2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

රැජනත් පැරදූ කතුවරී ( ලෝකයක්ම කියවූ පාෙතක් ලියූ ගැහැනිය අැයයි)

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 328

ජේ.කේ. රෝලින් යනු ලොව ධනවත්ම ගත්කතුවරුන් අතර පෙරමුණේ හිඳින තැනැත්තියකි. ලෝකය පුරා බාල, තරුණ, මහලු කොයි කාගේත් සිත් වසඟයට ගත් හැරී පොටර් කතා මාලාවේ කතුවරිය වන ඇය ඒ හරහාම ඩොලර් බිලියන ගණනක ආදායමක් ඉපැයූවාය. 

තමන්ට වාසනාවත්, ලොව පුරා ත්‍රාසජනක ප්‍රබන්ධ කතා ලෝලීන්ට ආස්වාදයත් ගෙනදුන් හැරී පොටර් හැදුණු අන්දම පිළිබඳ නිව්ස්වීක් සඟරාව සමඟ ජේ.කේ. රෝලින් මෑතකදී අදහස් බෙදා ගෙන තිබුණි. 
“හැරී පොටර් වස්තු බීජය මගේ හිතේ ඇතිවුණේ අනූව අවුරුද්දෙදි. මම දවසක් මැන්චෙස්ටර් ඉඳන් ලන්ඩනයට දුම්රියෙන් ගමන් කළා. ඒක පැය හතරක ගමනක්. හැරී පොටර් අදහස මට මතුවුණේ ඔය ගමන අතරේදියි. මගේ ළඟ පෑනක්වත් කොළයක්වත් තිබුණෙ නැහැ. හැබැයි මම සිද්ධි එකින් එක පෙළගැස්සුවා. අන්තිමේදී ලන්ඩනයේදී දුම්රියෙන් බහින කොට ලස්සන කතාවක් මම ගොතලයි තිබුණෙ”. 

පැය හතරකදී හැරී පොටර් ගැන මූලික පසුබිම රෝලින් කල්පනය කර අවසන් වුවත් එය පොතක් ලෙස ඇය අතින් නිමවන්නට තවත් අවුරුදු පහක කාලයක් ගතවිය. හදිසියේ ඇගේ මව ජීවිතක්ෂයට පත්වීමත්, ලන්ඩනය අතහැර පෘතුගාලයට යාමට සිදුවීමත් නිසා ඇයට හැරී පොටර් ගැන සිතන්නට කාලයක් නොලැබිණ. අනෙක් අතට පෘතුගාලයේ සිට නැවතත් ස්කොට්ලන්තයට පැමිණි ඇයට උරුම වූයේ අතිශය දුෂ්කර දිළිඳු ජීවිතයකි. 


හාවඩ් සරසවියේ දේශනයකට සහභාගී වෙමින් ඇය වරක් සඳහන් කර තිබුණේ, තමාත් දියණියත් දිළිඳු බවේ අන්තයටම ගිලිණු දුෂ්කර කාලයක් ස්කොට්ලන්තයේදී ගෙවා දැමූ බව ය. 
කෙසේ නමුත් හැරී පොටර් කතාමාලාව ගොඩනැඟීමේදී මෙම කාල පරිච්ඡේදය පුරා ඇය මුහුණදුන් ජීවන අත්දැකීම් ඊට පාදක වූ බව ද කියැවේ. එනම් හැරී පොටර් මව්පියන් අහිමි අනාථ දරුවෙකු ලෙස ඇය නිර්මාණය කරන්නේ ඇය හැරී පොටර් ලියන්නට ඇරඹූ කාලයේදීම ඇගේ මව මියගිය නිසාය. 

තවද හැරී පොටර්ගේ මව මියයන්නේ ඔහුගේ ජීවිතය බේරාගන්නට යාමේදී බව කතා මාලාව තුළ සඳහන් වේ. එමෙන්ම කතා මාලාව පුරාවට එම ආදරයෙන් නපුරට එරෙහිව ජය ලැබිය හැකි බවත් මතුකෙරේ. හැරී පොටර් පාඨක සමාජ පවසන ආකාරයට රෝලින්, එවැන්නක් තම කතා මාලාව තුළින් ඉස්මතු කරන්නේ තමා හා මව අතර පැවති ආදරය සංකේතවත් කිරීමටය. 

මේ අතර ඇය කුඩා කල ජීවත් වූ ඩීන් කැලෑව ආශ්‍රිත ප්‍රදේශය ද එහි ඇය අකුරු ඉගෙන ගත් පාසල ද ඇය හැරී පොටර් ඉගෙන ගන්නා හොග්වර්ට්ස් පාසල නිර්මාණය කිරීමේදී ගුරු කොට ගෙන ඇති බව කියැවේ. 
හැරී පොටර්ට ජීවය කැවීම ඇය නැවතත් ආරම්භ කරන්නේ  ස්කොට්ලන්තයේදී ය. ‘හැරී පොටර් සහ මායා ගල නම් වූ පළමු කෘතිය ඇය 1995දී අවසන් කළාය. නමුත් ඇය එහි පළමු පරිච්ඡේද තුන ප්‍රකාශකයෙකු වෙත යැවූ විට එදිනම නැවත එය හරවා එවා තිබුණේ වැදගම්මකට නැති ලියැවිල්ලක් බව පෙන්වාදෙමිනි. 

නමුත් පසුව ඇයට හමුවුණු බැරී කනිංග්හැම් එය ප්‍රකාශනය භාරගත්තේය. අනූ හත වසරේ ජූනි වනවිට එය බ්‍රිතාන්‍යයේ පොත් රාක්ක පුරා අරක් ගත් ජනප්‍රියම නවකතාව විය. තම එකම දියණිය සමඟින් දරුණු ජීවන අරගලයකට මුහුණ දී හුන් මේ අපූරු කාන්තාව එයින් වසර කිහිපයක් ගතවන විට බ්‍රිතාන්‍ය මහ රැජනට ද වඩා ධනවත් කාන්තාවක් බවට පත්වීම දෛවයේ හාස්කමක් බඳුය. 

( අන්තර්ජාලය ඇසුරිනි)

► Text - Rajitha