2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

දැහැන

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

තවත් පුංචි රෝස මලක් පරවෙලා ගිහින් තිබුණා. ඇගේ නමත් රෝස්. එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් මිය ඇදුණු අන්තිම පුංචිම රෝස මල තමා රෝස්. ඇය දින ගණනාවක් ජීවිතය ඉල්ලමින් රෝහලේ ඇඳක් මත මරණයත් එක්ක නිහඬ අරගලයක් කළා. ඇය පරාජිත වුණා.

ජීවිතයෙන් ඇයට දොර ඇරුණේ මරණය වෙත. මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් පුංචි රෝස් වගේම එයාගෙ අම්මා සහ එකම සොහොයුරාත් තුවාල ලැබුණා. ඒත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඔවුන් තවදුරටත් ජීවත් වුණා. මරණයේ සීතල ලෝකයට ගියේ රෝස් විතරයි. රෝස් ජීවිතයට ආයුබෝවන් කියද්දීත් එයාගේ අම්මා රෝහලේ ඇඳක් මත. ඒ හින්දා අම්මා එන්නට පෙර රෝස්ව සොහොන් බිමට ඇරලවන්න කාටවත් හිත දුන්නෙ නෑ. රෝස්ගේ පුංචි සිරුර සතපවා තිබුණෙත් රතු රෝස මල් ගොඩක් උඩ. අන්තිම වතාවට රෝස් බලන්න ආව හැමකෙනාමත් රතු හෝ කහ රෝස මල් අරන් ආවා. ඒ ඇය රෝස් නිසා. පල්ලියේ සොහොන් බිමේ එක් සීතල හැන්දෑවක ජීවිතය කියවන්න බලාගෙන සිටි රෝස් අවසානයේදී මිහිදන් වුණා.

එංගලන්තයේ රෝස්ගේ කතාව කියවද්දී මගේ මතකයට ආවේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් මියගිය පුංචි පැටවුන්ව. සිංහල, දෙමළ, මුස්ලිම් පුංචි පැටවු කොච්ච්රක්දෝ ඒ යුද්ධයෙන් මියගියා. මායිම් ගම්මානවල ජීවත් වෙච්ච පුංචි දරුවෝ කෑ ගහ ගහ අඬද්දී පණපිටින් හමගහලා දාපු මරලා දාපු සංසිද්ධීන් අනන්තවත් තිබුණා. රෝස් වින්ද වේදනාවට වඩා හුඟක් වේදනා විඳලා මියගිය දරු පැටව් අනන්තවත් ඒ අඳුරු අනාගතය තුළ හිටියා. කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් මියගිය පුංචි කොලුපැටියගේ තාත්තා වගේ අම්මලා තාත්තලා ලක්ෂ ගාණක් දරු සෙනෙහස වෙනුවෙන් එදා හඬා වැටුණා. පුංචි රෝස් වගේ රෝස මල් කොච්ච්රක්දෝ මේ මිහිතලය මත ත්‍රස්තවාදය නිසා මියැදුනා. එංගලන්තයේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් දරුවෝ විවිධ යුගවල ත්‍රස්තවාදයෙන් අනන්ත පීඩාවක් වින්ඳා. අමු අමුවේම සතුරු පාර්ශවවල ගොඳුරු බවට පත්වුණා. තවත් පැත්තකින් ඉතියෝපියාව සිරියාව වගේ රටවල දරුවෝ මන්ද පෝෂණයෙන් විජලනයෙන් සහ සියලු අහිමිවීම් වලින් ඉතා දුක්ඛිත ලෙස බැට කනවා. මැරුණු මවුවරුන්ගේ සිරුරුවලින් කිරි සහ උණුසුම සොයන දරුවන්ගේ හද ප්‍රකම්පන්යට පත්කරන පින්තූර ඔයත් ඕන තරම් දැකලා ඇති. ඒ පොදු දුක්බර ඉරණමේ වගකීම දරන්න ඕනෑ කවුද? ඒ ප්‍රශ්නයට හරි උත්තරයක් හොයා ගත්තු දවසට ඔයා තව ගොඩක් දේවල් තේරුම් ගනීවී.

එදාට රෝස් වෙනුවෙන් නැගුණු කඳුළ ලොකු හඬක් වෙලා මේ මිහිමත පිපුණු රෝස මල් සිය දහස් ගණනක් වෙනුවෙන් නැගේවී.

► I Sanju