2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

දඟ රජ පැටවු පිටිපස්සෙත් පැපරාසි

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 259

එංගලන්තයේ රජ පවුලේ කතා අපි අසන්නේත් කියවන්නේ බොහොම ආසාවෙනි. මීට අවුරුදු හැට හැත්තෑවකට කලින් අපේ රටේ ද රජ පවුල ලෙස සැලකුණු මේ එංගලන්ත රජ පවුල අද වනවිට මුළුමනින්ම පාහේ පිරී ගොස් ඇත්තේ පුංචි ජෝර්ජ් කුමරුගේත් චාලට් කුමරියගේත් කතාවලිනි. තවමත් තුන්වැනි වියේ පසුවන ජෝර්ජ් කුමරුට හා දෙහැවිරිදි චාලට් කුමරියට දැනටමත් ලන්ඩනයේ මෙන්ම ලොවපුරා පැපරාසි ඇස යොමුව තිබේ. පුංචි කුමරාගෙත් කුමරියගේත් දඟ වැඩවලටද මේ කැමරා ඇස වැටී ඇත. 

පසුගියදා කේම්බ්‍රිජ් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන නිල නාමයන්ගෙන් හැඳින්වෙන ඔවුන්ගේ මවුපියන් වන විලියම් කුමරු සහ කේට් කුමරිය පෝලන්තයේ සහ ජර්මනියේ සංචාරයක නිරත වුණේ පුංචි කුමරාත් කුමරියත් කැටුව ය. 
එංගලන්තයේ සිට පෝලන්තය බලා පැය දෙකහමාරකට වැඩි ගුවන් ගමනක නිරත වීම නිසා ජෝර්ජ් කුමරු හුන්නේ අධික විඩාපත් බවකිනුයි. ඒ බව ඔහුගේ මුහුණෙන් පෙනෙන්නට තිබුණු අතරම ඔහු ගුවන් යානයෙන් බට මොහොතේ සිට මිනිත්තු කිහිපයක් ගත කළේ තම අත්වලින් දෑස් පිරිමැදීමට ය.

 

චාලට් කුමරියගේ මුහුණින් එතරම් වෙනසක් වෙහෙසක් දක්නට තිබුණේ නැත. ඇය තම මවගේ තුරුලට වී සුවසේ නිදා සිටියා විය හැක. 
රාජකීය පවුල ජර්මනියේ සංචාරය කරන අතරතුරේදී ජෝර්ජ් කුමරුවාගේ උපන් දිනය සැමරීමට ද ඔවුහු අමතක නොකළහ. පුංචි කුමරැට ලැබුණු උපන් දින තෑග්ග වූයේ තම පියා සමඟ හෙළිකොප්ටරයක නියමු කුටියේ අසුන්ගෙන යාමට ලැබීමය. විලියම් කුමරුට හුරුපුරුදු වර්ගයේ හෙළිකොප්ටරයක් වූ නියමු කුටියට ජෝර්ජ් කුමරු ගොඩවූයේ ද තනිවම ය. පුංචි ජෝර්ජ්ව හෙළිකොප්ටරයට ඔසවා තැබීමට විලියම් කුමරු උත්සාහ කළද එය ප්‍රතික්ෂේප කළ ජෝර්ජ් තනිව හෙළිකොප්ටරයට නැඟ ගත්තේය. අනතුරුව හෙළිකොප්ටර් නියමුවන් පළඳින හෙල්මටය ද පැළැඳගත්තේ තනිවම ය.  දැන් සියල්ල සූදානම් ය. තම සොයුරා නියමු කුටියට වී සැබෑම ගුවන් නියමුවෙකු ලෙස සැරසී සිටිනු දුටු චාලට් කුමරියට ද ආසාවක් ඇතිවිය. හෙළිකොප්ටරය පණගැන්වීමට තමන්ට උවමනා බව ඇය මවට බලකර සිටින්නට වූවාය. ඇගේ පෙරැත්ත නිසාම කේට් කුමරියට තම දෝණියගේ ආසාව ගැන හෙළිකොප්ටර් කාර්ය මණ්ඩලයට ද කියන්නට සිදුවිය. අවසානයේ හෙළිකොප්ටරය පණගැන්වීමේ බොත්තම එබුණේ සිඟිති චාලට් කුමරියගේ අතිනි. 

මේ අතරම ගුවන් පථය මත සිටියදී චාලට් කුමරියගේ පුංචි දඟකාරකමක් ද කැමරා ඇසට හසුවී තිබිණ. ජෝර්ජ් කුමරුත් චාලට් කුමරියත් අත යම් පත්‍රිකා කිහිපයක් තිබුණු අතර චාලට් කුමරියට හා කතාකරමින් උන් ඇගේ මව කේට්, එක්වනම ඇගේ අත තිබූ පත්‍රිකාව තමා අතට ගනු දක්නට ලැබිණ. ඒත් සමඟ චාලට් කුමරිය හඬන්නට වූ අතර ඇය නලවාගැනීම කේට්ට අසීරු කටයුත්තක් බව පෙනෙන්නට විය. හඬමින් සිටි පුංචි කුමරිය ඇවිද්දාගෙන යාමට කේට් ගත් උත්සාහය ද ඇහිරී ගියේ චාලට් කුමරිය ගුවන් ධාවන පථය මත ඇදවැටීම නිසා ය. 

පුංචි රාජකීයයන්ගේ සුරතල් දඟ වැඩ අතරින් පතර කැමරාවට හා මාධ්‍යයට හසු වුවද කෙන්ග්සින්ටන් මාළිගය ඔවුන්ගේ දඟ වැඩවලින් පිරී ගොස් ඇතැයි සිතන්නට තරම් හේතු කාරණා රැසක් පසුගිය කාලයේදී අසන්නට දකින්නට ලැබිණ. 
කේට් කුමරියගේ නැඟණිය වූ පීපාගේ සරණ මංගල්‍යය අවස්ථාවේදී මල් කුමරා සහ කුමරිය ලෙස පෙනී සිටියේද ජෝර්ජ් හා චාලට්ය. විවාහ මංගල්‍යයට පොඩිත්තන් දෙදෙනා සූදානම් දැයි ළඟම ඥාතියෙකු විමසූ විට කේට් කුමරිය පවසා තිබුණේ පොඩ්ඩන් දෙදෙනා කුමන අන්දමේ දඟ වැඩක් එහිදී කරනු ඇත්දැයි තමා කුහුලෙන් ඉන්නා බවය. කෙසේ නමුත් සරණ මංගල්‍යය අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අමුතු දඟ වැඩක් කර තිබුණු බව නම් වාර්තා වූයේ නැත.  මේ අතර චාලට් කුමරිය ඉපදුණු අවස්ථාවේදී අලුත් ආයා කෙනෙකු සේවයට ගන්නේ දැයි කේට් කුමරියගෙන් බොහෝ දෙනා විමසා සිටියත් ඇගේ පිළිතුර වූයේ නැත යන්නය. නමුත් දැන් අලුතින් සුපිරි ආයා කෙනෙකු කෙන්සින්ග්ටන් මාළිගයට බඳවාගැනීමට කේට් විලියම් යුවලට සිදුව ඇත්තේ ද පොඩ්ඩන් දෙදෙනාගේ දඟ වැඩ නිසා බව ද ලන්ඩනයෙන් වාර්තා වේ. 

(අන්තර්ජාලය ඇසුරෙන්) ‍

Text - Rajitha