2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

අධ්‍යක්ෂකට පැන්නෙ මල්වල හොඳම එකලු.

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

අපේ රටේ රංගනය හරිහැටි හදාරන්න පාසල් නැති නිසා අපේ කලා ක්ෂේත්‍රවලට දැන් ගොඩාක්ම එකතු වෙන්නෙ ඇහින්දාස්ලා. ඒත් රඟපාන්න උණ තියෙන කට්ටිය නම් කොහේ හරි දන්න දන්න තැන්වලට ගිහින් රංගනය ඉගෙන ගන්නවා. ගොඩාක් වෙලාවට එවැනි තැන්වල උගන්වන්නෙ නළු නිළියොම තමයි. 

ඔන්න ඒ වගේ තැනකින් රංගනය ඉගෙන ගත්තු අලුත් නංගි කෙනෙක් ටෙලිනාට්‍යයක රඟපාන්න ආවලු.
එයාගෙ මුල්ම දර්ශනය ගැන අධ්‍යක්ෂකවරයා කරුණු පැහැදිලි කරලා දුන්නලු.
දැන් මෙහෙමයි නංගි. ඔයා ඉස්පිරිතාලෙට යනවා අසනීපෙන් ඉන්න තාත්තව බලන්න. ඔයා ගිහින් ගෙදර එනකොට අක්කා ඉන්නවා දොරකඩ ළඟ. එයා අහනවා තාත්තට කොහොමද කියලා. එතකොට තමයි ඔයා කියන්නෙ තාත්තා නැතිවුණා අක්කේ කියලා.

දැන් දර්ශනය රූගත කරන්න සියල්ල සූදානම්. ඇක්ෂන්! 
තාත්තට කොහොමද නංගි? දොරකඩ ළඟ ඉන්න අක්කා නවක නිළියගෙන් අහනවා.
එකපාරටම අර නවක නිළිය හිනාවෙවී හි... හි... හි... තාත්තා නැතිවුණා අක්කේ කිව්වලු. අධ්‍යක්ෂකට පැන්නෙ මල්වල හොඳම එකලු.

ඔයා සීන් එක කෑවනෙ නංගි. තාත්තා මළා කියලා හිනාවෙවීද කියන්නෙ?
අනේ අයියේ... අපිට ඇක්ටින් උගන්නපු ක්ලාස් එකේ අර අක්කා අපට නිතරම කියන්නෙ දෙබස් කියන්න කළින් හිනාවෙන්න කියලා. එතකොට ආටිස්ට රිලැක්ස් වෙනවලු.

සාරංගව ගත්තනම් මරු

ඔන්න ළඟදි අලුත් චිත්‍රපටයක විශේෂ දර්ශනයක් කොළඹ නගරයේ එක්තරා සිනමාහලක පවත්වලා තියෙනවා.
චිත්‍රපටයේ අධ්‍යක්ෂක හා නිෂ්පාදකයාගේ හිත මිතුරන් හා පවුලේ උදවිය තමයි මේක නරඹලා තියෙන්නෙ. 
චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන්ටත් මේක නරඹන්න ආරාධනා ලැබිලා තියෙනවා.

ඔන්න දැන් චිත්‍රපටය ඉවර වෙනවත් එක්කම විනාඩි දෙක තුනක අත්පොළසන් හඬකින් ශාලාව දෙදරලා ගියාලු. 
දැන් කට්ටිය ෆිල්ම් එක ඉවරවෙලා පල්ලෙහාට බහිනවා පඩිපෙළ දිගේ.
ඔන්න එක කාන්තාවක් එයා එක්ක ආපු අනිත් කෙනාට මහ හඬින් කියනවලු, අපරාදෙ මේකට සාරංගව ගත්තනම් මරු නේද? කියලා.

හරියට ඒ දෙන්නගෙ පිටිපස්සෙන් ඉඳලා තියෙන්නෙ චිත්‍රපටයෙ ප්‍රධාන නළුවා.

 

හි හි හි... හෙල්ලෝ

ෂූටිං අතරතුර සිදුවන රස කතාබස් අමතක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඒත් දැන් දැන් තරගකාරීත්වය නිසා එවැනි විනෝද වීමේ අවස්ථා කලා ශිල්පීන්ට ලැබෙන්නෙ බොහොම කලාතුරකින්.

ඔන්න පහුගිය දවසක ටෙලිනාට්‍ය දර්ශන තලයක විවේකීව එකතු වුණ වෙලාවක, ඒගොල්ලන්ගෙ මාතෘකාව වුණේ සමහර නළු නිළියො ඒ අයට එන කෝල්වලට ප්‍රතිචාර දක්වන හැටි.
අපෝ මට නම් අරයට කෝල් එකක් ගත්තම හිනා යනවා එයා උත්තර දෙන විදිහට...
ඇයි මොනවද කියන්නෙ...

එයාට කෝල් එකක් ආපු වෙලාවක කරන්නෙ හි හි හි හෙල්ලෝ හෙල්ලෝ කියන එක. හිනා යන්නෙ නැද්ද මචං?
අපෝ ඇත්ත තමයි. ඇයි අරයා එයාට කෝල් එකක් ආපු ගමන්ම කියන්නෙ ඊයා ඊයා කියලා. නොදන්න මනුස්සයෙක් හිතන්නෙ මිනිහා ජරා ගොඩක් පාගලා කියලා.

ඇයි අපේ බුවා. එයාට කෝල් එකක් ආව ගමන්ම කියන්නෙ ආ කියන්න කියන්න කියලා. දවසක් එයාට කතා කරපු ඩිරෙක්ටර් කෙනෙක් හොඳ දෙකක් කියලලු.

 

තරු පහේ මැගසින් එක හබක්ද?

මීට මාස ගණනාවකට කළින් ලොකු සද්දයක් දාලා කලා මංජුසාවක් දොරට වැඩීමේ උත්සවයක් පැවැත්වුණේ තරු පහේ හෝටලයක. ජයටම පවත්වපු එම උත්සවයට රටේ නමගිය ප්‍රවීණ කලාකරුවන් වගේම දේශපාලන චරිත ද සහභාගි වුණා.
ඒ හැමෝටම ඒ වර්ණවත් මැගසින් එකේ පිටපත බැගින් ලැබුණා. පත්තරවල, ටී.වී.වල එම උත්සවයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.

ඒත් මේ දොරට වැඩීමේ උත්සවය පවත්වලා මාස හත අටක් ගෙවිලා ගියත් අර මැගසින් එකේ ඊළඟ කලාපය මාකට් එකට එනකන් කලා ක්ෂේත්‍රයේ අය තාම මඟ බලන් ඉන්නවලු.

අනේ මෙහෙමත් ගෑනු

මේ ළඟදි වැඩ ආරම්භ කරපු ටෙලිනාට්‍යයකට පාදක වෙලා තියෙන්නෙ ලස්සන නවකතාවක්ලු.
නළු නිළියො තෝරගත්තට පස්සෙ, කතාවෙ තිරරචකයා කතාවෙ ඇතුළාන්තයයි පසුබිම් කතාවයි ඒකෙ ප්‍රධාන චරිත රඟපාන නිළියො දෙන්නෙකුට කිව්වලු.

මේ පොත ලියලා තියෙන්නෙ අහවලානෙ. එයා කාලයක් අරයත් එක්ක සම්බන්ධකමක් පවත්වලා තියෙනවා. ඒක බේස් කරලා තමයි මේක කියලා තියෙන්නෙ. දැන් ඉතින් දෙන්නම වෙන අය බැඳලා සතුටින් ජීවිතේ ගෙවනවනෙ. මේක ඕගොල්ලන්ට අදාළ නැතිවුණාට නිකම් විශ්වාසෙට කිව්වෙ හොඳේ, තිරරචකයා කිව්වලු.

මේ නිළියො දෙන්නා එදාම අර පොත ලියපු කෙනාට අදාළ අනිත් පාර්ශ්වයගෙ ගෙදරට ගිහින්. යන ගමන් පොත් සාප්පුවකට ගිහින් අර නවකතාවත් අරගෙන. අර ගෙදරට ගිහින් අර අදාළ කෙනාගෙ නෝනට පොත දීලා කිව්වලු ඔයාගෙ මහත්තයාගෙ අතීතය ගැන ඔයා නොදන්න ගොඩාක් දේවල් මේ නවකතාව කියෙව්වොත් දැනගන්න පුළුවන්, කියලා.

► Text – Mithra