෙකින් 
මොකක්ද?
ඔයා කැමති නැද්ද දුල්යානා සිස්ටර් කෙනෙක් වෙන්න 
මොකක්ද ඔයා ඇහුවේ? 
මම ඇහුවේ ඔයා කැමති නැද්ද සිස්ටර් කෙනෙක් වෙන්න කියලා 
මගේ ජීවිතේ ඒ විදිහට තීන්දු කරන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද? 
මම ඔයාගේ ජීවිතේ තීන්දු කරන්නේ නෑ... මම ඇහුවේ ඔයා කැමතිද කියලා විතරයි 
ඔයා දන්නවා මගේ ගැන... ඔයා හිතනවද මට ඒ වගේ පල්ලියක් ඇතුළෙ හිරවෙච්ච ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා 
ඔයාගේ ජීවිතේ වැඩි කාලයක් ගෙවුණේ පල්ලියේ.. මම කැමතියි දුල්යානා ඔයා මේ රට දාලා යනවට වඩා සිස්ටර් කෙනෙක් විදිහට ඔයාගේ ජීවිතේ හදාගන්නවට 
ඒත් මට බෑ ආදේශ් පල්ලියක් ඇතුළෙ හිරකාරියක් වෙන්න... මම ඒ අඳුරු පල්ලියට ආසයි... ඒත් මට මගේ ජීවිතේ ඒ පල්ලියට සින්න කරන්න බෑ... මට මගේ ජීවිතේ ඕන....
දුල්යානා මේ රෑ මට ඔයත් එක්ක ගෙවන්න ඕන... අපි අද රෑ මේ ගඟ ළඟ හෝටලයේ නවතිමුද?
මම ආදේශ් දිහා බැලුවේ වචන වලින් කියාගන්න බැරි කේන්තිය ඇස් දෙකේ දල්වාගෙන