2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ටවුමෙ කෝලම් නැති දඹානේ ගම්පොජ්ජ

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 441

Walk 111 එක්ක මේ සති අන්තේ අපි ඔයාව එක්ක යන්න හිතුවේ කොළොම්තොටින් හුඟක් ඈත ඉසව්වකට... වෙනසකටත් එක්ක අපිත් එක්ක මංගච්චන්න එනවද ඔය ඇත්තොත් නිලට නිලේ දිලිහෙන කැලෑ පොජ්ජකට... ටිකක් විතර ග්‍රීෂ්මෙනම් තමා... ඒත් හතර වටේට කොළට කොළේ දිලිහෙන තුරු වියන්වල සිහිලසත්, ඒ සිහිල කැටිවෙච්ච සීතල සුළඟත් ගිනිදන ගම්තොටේ දාහය අපිට නොදැනෙන්න වහන් කරලා දානවා... ඉතින් ඒ හින්දා ඇත්තටම ගමන වෙහෙසකර නෑ. විඳගන්න තියෙන අත්දැකීම් හරිම අපූරුයි. හරි වෙනස් වගේම හරිම ආස්වාදනීයයි. එහෙව් එකේ එන්න එහෙනම් ඔයත් යමු අපිත් එක්කම දඹානේ ගම්පොජ්ජට.. 

දඹානේට පය තිබ්බ හැටියේම වගේ අපිට මුලිච්චි වුණේ උෟරුවරිගේ විමලරත්න ඇත්තෝ. සෙයිලමෙන් වහන් වෙලා ගහකොළ සතා සිවුපාවුන් එක්කම කල් ඇරපු දිවි ගෙවපු ඇත්තන්ටත් මෙන්න බොලේ දැන් FM. ඒ ඇත්තැන්ටත් දැන් FM ගාය හැදිලා... දඹානේ ඇත්තන්ව බලන්න සෙයිලමේ ඉඳන් මංගච්චපු ආත්තම්මලා අත්තලා කට ඇරගෙන දඹානේ FM එකේ වැඩ කරන ගැටවු දිහා බැලුවේ අන්න ඒ වගේ හැඟීමක් හිත යට හංගාගෙන වගේ... ඒත් ඉතින් දේසේ හැටියට වාසේ කළොත් නේද සන්තෝසේ කීවලු.. ලෝකෙම වෙනස් වෙද්දී වෙනස් නොවෙන එකම දේත් වෙනස්වීමම වෙද්දී මේ රැහේ උන් විතරක් වෙනස් නොවී කොහොමද නේද? ඌරුවරිගේ විමලරත්න කියපු විදිහට දඹානේ FM එක පටන්ගෙන දැන් අවුරුදු තුනක් විතර.. දඹානේ ගැටවු හයදෙනෙක් විතර FM එකේ රාජකාරිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අනුබද්ධව තමා මේ FM එක ක්‍රියාත්මක වෙන්නෙ. සඳුදා, බදාදා සහ සිකුරාදා යන දවස් තුනේ මේ විකාශයන් දිගහැරෙනවා. දවසකට රුපියල් හාරසීය අනූවේ දීමනාවකට තමා දඹානේ ගැටවු මේ FM එකේ වැඩ කරන්නෙ. දඹානේ ඉස්කෝලෙන් උසස්පෙළට වෙනකම් ඉගෙනගත්ත ඌරුවරිගේ විමලරත්න රැවුල කොණ්ඩේ වවලා හිටියට මොකද හැන්ඩියා වගේ වැඩ... දඹානේ FM එකට ගොඩවැදිලා ඊළඟට අපි ගියේ කැකුලියෝ දෙන්නෙක් එක්ක සාරෙට වෙළඳාම කරගෙන යන පුංචි කඩ පොජ්ජෙකට.. කදිම මැටි ගෙදරක පිල් කොණේ තමා මේ කඩ පොජ්ජේ තිබුණේ ඕන්.. මුං ඇට, කවුපි, කිරිඳි ඇට අමුණලා හදාපු මල් පෝච්චි මේ කඩ පිලේ විකුණන්න තිබ්බා. 

නිවාඩු මාසේ වෙළෙදාම හොඳයි... කට්ටිය ගොඩක් එනවනේ.. කටකාර කැකුළියක් එහෙම කීවේ හිනැහී හිනැහී. 
දඹානේ ගිය අපි ගොඩවැදිලා හිටියේ ආදි වාසි නායකයගේ ගම්පොජ්ජෙට. ඒ ගම්පොජ්ජේ නම කොටබකින. කොටබකින ගම්මානේ ඇරුණම දඹාන, වතුයාය, ගුරුකුඹුර, ළිඳහංගල කියන ගම් හතරත් ප්‍රධානයි.. මේ ගම්මාන ටිකේ පවුල් 375ක් ජීවත් වෙනවා. ඒ පවුල් 375 ඇතුළෙ ඔක්කොම 3000ක් විතර ඉන්නවා. ආදිවාසී ගම්මාන ඔක්කොම 62ක් තියෙනවා. මේ ගම්මාන 62 දිස්ත්‍රික්ක හයක් පුරා තමයි විහිදිලා තියෙන්නේ. මේ ඔක්කොම ගම්මානවල වැදි කුලේට අයත් ඇත්තන් ලක්ෂ පහක විතර සංඛ්‍යාවක් ඉන්නවා. ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ තමා මේ වැදි රැහේ නායකයා. මේ රැහේ නායකයා හොඳ වෙදා. පරම්පරාවෙන් පරම්පරාවට උරුමවෙච්ච විශ්ව කර්ම වෙදකමක් වැදි රැහේ ඇත්තන්ට තියෙනවා. ඒ උරුමය ලැබෙන්නෙත් පරපුරෙන් පරපුරට. ඌරුවරිගේ තිසාහාමි තමන්ගෙන් පස්සෙ ඒ උරුමය උරුම කළේ තමන්ගෙ පුතා වෙච්චි වන්නියලෑ ඇත්තන්ට. වන්නියලෑ ඇත්තන් හිඳින තෙල් බෙහෙත් කොටබකිනෙදී මිලට ගන්නත් තියෙනවා. වෙළඳාම කරගෙන යන්නෙ වැදි රැහේ චමින්ද..... චමින්ද ඈඳි ගෙන හිටපු පිල්කඩේ අහලකින්ම අපිත් ඉඳගත්තේ පුංචි පහේ සල්ලාපෙකටත් එක්ක.

සිංහල කතා කරන්න පුළුවන්ද?
ඉස්කෝලේ ගිය ඇත්තන්ට පුළුවන්.. මාත් අටේ පන්තියට එනකම් දඹානේ ඉස්කෝලේ ගියා. හැබැයි අපි භාෂාවන් කළවම් කරගෙන කතා කරන්නෙ නෑ.  අපේ   භාෂාව   තමා සුද්ද සිංහල.                                         

වෙළෙදාමද කරන්නෙ ?
අපේ වන්නියලෑ ඇත්තෝ හොඳ වෙදා. නයා පොළඟා ගැහුවොත් සර්ප වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම්, හන්දිපත් වේදනා, තුනටිය වේදනා, අතපය හිරිවැටීම්, ගැස්ට්‍රික්, කෑම අජීර්ණ, ඇදුම, කැස්ස, පීනස, රක්ත ඌෂණය, කුෂ්ට, දත් කැක්කුම, අංශභාගේ මේ කෝකටත් වෙදකම් කරනවා. මේ බෙහෙත් තෙල් හිඳින්නේ ඒ ඇත්තන්ගේ පරම්පරා වට්ටෝරුවලට. ඒවා පිටට දෙන්න තහනම්. අපි මේ විකුණන්නේ ඒ තෙල් බෙහෙත්. 

මෙහෙ ඇත්තෝ ජීවත් වෙන්ට මොනවද කරන්නෙ?
වැස්සොත් ගොවිතැන... අපේ සම්ප්‍රදායික ජීවන ක්‍රමේ දඩයම වුණත් දැන් අපිට විකුණන්ට සත්තු මරන්ට තහනම්. මේක රක්ෂිතයනේ. හැබැයි සතෙක් මරාගෙන කන්න පුළුවන්. සතෙක් මරාගත්තම අපි බෙදාගෙන කනවා. වන්නියලෑ ඇත්තෝ නම් කැමති නෑ සත්තු මරණවට. ඒ ඇත්තෝ මස් මාළු කන්නෙත් නෑ. වැහි නැති කාලෙට අපි මීපැණි හොයාගෙන යනවා.

කළුවර ගස් කපන්න තහනම් නේද? එතකොට කළුවර වලින් පොඩි පොඩි අභරණ එහෙම හදලා විකුණන්නේ?
මේ කැලේ ගහකොළ කියන්නේ අපේ පරම්පරා උරුමය. අපි කැලේට ආදරෙන් ජීවත් වුණා මිසක් කැලේට වින කළේ නෑ. ඔප්පු තිරප්පු නැති වුණාට අපිට පරම්පරාවෙන් පරම්පරාවට මේ කැලේ උරුමයි. ඒත් මේ ආණ්ඩු කරන ඇත්තන්ට ඒක තේරෙන්නේ නෑ, අද අපිට සතෙක් මරාගන්න මීයක් කඩාගන්න කැලේට යන්න නිදහසක් නෑ. ආණ්ඩුවේ ගොයියෝ අපේ උන්ව අල්ලලා නඩු දාන්ට යන්නේ. අපි ඉස්සර මේ කැලේ ජීවත් වුණේ කොච්චර නිදහසේද? හිතුණොත් සතෙක් මරාගෙන කෑවා. මීයක් කඩාගත්තා. ගල්ගේකට ගියා. හිතුණොත් කැලේම නිදාගත්තා. එහෙව් අපි දැන් කූඩු කරලා. 83න් පස්සෙ අපේ නිදහස එහෙමම නැතිවුණා. අපේ තිසා හාමි සීයට කීවා කැලෙන් එළියට ඇවිත් හේනක් කොටාගෙන ජීවත් වෙන්න කියලා. තිසාහාමි සීයා කීවා මැරුණත් මම කැලේ කොළේ දාලා යන්නෙ නෑ කියලා. අන්තිමේ තිසා හාමි සීයට නඩු දැම්මා. තිසා හාමි සීයා දින්නා. අපේ ගාව කුල මල භේද නෑ. ඌරු, තලා, මොරාන, නබුවන, උනාපාන, ඇඹුලන, චිලෝ මේ වරිග හතේම උන් මේකේ ජීවත් වුණා. රතුගල, නිල්ගල, පොල්ලෙ බැද්ද, දලුකාන, සොරබොර, වටවන, මකුණගොල්ල, විජයපුර, සේරාන මේ ආදී ගම් අද අපේ උන්ගේ වාස භූමි. 83දී අපි ජීවත් වුණු මේ ගම මාදුරුඔය රක්ෂිතය බවට පත් කළා. 1996දී වන්නිලෑ ඇත්තෝ ජිනීවා ගිහින් රටවල් 136ක ඇත්තන්ට කීවා අපිට වෙච්ච සංගදිය. අපිට කැලේ තහනම් කරපු එක අපේ වරිගෙ තහනම් කළා වගේ වැඩක්. පරම්පරාවෙන් පරම්පරාවට අපේ මුල් ඇද්දේ මේ කැලේ. කැලේ හම්බවෙන කරුවල ගස් ගොබ, වැටිලා තියෙන මුව අං. ඇත් දල වලින් තම ඔය ආභරණ හදන්නේ.. නැත්නම් කැලේ අපිට තහනම් අඩවියක් කළාම අපේ උන් ජීවත් වෙන්නේ කොහොමද? ඒ වැදි රුහේ අැත්තන් අපට කී අප අසා උන්  උන්ගේ අවනඩුවයි.
වන්නියලෑ ඇත්තන් හමුවීමට අවසර තිබුණත් ඒ ඇත්තන් හා සෙල්ෆි සේයාරෑ ගැනීමනම් තහනම්ය.

ඒ මොකද ඒ?
ඒ ඇත්තන්ට දැන් හැත්තෑවක් වෙනවා. කරවටේ අතදාලා ඒවා මේවා කෝලම් කර කර පින්තූර ගද්දී ඒ ඇත්තන්ට හරි කරදරෙනේ...

වැදි සනුහුරේ ඇත්තන්ට වරිගෙන් පිට කසාදෙත් තහනම්ද?
අපේ කොල්ලන්ට පුළුවන් සිංහල හරි වෙන ඕන ජාතියක එකියක් එක්ක දීග කන්ට. ගෑනි මොකී වුණත් ඒකි වදන පැටවූ අපේ එකාගෙනේ. ඒත් අපේ එකීලා පිට ජාතියක උන් එක්ක ගියොත් උන් වරිගෙන් පන්නනවා, උන් වදන්න පිට  උන්ෙග්  පැටවුෙන්. ස්ථීර පදිංචිය තහනම් උන්ට ආයේ ඒ දීගෙන් පස්සේ. හැබැයි ඇවිත් කතා බහ කරලා යන්න පුළුවන්. 
වැදී රැහේ කතා මංජුසාවම රසවත්ය. පෑ ගණනක්‌ ඒ ගම තුලානේ කරක් ගැසූ අපි ඊළඟට ගියේ සොරබොර වැවට. මහියංගනේ ගියොත් සොරබොර නොගිහින් කොහොමද නේද? එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. එන සති අන්තේ walk 111 අපිත් එක්ක ඔයාලත් යමු සොරබොර වැව බලන්න.
 

► Text -Saara / Pic- Channa Kassapa Koralearachchi