2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

කාවිංගට දවස් හතට කෙල්ලො හතක්

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 285

කෙල්ලන් හත් දෙනකුට දවස් හතට ආදරේ කරන කොල්ලෙක් ඉන්නවා කිව්වම ඔබ පුදුම වේවි. හැබැයි ඉතින් එහෙම කොල්ලෙකුත් ඉන්නවා. ඒ කොල්ලා ඔයාලා කවුරු කවුරුත් දන්න කියන කෙනෙක්. ඒ තමයි කාවිංග... එහෙම කිව්වම තවත් පුදුම වේවි. මේ... හෙට අනිද්දට දොස්තර නෝනා කෙනෙක් කසාද බඳින්න ඉන්න අර යස ඉලන්දාරියා එහෙමත් එපා කරපු වැඩක් කරයිද කියලත් ඔබ අහාවි... හැබැයි ඒක ඇත්ත. ඒ වුණාට එහෙම දවස් හතම චරිත හතකින් කෙල්ලන් හතකට ආදරේ කරන්නෙ සැබෑ ජීවිතේ ඉන්න කාවිංග නම් නෙමේ. එහෙනම්... කවුද... ඒ තමයි... අාලෝක. අාලෝකව හොඳට බලාගන්න පුළුවන් සති අන්තයේ රාත්‍රී අටට හිරු ටී.වී බැලුවොත්.
සති අන්තෙ එනකම් ඉන්නෙම නැතිව අපි ගියා මල් හත බලන්න රූගත කරන ලොකේෂන් එකට. මල් හතකට ආදරේ කරන බඹරාට නම් හරි හරියට වැඩ. කාවිංග විතරක් නෙමේ... හැමෝම ලහි ලහියේ වැඩ.

ක්‍යා බාත් හේ...? ( මොකක්ද කාරණේ? )
හින්දි වලින් එහෙම අහන ගමන් පියුමි ඔන්න ලොකේෂන් එකේ. අපිට මතක් වුණේ පබා ටෙලිනාට්‍යයේ හිමාලිවයි. පියුමිට ඕනවෙලා තියෙන්නෙ කවදාහරි දවසක ශාරුක් ඛාන් එක්ක සින්දුවක නටන්නයි. ඒ නිසාම පියුමිට හින්දි පිස්සුව තියෙනවා.
නමේ හැටියට තමයි අපිත්. සෙට් එකට ගියාම කොහොමටත් මල් හතයි තමයි. කාවිංග එක්ක වැඩ කරද්දි හරිම ජොලි. හැමවෙලේම අලුත් අලුත් දේවල් තමයි වෙන්නෙ. මගේ ආච්චිට ඉන්නෙ නෙතලි නානායක්කාරනෙ. එයා රේස් දානවා. ඉතින් මට ශාරුක්ගෙ පිස්සුව. ආච්චිට අශ්ව පිස්සුව. ජොලි නේද...? සමහරදාට මම ඔය කටට එන හින්දි වචන දාද්දි මේ සෙට් එකම හිනාවෙනවා. කොටින්ම කියනවානම් රවින්ද්‍ර අයියට කට් කියාගන්න විදිහක් නෑ. එයත් හිනාවෙනවා. ඉතින් ආයෙත් ඒ කොටස් ෂූට් කරන්න වෙනවා.

 

ත්‍රීවිල් අයියලා මල් හතට පුදුම සපෝට් එකක් දුන්නෙ

ඔන්න ඔහොමයි පියුමි මල් හතයි රූගත කිරීම් ගැන අපිට කිව්වෙ. හැමදේම කියන්න කලින් මල් හතයි පිපෙන්න පාදක වුණු කතාව අහන්න ඕනනෙ. ඉතින්... ඒ නිසාම ඒ කතාව අහන්න හොඳම කෙනා තමයි රවින්ද්‍ර විජේරත්න. ඒ කියන්නෙ මල් හතයි ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක.
මල් හතයි ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නෙ තරංග දිසානායකයි. තිරරචනය කාවිංග මලිව්ආරච්චි සහ ප්‍රියනාත් විදානගේ. මේ කතාව කරන්න හේතු වෙන්නෙ හරි අපූරු සිදුවීමක්. ඒ පෙබරවාරි මාසෙ රවින්ද්‍රත් තරංගත් කාවිංගත් ශ්‍රීනාතුත් දවසක හවසක මුණගැහෙනවා. ඒ අලුත් ටෙලිනාට්‍යයක් ගැන කතා කරන්න.
අපි හතර දෙනා අලුත් ටෙලි පිටපතක් ගැන සාකච්ඡා කරද්දි අහම්බයෙන් තමයි මල් හතයි සංකල්පය ආවෙ. යාළුවෙක් සතියෙ දවස් හතර පහකට ඇත්තටම කෙල්ලො හතර පහක් මුණගැහෙනවා කියන කතාවක් ඇඳුනම ඒ ඔස්සෙ තමයි තරංග කිව්වෙ මේක මරු අදහසක්. අපි ටෙලිනාට්‍යයක් කරමු කියලා...

පෙබරවාරි මාසෙ අහම්බෙන් කතාවුණු තේමාව හරි ඉක්මනට පුංචි තිරයෙන් දකින්නට පුළුවන් වුණා. එය සරල තේමාවක්. නමුත්... සමාජය තුළ අද දකින්නට ලැබෙන බොහෝ සිදුවීම් මල් හතයි ටෙලිනාට්‍යයෙන් දකින්නට පුළුවන් වුණා.
එක කොල්ලෙක් සතියේ දවස් හතට තරුණියන් හත් දෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වනවා. නමුත් ඉරිදා දවස ඔහු තම සැබෑ පෙම්වතිය සමඟ ආදරේ කරන්න නිදහස තියාගෙන සිටිනවා. ඉතුරු දවස් හයම ඔහු අවංක ප්‍රේමයක් කරන්නෙ නැහැ.
දවස් හතේ හත් විදිහට නම් හතකින් ස්වරූප හතකින් දුරකතන අංක හතකින් පෙම්වතා පෙනී ඉන්නවා. නාට්‍ය තුළ පවතින සරලකම හා හාස්‍යයට වඩා අභ්‍යන්තරයෙන් බොහෝ ගැඹුරු අර්ථයක් නාට්‍ය තුළ කතා කරනවා. හත් දෙනෙකුට ප්‍රේම කරන තරුණයා මවුපියන්ට කියලා තියෙන්නෙ එංගලන්තයේ අධ්‍යාපනය ලබන බවයි. ඒ වෙනුවෙන් ඔහුගේ මවුපියන් විශාල මුදලක් එයාට යවනවා. ඉඩම් කඩම් පවා උගස් තියනවා. ඒ ඉඩකඩම් බේරාගන්නට ඔහු උපයෝගී කරගන්නේ ද මේ තරුණියන් හය දෙනයි. එම තරුණියන් හයදෙනා අද සමාජයේ තරුණියන්ව නියෝජනය කරනවා.

අක්කා නගෝ දෙන්නාටම ආදරේ කරන නිසාම අපිට හිතුණා මේ ගැන නංගිගෙන් අහලා දැනගන්න. ඉතින් ඒ නිසාම අපිට තිසුරිගෙන් මල් හතයි ගැන අහන්න හිතුණා.
මල් හතයි ටෙලිනාට්‍යයේ මම ඉන්නෙ කැම්පස් යන ගැහැනු ළමයෙක්ගෙ චරිතයකට. අපේ මවුපියො අැමැති මව්පියො. මගේ අක්කට රඟපාන්නෙ පබෝධා අක්කයි. අක්කා නම් අපේ මවුපියන්ගෙ සල්ලි ඔළුවට ගහගෙන ජීවත් වෙන කෙල්ලෙක්. හැබැයි මම එහෙම නෑ... ඒ නිසාම මම ආදරේ කරන්නෙ කැම්පස් යන දුප්පත් කොල්ලෙක්ට. හැබැයි ප්‍රශ්නෙ කියන්නෙ ඒ කොල්ලා කෙල්ලො හතකට ආදරේ කරනවා... ඇත්තටම මල් හතයි නියමයි... මම හරිම ආසාවෙන් රඟපාන චරිතයක් තමයි ඒ.
සඳුදට සදෙව් වන අාලෝක සංගීත තරගවලට සහභාගි වෙන්න, තරැවක් වෙන්න හීන දකින ප්‍රේමවන්තයෙක්. ජනප්‍රිය ගායිකාවක් වෙන්න හීන දකින ඔහුගේ පෙම්වතියට සදෙව් ළංවෙන්නෙ ඔහු සංගීත ගුරුවරයෙක් නිසාමයි. නමුත් සදෙව් දන්න සංගීත මඟුලක් නෑ.

කාවිංගගේ විහිළුවලට අපි ෂූටිං නතර කරලා බඩ අල්ලගෙන හිනාෙවනවා  

අඟහරුවාදා අග්නි වන අාලෝක හින්දි භාෂා උපදේශකවරයෙක්. ඒ නිසාම ශාරුක් ඛාන් එක්ක රඟපාන්න හීන දකින අඟහරුවාදා පෙම්වතිය අග්නිට ආදරය කරනවා.
බදාදා ධනුර වන අාලෝක ලංකාවේ ජ්‍යොතිෂවේදියකුගෙ දුවෙකුට ආදරේ කරනවා. ඒ ගෙදරට ජ්‍යොතිෂ්‍යයට සම්බන්ධ පරම්පරාවක බෑණා කෙනෙකු සම්බන්ධ කරගන්නට අත උඩින්. ඒ ගෙදර ඔහු යන්නෙ සුභ මූර්තියෙන් නැතිව මා නිවසට ඇතුළු වෙන්නෙ නෑ. කියාගෙනයි.
බ්‍රහස්පතින්දා බ්‍රයන් වන ඔහු සෙල්ලක්කාර වත්පොහොසත්කම් ඇති ව්‍යාපාරික තරුණයෙක් වෙනවා. ඔහු පොහොසත් ඇමැතිවරයෙකුගේ දුවෙකුට ආදරේ කරනවා. ඇය ඇමැති තාත්තගෙ උෂ්ණය වැටුණු ඇමැති දුවෙක් වෙනවා. බිනුලි වුණු අක්කාගෙ නංගි වුණු විනුලිට අාලෝක ආදරේ කරන්නෙ සිකුරාදා. ඒ නමින් සිතිජ විදිහටයි. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්.
සෙනසුරාදා ශනිල් වන ඔහු මනෝවිද්‍යාත්මක උපදේශකවරයෙක් වෙනවා. සියලු දේ දන්න හැමගේ සිත් සතන් සනසන මනෝවිද්‍යා උපදේශකයෙක් වෙන ශනිල් තවත් පෙම්වතියකට ආදරේ කරනවා.
අාලෝක සැබෑ ආදරවන්තියකට ඉඩ තියාගෙන ඉන්නෙ ඉරිදා දින පමණයි. ඒ සැබෑ පෙම්වතායි.
ඉතින්... තවත් මලක් එක්ක කතා නොකළොත් ලොකු අඩුවක් නිසාම අපි රුක්ෂානා එක්කත් කතා කළා. මල් හතේ සැබෑ නම් කියන්නත් ඕනෙම නෑ. දැනටමත් දන්නවා ඇති. ඒත්... කියන්නම් නේද...? ඒ තමයි පබෝධා, පියුමි, තිසුරි, රිතූ, රුක්ෂානා, ෂෙහානි. සැබෑ ආදරවන්තිය වෙන්නෙ ශලිනියි.

මේ නාට්‍යයට මල් හතයි කියන්නෙ නැතිව වෙන නමක් මැච්වෙන්නෙත් නැහැ වගෙයි. ඒ තරමට මල් හතයිම තමයි.
ඇත්තටම මල් හතයි ටෙලිනාට්‍යයට මම ආවෙ හරිම ආසාවෙන්. මේ කණ්ඩායම හරිම ෂෝක්. අපි හරිම එකමුතුවෙන් තමයි මේක රූගත කරන්නෙ. දවස් ගෙවෙනවා තේරෙන්නෙම නෑ. සමහර වෙලාවට කාවිංගගෙ විහිළුවලට අපිට ෂූටිං නතර කරලා පැත්තකට වෙලා බඩ අල්ලගෙන හිනාවෙන්න වෙන වෙලාවල් ඕන තරම් වෙනවා.
මල් හතයි රූගත කිරීම් වෙන්නෙ කොට්ටාව, අතුරුගිරිය වගේ ප්‍රදේශවලයි. මහ පාරේ රූගත කරද්දි තමයි හරි හරි වැඩ වෙන්නෙ. හැමෝම ෂූටිං කරන්න ලෑස්ති වුණා. කාවිංගයි රිතුයි පාරේ යන ත්‍රීවිල් එකක නැගලා යන දර්ශනයකට ලෑස්ති වුණා. මහ තද අව්වෙ රිතූ තනියම මේකප් කරගන්නවා. ඒ අතරේ කාවිංග කොණ්ඩෙ හදනවා. ඒ අතරේ පාරෙ යන ත්‍රීවිල් පේළියට නතර කරගෙන බලාගෙන ඉන්නවා. එකක් විතරක් ඕන වුණාට ත්‍රීවිල් අයියලා මල් හතට පුදුම සපෝට් එකක් දුන්නෙ.
ඒ අතරේ පියුමි හින්දි නිළියක් වගේ ඇඳගෙන මොට්ටුවකුත් නළලේ තියාගෙන කාර් එකට වෙලා සෙල්ෆියක් ගහන්න හැදුවා විතරයි. ඉස්කෝලෙ යන පිරිමි ළමයි දෙන්නෙක්...
ආ... පියුමි අක්කේ... කියලා කිව්වා. පියුමිට නම් හිනා. සෙල්ෆියත් නෑ... ෆොටෝ එකට හදාගත්තු මූණත් නෑ...

මෙහෙම හැමදෙයක්ම කියපු එකේ මල් හතකටම ආදරේ කරන මේ අපූරු බඹරා ගැනත් කතා නොකර බැහැනෙ.
මේ පේන්නෙ නැද්ද... මල්ම හතයි... හොඳයි නේද...? කොච්චර වැඩ තිබ්බත් රවින්ද්‍ර අයියගෙයි තරංග අයියගෙයි මේ වැඩේට මම කොහොමහරි හා කිව්වා... පේනවා නේද...? මේ කොච්චර ආසාවෙන්ද මම කරන්නෙ. මල්ම හතයි...
ඉතින් තව වෙන මොන කතාද...? වැඩි විස්තර ඔයාලටම දකින්න අහන්න ලැබේවි... හැබැයි සමහරවිට මේ මල් හතේ තොතැනක හරි තැනක ඔබත් ඇති. එහෙම වුණොත් මල්ම හතයි නේද..?

 

► Text -Dishani / Pic- Sumudu