2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

මම පට්ට ඩාන්සර් කෙනෙක් නෙවෙයි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

චිලී මොකද මේ උදේ දවල් හැමවෙලේම ජිම් එකට වෙලා...?
ඒ මේ අලුත් ෆිල්ම් එකට... ඒක නිෂ්පාදනය කරන්නේ මම. ඒක ලස්සන චිත්‍රපටයක්. මම දන්නවා මට ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා. මම සාමාන්‍යයෙන් යම් හීනයක් මවාගන්නවා. දවසක ඒ හීනය හැබෑකරගන්නවා. මම දන්නවා මම කරන හැම නිර්මාණයක් වගේම මේකත් මගේ ආදරණීය රසික රසිකාවියන් වැළඳගන්නවා. ඉතින් මේ චිත්‍රපටයත් මගේ හිතේ ඇඳිච්චි වෙනස් විදිහේ කතාවක්. ඒකට තමයි මේ ජිම් එකට වෙලා ඉන්නේ. ඒ වෙනස ඉදිරියේදී දකින්න ලැබේවි.

ටිකක් කියමුකෝ චිලී ඔය වෙනස මොකක්ද කියලා?
ඔහු ක්‍රීඩකයෙක්. බොක්සිං ක්‍රීඩකයෙක්. මම වෘත්තීමය ගායකයෙක්. ඉතින් චිත්‍රපටය හරහා මගේ ගීත දෙකතුත් අහන්න පුළුවන්. ඊට අමතරව තවත් දක්ෂ ගායකයෙකුගේ ගීත දෙකකුත් මේ චිත්‍රපටයේ තියෙනවා. අනිවාර්යයෙන් තරැණ අය මේ චිත්‍රපටය බලාවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් නුදුරේදීම ඒකේ රූපගත කිරීම් කරනවා. මේකේදී අලුත්ම ගැහැනු ළමයි දෙන්නෙක් අපි හඳුන්වාලා දෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසාද් කළුපහන. මම සහාය අධ්‍යක්ෂණය කරනවා.

වැඩිපුරම කැමැති ගායකයාටද...? රංගන ශිල්පියාටද...?
මම ඒ දෙන්නටම කැමැතියි. මම හිතනවා මම ප්‍රේක්ෂකයාව පිනවන්නෙක් කියලයි. මම ගායකයෙක් වුණත්, රංගන ශිල්පියෙක් වුණත් මම මගේ රසික රසිකාවියන්ට සාධාරණයක් කරාවී. හැබැයි මම එකකට කියලා මාර දක්ෂතා තියෙන කෙනෙකුත් නොමේ. මම ඩාන්සර් කෙනෙක් කියලා පට්ට ඩාන්සර් කෙනෙක් නෙමේ. නමුත් මම නටන විදිහට බලන් ඉන්න පිරිස් ආසයි. හැබැයි මට වඩා ගීත ගායනා කරන්න පුළුවන් අය මේ ලංකාවේ ඕනතරම් ඇති. ඉතින් ඒ හැකියාව සමහර විට මම උපතින් ගෙනාපු දෙයක් වෙන්න ඇති.

පුංචි කාලේ හිතුවද මේවගේ කලාකරැවෙක් වෙන්න තිබුණානම් කියලා...?
මම මොන්ටිසෝරි පන්තිවලදී එක වසරේ පන්තිවල ඉද්දී ගුරුවරු අහනවනේ ලොකු වුණාම කවුරු වෙන්නද වෙන්නද ආස කියලා. ඒ වෙලාවට මම හැමවෙලේම කියලා තියෙන්නේ “මට නළුවෙක් වෙන්න ඕනේ කියලලු. මම නොදන්නාකමට කියපු ඒ දේවල් මගේ යටහිතේ තිබිච්චි ආසාවක් වෙන්නත් ඇති. ඒ දේවල් මට කියන්නේ මගේ අම්මා. මට ඒවා මතක නෑ. 

කාලයක් යද්දී චිලි ව්‍යාපාරයකටත් අතගැහුවා... කොහොම අද තත්ත්වය?
ඒක බොහෝ සාර්ථකයි. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය වීම. මම ව්‍යාපාරයටත් වුණේ මේ කලාවට තිබුණ දයාව නිසාමයි. මම ව්‍යාපාර පසුබිමක හැදුන කෙනෙක්. ඒත් මට අවශ්‍ය වුණා මම ගායකයෙක් නළුවෙක් වෙනවනම් මම මගේ නිර්මාණයක් කරලා මගේ අනන්‍යතාවය ගොඩනගන්න. ඉතින් ඒකට තමයි පසුගිය කාලේ අඩිතාලම දාගෙන මම මේ ස්ථාවරයකට යමින් ඉන්නේ.

ඔය කාර්යබහුලත්වයත් එක්ක ආදරය වෙනුවෙන් ලබාදෙන ඉඩකඩ කොහොමද?
ඒවා මම බැලන්ස් කරගන්නවා. මේ වෙනකොට මම පෙම්වතෙක්.

චිලීව පෙම්වතා කරපු ඒ පෙම්වතිය කවුද?
එයා මගේ ව්‍යාපාර කටයුතුවලට ගොඩක් උදව් කරනවා. මගේ ව්‍යාපාරය පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන් ඇය මට උදව් කළා. මුලින්ම එයා මගේ රසිකාවියක්. ඒ වෙද්දී එයා ලංකාවේ නෙවෙයි හිටියේ. එතකොට එයා හිටියේ ඉතාලියේ. ඉතින් මගේ සින්දු එහෙම එයා දැකලා අහලා තිබුණා. අපි ෆේස්බුක් එකෙන් අඳුරගත්තා. කාලයත් එක්ක එයා මාව බලන්න ලංකාවට අවා. කෑමවලට එළියට ගියා. කොෆි ෂොප්වල මුණගැහුණා. කතාබහ කළා. ඔය කතාබහත් එක්ක අපි අපිවම තේරුම්ගත්තා. අන්තිමට එයා ඉතාලියේ එයාගේ ඉගෙනීමත් නවත්තලා මම නිසාම ලංකාවට ඇවිත් නැවතුණා. එයා දැනගෙන හිටියා මම මගේ වෘත්තියට, මගේ ව්‍යාපාර කටයුතුවලට කොච්චර ආදරේ කරනවද කියලා. ඒ නිසා මගේ ජීවිතේදි මම ආදරයට ලොකු තැනක් දුන්නේ නෑ. නමුත් එයා මට ආදරේ නිසා මම වෙනුවෙන් ඒ දේවල්වලට කැපවෙලා මගේ ආශාව ඉෂ්ඨ කරගන්න එයා ගොඩක් මහන්සි වුණා. 

කවදා විතර චිලී විවාහ වෙයිද?
ඒකට මට හදිස්සියක් නෑ. හැබැයි විවාහ වුණාය කියලා මම මගේ ජීවිතේ වෙනස් කරගන්නේ නෑ.

මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
මගේ හිතේ කුහකත්වය හරිම අඩුයි. තව කෙනෙකුට ඉරිසියා කරන එක හරිම අඩුයි. යථාර්ථය තේරැම් ගන්න මට ශක්තියක් තියෙනවා. ඒ වගේම කෙනෙකුගේ දුකක් සතුටක් තේරුම් ගන්න මට හැකියාව තියෙනවා. ඒ නිසා ජීවිතේ හොඳ විදිහට ගොඩනැගුණා. ඒ ජීවිතේ ගැන මට සතුටුයි. 
 

► Text – Jayamali  /  Pic – Sumudu