2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

සින්දු ලියන අපේ හාමුදුරුවරු

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 381

මිනිස් සමාජය යහමඟට යොමු කිරීම සඳහා සිංහල සාහිත්‍ය උපයෝගී කර ගනිමින් රටට දැයට උදාර මෙහෙවරක් කළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර ගී පද රචනය තුළින් සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කළ සුවිශේෂී ස්වාමීන් වහන්සේලාද සිටිති. 

මෙවර හදසර අවධානය යොමුවන්නේ ගී පද රචනයේදී අපූරැ කුසලතාවන් දැක්වූ බෞද්ධ භික්ෂුන්වහන්සේලා පිළිබඳවය. උන්වහන්සේලා ගී පද රචනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අවස්ථාවන්ද නැතුවා නොවේ. 
නිදහස් සටනට මෙන්ම ළමා පරපුරේ උන්නතිය වෙනුවෙන් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් සිය පෑන මෙහෙයවූ ආකාරය අපේ මතකයට නැඟේ. උපතින් සිංහලයකු නොවුවද සිංහල බසටත්, කවියටත් දැඩි ලෙස ඇළුම් කළ මහින්ද හිමියෝ ගද්‍ය, පද්‍ය කෘති 40ක් පමණ රචනා කළහ.


සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට 

උන්වහන්සේ ලියූ කවි කළඹට ඇතුළත් වූ අපූරු නිර්මාණයකි.
ලාදලු බෝපත්, මේ ඉර හඳ යට, මවයි පියයි එකතු වෙලා, මිරිවැඩි සඟලක්, බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, සියක් ආයු ලැබ, සඳ තරු මල්, කඳුළු හෙලා නෑඹිලියට, බණ කියන රටක්, පිහිටක් නැති සරණක් නැති, නුඹට හිතැති වැනි අපූරු ගීත සිය ගණනාවක් රචනා කළ රඹුකන සිද්ධාර්ථ හිමියෝ 1988දී &සඳකඩ පහණ චිත්‍රපටය සඳහා රචනා කළ පෙර සංසාරේ ගීතයට සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබූහ.

බණ කියන ගමන් ගී ලීවේ ආත්ම තෘප්තියට

පල්ලෙගම හේමරතන හිමිපාණන්ද සිංහල ගීත සාහිත්‍යයට අපූරු ගීත දායාද කොට තිබෙන අතර කරුණාරත්න දිවුල්ගනේ ගායනා කළ අතීතය සිහිනයක් පමණයි ඒ අතරින් ජනප්‍රියව පවතී.
උන්වහන්සේ පද රචනා කළ අනෙකුත් ගීත අතර බෝධියෙන් වට බෝ පතක් සේ, තියා අතීතය මා ළඟ, සඳ මඬලවී හා බෝධියෙන් වට වැනි ගීත ශ්‍රාවකයින් අතර ජනප්‍රියව පවතී. 
කෝන්වැවේ ආරියරතන හිමියෝද ළමා පරපුර වෙනුවෙන් විශේෂිත වූ ගීත රාශියක් රචනා කළහ.

ගීත පද රචනා ඇතුළත් කෘති දෙකක් මුදා හැර තිබෙන උන්වහන්සේ ගී පද රචනා ඇතුළත් සංයුක්ත තැටිද නිකුත් කර තිබේ. 
ජගත් වික්‍රමසිංහ ගායනා කරන තණ්හා පසෙහි බැඳි ගීය රචනා කළේ ගංගොඩවිල සෝම හිමියන්ය. පාතේගම ඥනිස්සර හිමිපාණන් ලියූ නටන රඟ බලන්, සිංහල සිරිතට හා මුතු දිමුතු වැනි ගීත ජනප්‍රිය වූවා සේම මහගම සීලානන්ද හිමියන්ගේ සඳක් නුඹ ගැබ දිලී හා අපේ පන්සල ගී සංකල්පනාද රසික ගෞරවයට පාත්‍ර විය.

මීගහවෙල සුමනශාන්ත හිමියෝ බෞද්ධ ගීත රැසක රචනා කළහ. උන් වහන්සේ පැවිදි වීමට පෙර ගිහි කාලයේ සරත් මුණසිංහ නමින් ජනප්‍රිය ගීත රැසක් රචනා කර තිබේ.
ඒ අතර නිහාල් නෙල්සන්ගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ, ලස්සනට පිපුණ වනමල් වාගේම රහසයි සොඳුරු ජීවේ (මරියසෙල් ගුණතිලක), රූසිරිය ඈගේ (වර්නත් පෙරේරා), අදටත් බෙහෙවින්ම ජනප්‍රිය ගීත බවට නොරහසකි. 
සිංහල ගීත රචනයට යොමු වූ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතුරින් පූජ්‍ය කැටවල බුද්ධසිරි, ගොඩමුන්නේ පඤසීහ රහතන්ගම නගිත, රූපහ සුමනජෝති සහ වෑත්තෑවේ ධම්මානන්ද හිමිවරුන්ටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 

 

► Text -Ramesh Uvais