2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ජොන්සන් එක්ක මට ප්‍රශ්න නෑ කීවාෙත් ඒක බොරුවක්

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 310

දමිතා.... හැමදෙයක්ම කතාකරන්න කලින් මේ දවස්වල මොකද කරන්නේ... කියලා කියමුකෝ...?
මේ දවස්වල සල්සපුනා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරනවා. ඊට අමතරව වර්ණ කියලා ටෙලිඩ්‍රාමා එකක වැඩ කරනවා. සුපුරුදු පරිදි මගේ ප්‍රසංගවලට සහභාගි වෙනවා. විදේශ රටවල් කිහිපයක ප්‍රසංග කීපයකුත් තියෙනවා. ඒ දේවලුත් එක්ක වැඩ ටික කරගෙන සුපුරුදු පරිදි ඉන්නවා.

මේ දවස්වල හිත ටිකත් කනස්සල්ලෙන් ඉන්නේ ඇයි...?
ඔව්.  ඒක ඇත්ත. මම හුරතලේට බලු පැටව් දෙන්නෙක් හදනවා. එයින් පොඩි පැටියාට හොඳටම අමාරු වුණා. පශු වෛද්‍යවරු කීප දෙනෙකුගෙන්ම බෙහෙත් ගත්තා. එයාලව දරුවෝ හදනවා වගේ හදද්දි දඟල දඟලා  ඉන්න සත්තු එකතැන් වුණාම දරුවෙක් අසනීප වුණා හා සමානවම දුකයි. මොනවා කළත් මේ දවස්වල මගේ හිතට කිසිම ෆිට් එකක් නෑ. මොන ප්‍රශ්නය තිබුණත් ගෙදර ගියත් එයාලා දැක්කම මට ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා. මගේ ලෝකේ ඉන්න දෙන්නෙක් තමයි ඒ. ඒ නිසා මේ දවස්වල මගේ මුළු ලෝකයම කඩන් වැටිලා වගෙයි. ඒ ප්‍රශ්නය නිසා. මගේ හිතට හරි නෑ. බලු පැටියාට හොඳ වෙලා පරණ තත්ත්වයට ආවම මගේ ඔළුව සැනසීමට සුවයට පත්වේවි.

එකදිගට වැඩකරලා ලැබෙන පුංචි හරි විවේකයේදී මොකද දමිතා කරන්නේ?
ගොඩක් වෙලාවට ලැබෙන පුංචි හරි විවේකයේදී මම මගේ අම්මි එක්කයි, මගේ බලු පැටව් දෙන්නා එක්කයි, මගේ අයියාගේ දරුවෝ එක්කයි තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. පොඩි හරි කාලයක් ලැබුණොත් ඒ අය එක්ක කෑමකට එළියට යනවා. ෆිල්ම් එකක් බලන්න යනවා.

දමිතා කරපු රංගනයන් අතරින් අභියෝගාත්මක රංගනයන් මොනවාද?
මගේ ජීවිතේ මට ලැබුණු හැම රංගනයක්ම මට අභියෝගයක්ම තමයි. මිනිස්සු අභියෝග ගන්නේ බොහෝ වෙලාවට තවත් කෙනෙක්ගේ ජීවිත එක්ක. එක්කෝ තව කෙනෙක් වගේ වෙන්නනේ. නමුත් මට හැමදාම ලොකුම අභියෝගය වුණේ මම කරන හැම චරිතයක්මයි. මම මේ අවස්ථාවේ කරන චරිතය මට ලොකු අභියෝගයක්. ඒක ජයගන්න තමයි මම හැමතිස්සෙම උත්සාහ ගන්නේ. චරිතය හොඳට කළොත් තමයි මම ඒක ජයගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම මට ලැබුණු හැම චරිතයක්ම අභියෝග කරගන්නේ.

බලු පැටියා ලෙඩ වෙලා මගේ හිතට කිසිම ෆිට් එකක් නෑ

ජීවිතේ ආසාවෙන් රඟපාපු චරිත ඇති නේද...?
ඔව්... ජීවිතේ විවිධත්වයෙන් යුතුව කරපු චරිත බොහොමයක් තියෙනවා. ඒ අතරින් සුළං කිරිල්ලී චරිතය, දඬුබස්නාමානයේ පාලිගේ චරිතය, සෙනෙහෙවන්තයෝ චරිතය, කෙළිමඬල චරිතය වගේ චරිත කීපයක්ම මම ආසාවෙන් කරපු චරිත වුණා.

ඒ වගේම මම විශ්වාස කරනවා ඔබේ ජීවිතයත් අභියෝගයක්.... එහෙම නේද..?
ඔව්... සත්තකින්ම. මම මෙතනට උඩින් වැටුණු කෙනෙක් නෙමෙයි. පස්සෙ ගෙනා මනමාලි ටෙලිනාට්‍යය කළාට පස්සේ මොකක් හෝ මගේ තිබිච්චි දක්ෂතාවයක් දැකලා මට මගේ පළවෙනි චිත්‍රපටය වුණු මී හරකා චිත්‍රපටය ලැබුණා. එහෙම ආපු ගමන තමයි අද මේ තාමත් ඉන්නේ. ඇත්තටම කලබල වෙලා ජනප්‍රිය වෙන්න ඕනෙයි කියල හිතාගෙන මගේ ජීවිතේ මම මුකුත්ම කරලා නෑ. හැබැයි මම කරපු චරිත දැකලා මට වැඩදීලා එහෙම ආපු ගමන තමයි අද මේ මම රුඳිලා ඉන්නේ.
මේ ගමන එන්න මම වගේම මගේ අම්මිත් ගොඩක් දුක් වින්දා. අද මෙහෙම ලොකු ගෙයක් තිබුණට ඒ ගේ හදන්න පාරේ ඉඳන් වැලි ටික ඇද්දේ මායි මගේ අම්මයි. තාච්චිවලට අත කැපිලා අතින් ලේ ආපු දවස් අනන්තයි. ගෙයි සිමෙන්ති පොළොවේ නිදාගත්තු අතීතයක් අපිට තිබුණා. ඒ ගැන කියන්න මම ලජ්ජ වෙන්නෙ නෑ. කුලී මනුස්සයෙකුට සල්ලි දෙන්න නැතිකම නිසා අම්මයි මායි ගේ හදද්දි වැලි ඇද්දා. ගඩොල් ඇද්දා. ඒත්.... එහෙම මහන්සි වුණු ගෙයි අපි අද ජීවත් වෙද්දී ගොඩක් සතුටුයි. ඒ අපේ මහන්සිය. ඒ අපේ දාඩිය. මගේ අම්මවයි මේ විශ්ව ශක්තියයි මම විශ්වාස කරනවා. මේ ආපු ගමනෙදි කවදාවත් වැඩ නැතිව තිබිලා ඉඳලත් නැහැ. හැමදාමත් එකම විදිහට යන්න වාසනාව මට ලැබුණා.

ඔබ අධ්‍යක්ෂවරු යටතේ පමණක් නොව ඉනෝකා සත්‍යංජලී, තුෂාරි අබේසේකර වැනි අධ්‍යක්ෂවරියන් යටතේ රඟපෑ සම්මාන හිමිවූ කලා ශිල්පිනියක්. ඒ ලබපු අත්දැකීම්...?
ඔව්... ඇත්තටම කියනවා නම් අපේ රටේ අධ්‍යක්ෂවරියන් හරිම අඩුයිනේ. සුමිත්‍රා පීරිස් මහත්මිය, මාලනී ෆොන්සේකා මහත්මිය හොඳ අධ්‍යක්ෂකවරියන් වුණා. ඒත් මට වාසනාවක් ලැබුණේ නැහැ සුමිත්‍රා පීරිස් මහත්මිය යටතේ වැඩ කරන්න. ඒත් ජීවිතේ මම තවමත් ඒ අවස්ථාව ලැබෙනතුරු බලාගෙන ඉන්නවා. නමුත් මම මාලිනී ෆොන්සේකා නම් මම අදහන ප්‍රවීණ ශිල්පිනිය අධ්‍යක්ෂණය කළ නිර්මාණ කීපයකම වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ තුළ ඇය කොයිතරම් දක්ෂ කෙනෙක්ද කියලා මම දැක්කා.

පහුගිය කාලයේදී ඔබ ඉනෝකා සත්‍යංජලී හරහා ජාත්‍යන්තර සම්මාන ලැබුවා...?
ඔව්. පසුකාලයේදී මම ඉනෝකා සත්‍යාංජලී සහ තුෂාරි අබේසේකර යටතේ රඟපෑවා. ඔවුන් ලෝකය දකින්නේ වෙනමම තලයක ඉඳලා. මම හිතනවා ඔවුන්ගේ නිර්මාණ තුළින් ඔවුන් මේ දේවල් කතා කරන්න උත්සාහ කරනවා. සිතුම් පැතුම් හා දැනුවත්කමින් ගත්තත් මේ දෙපළම ඉතාම ඉහළ තලයක ඉන්නේ. ඔවුන්ගේ නිර්මාණවලින් මේ රටට බොහෝ දේවල් කියා දෙන වැඩදායි නිර්මාණයි. මාව විශ්වාස කරලා මාව දායක කරගත්තට මම ඒ අයට ගොඩක් ගරු කරනවා. මට ජාත්‍යන්තර සම්මාන පවා ගේන්න ලැබුණේ ඉනෝකා අක්කගේ සුළං කිරිල්ලී නිර්මාණය නිසයි. ලෝකය දකින්නට, ලෝක සිනමා දකින්නට මට වාසනාව ලැබුණේ මගේ ආදරණීය ඉනෝකා අක්කා නිසයි. මේ දෙන්නම හැංගිලා ඉන්න බොහෝම දක්ෂ නිර්මාණවේදියෙක්.

දරුවෙක් හදාගන්න මාත් ආසයි 

දැන් විවාහ වෙන්න කාලය හරි නේද දමිතා..?
ඔව්... විවාහ වෙන්න ඕනේ.  දෙවියෝ හැමදේම වෙලාවට දෙන්නේ නැහැනේ. මේකත් ඒකම තමයි.

ලෙන්ලි ජොන්සන් ගැනත් කියමු..?
ඔව්... කියමු. දැන් ජොන්සන් අවුරුදු තුනක් හතරක් විතර ඇති ලංකාවට ඇවිත්. එයා ලංකාවේ කෙනෙක් වුණාට එයා කාලයක් එංගලන්තේ ඉගෙන ගත්තා. කාලයක් ඩුබායිවල හිටියා. ඒ නිසා අවුරුදු විසි ගණනාවක්ම එයා ලංකාවේ හිටියේ නෑ. ඉතින් දැන් තමයි ලංකාවට ඇවිත් එයත් පිළිවෙළක් වෙන්නේ. ලංකාවේ බිස්නස් කරලා තාම එයාට පුරුද්දක් නෑ. එයාටත් කාලයක් දීලා මාත් චුට්ටක් බලාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම බොහෝ දෙනා කියනව වගේ කසාද බඳින්න කාලය මගේ පැනලා තියෙන්නේ. හැබැයි මම හිතන්නේ වයස කියන්නේ අංකයක් විතරයි. අපිට අපේ සිත තමයි හැමදේමට බලපාන්නේ. මට වයස පහුවෙනවා කියලා කවදාවත් හිතුණේ නැහැ. වයස පහුවුණා කියල මම ඒ ගැන කිසිම දුකක් නෑ. ලැබිච්චි දේවල් ගැන හිතලා මම ගොඩක් සතුටු වෙන කෙනෙක්.

දැන් ඔය බැඳීමට කොච්චර කාලයක් වෙනවාද?
අපි දැන් ඔය සම්බන්ධය පටන් අරන් අවුරුදු 14ක් වෙනවා. මේ කතාකරන මොහොත දක්වා අපි අතර ප්‍රශ්න ඇතිවෙලා නෑ කියලා කියන්නේ නෑ. බොරු සුන්දර ලෝකයක, මල් යහනාවක අපි දෙන්නා ආවා කියලා මම කියන්නේ නෑ. එහෙම මට කියන්න බෑ. අපි අතරේ පුංචි පුංචි ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. එහෙම නැත්නම් බොරුවක්නේ. ඒත්... මේ හැම ප්‍රශ්න හමුවේ අපි ඒවා විසඳගෙන ගමනක් යාම තමයි හොඳම දේ. මම හිතනව මේ මොහොත වනතුරු මම ඒ දේ කළා. ඉස්සරහටත් ඒ ගමන යන්නට, අම්මා කෙනෙක් වෙන්නට, වගකීම් අරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්නට, ගැහැනියක් විදිහට අතිශයින්ම සාමාන්‍ය ගැහැනියකගේ හිත්වල පැතුම් ප්‍රාර්ථනාවල් මගේ හිතෙත් තියෙනවා.

දමිතා අම්මාට හරි ආදරණීය දුවක්නේ.... ජොන්සන් හා ඔබේ පවුල් බැඳීම කොහොමද?
එයා ගැන මට හරි සතුටුයි. මම හදිස්සියේ රට ගියොත් එයා තමයි මගේ අම්මවයි, ආච්චිවයි බලාගන්නේ. එයාගේ අම්මියි, තාත්තියි දෙන්නම මේ ලෝකේ නෑ. ඉතින්... එයා හැමදේම කරන්නේ එයාගේ අම්මිට කරනවා කියලා හිතාගෙනයි. මට ඒ ගැන හරි සතුටුයි... මම බලාපොරොත්තු නොවුණා තරමට මගේ අම්මිට, මගේ ආච්චිට, මගේ පවුලේ අයට එයා සලකනවා. ඒ හැමෝ එක්කම එයා හරි එකතුයි. එයා දන්නවා මම හරි කැමැතියි කියලා මගේ පවුලේ අයව සතුටු කරවන්න. ඒ යුතුකම ඒ වගකීම එයත් හරි අපූරුවට කරනවා.

කසාද බඳින කාලය මගේ පැනලා තියෙන්නේ 

කාලයක් නිෂ්පාදන කටයුතුත් කළානේ.... දැන් කරන්නේ නැද්ද...?
හරි ආසයි දැනුත් මොකක් හරි නිර්මාණයක් නිෂපාදනය කරන්න. ඒත් මේ කලාවේ හොඳ නිෂ්පාදනය කරන මිනිසුන්ට තාමත් හොඳ ක්‍රමවේදයක් හැදිලා තියෙනවා කියලා පේන්නේ නෑ. අපි දැකපු පරණ හෙවනැලි නාලිකාවල තාමත් තියෙනවා. ඉතින් මේකට තාමත් විධිමත් ක්‍රයක් හැදිලා නෑ.

කවදා විතර දමිතා විවාහවෙයිද...?
ලොකු මඟුල් ගෙවල් ගන්න කිසිම ආසාවක් නෑ. ඒ අසාව මට එදත් නෑ. අදත් නෑ. මේ තරඟකාරී දේවල් දැක්කම මට ඔළුව විකාරයි වගේ. ඊට වැඩිය මම හරි කැමැතියි බොහෝම චාම් උත්සවයක් ගන්නයි. මම වෙඩින් එක ගන්න දවසට මාත් එක්ක තරහ වෙන්න බොහෝ පිරිසක් ඉඳීවි කිව්වේ නෑ කියලා. මේ නිසා වෙඩින් එක ඉතාම චාම්ව මගේ පිරිසත් එක්ක විතරයි ගන්නේ. ඒ කොහොම වෙතත් බොහෝ විට මේ වසර ඇතුළත අපි දෙන්නා විවාහ වේවි.

Text – Jayamali / Pic - internet