2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

පින්නවල ඉන්න බලි අරින අලි

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

කොච්චර බැලුවත් අලි බැලිල්ල එපා වෙන්නෙ නෑ කියනවනෙ... කතාව ඇත්ත කියලා හිතෙන්නෙ අලි දිහා බලාන ඉද්දී... පස්ස නටවා නටවා යන හැටි විතරක්... හරිම විසේකාරයන්... එක තැනක එක විදිහකට නැවතිල්ලේ ඉන්න බැරි මෙහෙමත් අලි විසයක්... එක තැන නැවතිලා හිටියත් කකුල් දෙක නටවා නටවා පස්ස නලවන හැටි. මද කිපිලා මනමාලකම් හදවත කිති කවන කාලෙ ළඟින් ගියොත් හමාරයි... හිතෙන දේවල් මෙහෙම කියද්දී ඔයා දන්නවා මේ ඉරිදා අපි ඔයාව walk 111 එක්ක එක්ක යන්න හදන්නෙ කොහාටද  කියලා... ඔයා හිතුවා හරි අපි ගියේ අලි බලන්න... කොහාටද දන්නවද ගියේ  පින්නවලට... මේ සද්දන්තයන් දිහා බලාගෙන අලි අනාථාගාරේ කියන වචනෙ පාවිච්චි කරන්න හිතුණෙ නැති වුණාට ගිය තැන අපි ඔයාට හරියටම කියන්න ඕනනේ... අපි ගියේ පින්නවල අලි අනාථාගාරේ අලි බලන්න. ඉතින් ඔයත් එන්න ඉර බහින්ට ළංවෙච්ච මේ දම්පාට හැන්දෑකරේ අපිත් එක්ක අලි බලන්න යන්න... 

කෑගල්ලේ ඉඳන් පින්නවලට කිලෝමීටර් දහතුනක දුරක් තියෙනවා. 1975 අවුරුද්දෙ ඉදිකළ පින්නවල අලි නවාතැනේ මේ වෙද්දී අලි අසූ අටදෙනෙක් ඉන්නවා. ඉන් තිස් නවදෙනෙක් අලි පිරිමි. අනිත් හතළිස් නවය අලි ගෑනු. මේ අලි ගෑනු පිරිමි ඇතුළෙ අලි බබාලත් ඉන්නවා. මේ අලි තඩියන්ට, පොඩ්ඩන්ට වෙන්වෙච්ච පින්නවල අක්කර විසිපහේම මුන්ට අලි විසේ යනකම්ම නටන්න තියෙනවනම්. කකුල් හිරකරපු යදමින් මිදිලා... අලි හුරතල් අලි කෝලම් අලි සෙල්ලම් බලන්න පින්නවල ගියොත් ඔයාටත් එහෙම හිතෙයි.

උදේ අට හමාරේ ඉඳන් පහ හමාර වෙනකම් අලි බලන්න යන අය වෙනුවෙන් පින්නවල ද්වාරය විවෘතයි. අලි බබාලට කිරිදෙන වෙලාවල් වගේම අලි ගෑනු පිරිමින්ට කන්ට බොන්ට දෙන වෙලාවක් නාවන වෙලාවක් එහෙමත් තියෙනවා... කැලේට අයිති අපිට මොන Time Table ද කියලා උන්ට හිතුණත් මෙහෙ ආවොත් ඔක්කොම වැඩ Time Table එකටම කරන්න මේ අලි තඩියන්ට පොඩ්ඩන්ට සිද්ධ වෙනවා... අපි පොඩ්ඩෝ... අපි පොඩ්ඩෝ කියලා හිතුණ හිතුණ වෙලාවට හිතුණ හිතුණ විදිහට නටන්නනම් අවසර නෑ.

අපි ගිය දවසේත් අලි වැඩ බලන්න කට්ටිය හෝ ගාලා පින්නවලට ඇවිත් හිටියා. 1978 අවුරුද්දෙ තමයි පින්නවල අලි නවාතැන විදෙස් සංචාරකයන්ට විවෘත වුණේ... 1982 තමා අලි තඩියෝ අලි සෙල්ලම් පෙන්නන්න පටන් ගත්තෙ. කොස් පොල් කිතුල් කන හයියෙන් කොහොමද දාන සෙල්ලම්. පින්නවල අලි අම්මෙකුට ඉස්සරලම අලි බබෙක් ඉපදිලා තියෙන්නෙ 1984 අවුරුද්දෙ. ඒ ඉපදුණ අලි කෙල්ලගේ නම සුකුමලී... අලි බලලා ඉවරවෙලා අපි පින්නවලින් ගියේ නෑ. අලි නවාතැනේ ඉඳන් පේන නොපෙනෙන දුරකින් තියෙන LUXURY BOUTIQUE HOTEL එකකට අපි කළුවර දෝර ගලන ඒ හැන්දෑවේ ගියේ... ලෑස්තිවෙලා ඉන්න එහෙනම් ඊළඟ ඉරිදා අපිත් එක්ක එහෙ යමු. 

► Text -Saara / Pic- Channa Kassapa Koralearachchi