2017 ජුලි 22 වන සෙනසුරාදා

මම සමහරුන්ට හිතින් ආදරේ කරනවා

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 278

නිරෝෂා මේ වෙද්දි බොහෝ කාර්යබහුල කලාකාරිනියක්?
සාමාන්‍යයෙන් මගේ ජීවිතේ කාර්යබහුල අඩුකාලයක් කියලා කාලයක් තිබුණේ නෑ.

ඔය අතරේදී නිරෝෂා ශලනි තාරකා ලියූ ගීතයක් ගායනා කරනවාලු නේද?
දවසක් රෑ මම වැඩකට ගිහින් එද්දි ශලනි දුරකථනයෙන් කතා කළා. නිරෝෂා අක්කා මම සින්දුවක් ලියලා තියෙනවා. ඔයාට කියලා ඒක ගායනා කරවන්න ආසයි කිව්වා. මම එයාට සින්දුවයි වචනයි එවන්න කිව්වම ශලනි නංගි එදාම මට ඒක එව්වා. ඉතින් ළඟදිම ඒක අහන්න පුළුවන් වේවි.

අද සමහරු ගායනා කරන්නෙ නෑ. කෑ ගහනවා. අඬනවා බිම පෙරළෙනවා. 

අද පවතින රැල්ල ගැන නිරෝෂා මොකද හිතෙන්නේ?
අවංකවම කිව්වොත් මම මේ අලුත් පරපුර තාම අඳුරන්නෙ නෑ. ගීතයක් දෙකක් මට ඇහිලා තියෙනවා. ඒත් මේ වර්තමානයේ එකම රැල්ලට යන ජෙනරේෂන් එකේ මම මූණු දන්නෙත් නෑ. එයාලා කියන නිර්මාණ දන්නෙත් නෑ. ඒක ඇත්තටම මගේ අඩුපාඩුවක් වෙන්න ඇති. ඒකට හේතුව මට ඒවා රස විඳින්න බැරි මොකක්දෝ හේතුවක් තියෙනවා.

ඒ කියන්නෙ නිරෝෂා කියන්නෙ මේ අලුත් පරපුර ඇතුළේ දක්ෂයින් නෑ කියලද?
මෙහෙමයි මාව වරදවා තේරුම් ගන්න එපා. මම කියන්නෙ මේ අලුත් පරපුරේ බොහෝමයක් දක්ෂයි. හැබැයි ඒ දක්ෂයින් අතරේ මම දකිනවා එයාලා මොකද්දෝ දෙයක් මඟහරිනවා. ඒක තමයි ගීතයට අවශ්‍ය භාවය. ඒක එයාලා කෘත්‍රිමව උත්පාදනය කරන්න හදනවා. භාවය කියන දේ කෘත්‍රිමව ගන්න බෑ. භාවය අතිශෝක්තියෙන් පෙන්නුම් කරාම ඒක දැනෙන්නෙ නෑ. ඒක අද සමහරු ගායනා කරන්නෙ නෑ. කෑ ගහනවා. අඬනවා බිම පෙරළෙනවා. 

නිරෝෂා ආපු කාලය මතක් කළොත්?
මගේ මුල්ම කාලෙදීත් මාත් වැරැදි කළා. මම ෆීල්ඩ් එකට ආවේ මට අවුරුදු දාසයේදි විතර. ඒ කාලේ “සිත හඬයි“ සින්දුව කියන කාලෙදි මම දැනගෙන හිටියෙ නෑ භාවය කියන්නෙ මොකද්ද, තමන් දන්නා ශිල්පය මොකද්ද කියලා. ඒකෙ යම් මට්ටමක මගේ හඬේ තිබුණ ආකර්ෂණය එක්ක මගේ හඬට මිනිස්සු කැමති වුණා. මම හිතන්නෙ ඒක මගේ වාසනාවටත් වෙච්ච දෙයක්. 

නිරෝෂාගේ ගීත වලට අමතරව නිරෝෂා අහන්න කැමති කාගේ සින්දුද?
නන්දා මාලනී, අමරදේව, වික්ටර් රත්නායක, ලතා වල්පොල වැනි ප්‍රවීණයන්ගේ ගීත තුළ හරඹ ගොඩක් අපි දකින්නෙ නෑ. ඔවුන්ගේ හඬ සහ භාවයන් තමයි අපි වඩාත්ම හොඳින් දැනෙන්නෙ. ගීතයේ හැම වචනයක් පාසාම ඔවුන් ජීවත් වෙනවා. ඒ හැම වචනයකටම ඔවුන් පණ දෙනවා. ඔවුන් ඒ ගීතය ගයද්දී ඒක තමන්ගේ කරගන්නවා. ඒ නිසා ඔවුන් ඒ ගීත ගායනා කරලා නෑ. ඔවුන් ඒ ගීතය තුළ ජීවත් වෙනවා. 

මට උයන්න බෑ. රෙදි හෝදන්න බෑ. මට මාළුවක් හදන්න බෑ කියන වචන මම ළඟ නෑ.

ඔය ගායිකාව ඇතුළේ ජීවත් වෙන සාමාන්‍ය සරල නිරෝෂා කොයි වගේද?
ගැහැනියක් හැටියට මගේ ජීවිතේ අසාර්ථක වෙච්චි තැන් ඇති.  තව කෙනෙක්ගේ කේන්ද්‍රයෙන් මම දිහා බලද්දි ඒක අසාර්ථකයි කියලයි සමහරු කියන්නෙ. විවාහ දෙකක් අසාර්ථක වුණාම, පවුල් ජීවිතයක් හරියන්නෙ නැතිකොට, දරුවෙක් නැති වුණාම, හිතන්නෙ මේ ජීවිතේ අසාර්ථකයි කියලනෙ. ඒත් ජීවිතේ සියලු දෙනා උපදින්නෙ විවාහ වෙලා දරු මල්ලො හදලා මැරිලා යන්නම නෙමේ. ජීවිතේ යම් යම් දේවල් උත්සහ කරලා ඒක හරියන්නෙ නැති වුණාම ඒ ඒ හැබැයි මම ගැහැනියක් හැටියට බොහෝ දේවල් සම්පූර්ණ කරගත්තු ගැහැනියක්. 

ඒ අතරේ ඔබ ඔබේ යුතුකම ඉටුකරපු කලාකාරිනියක්ද?
ඔව්... මම සාමාන්‍ය ගැහැනියක්. මට උයන්න බෑ. රෙදි හෝදන්න බෑ. මට මාළුවක් හදන්න බෑ කියන වචන මම ළඟ නෑ. මම මගේ ජීවිතේ පවුලේ වැඩිමහල් දරුවා හැටියට මට අවුරුදු එකොලහේදී ඉඳන් උයන්න පුරුදු වුණ කෙනෙක්. මම මුලින්ම ගෙදර උයපු දවස අද වගේ මතකයි. එතකොට මගේ තාත්තා ලංකාවේ හිටියේ නෑ. අම්මා වැඩකට ගිහින් එන්න පරක්කු වෙද්දි මගේ නංගියි මල්ලිලා දෙන්නයි බඩගින්නෙ හොඳටම ඇඬුවා. 

එතකොට නිරෝෂා මොකද කළේ?
එතකොට අපේ ගෙදර දර ළිපටත් මම උස නෑ. එදා අම්මා ගෙදරින් යද්දි මුංඇට පෙඟෙන්න දාලා ගිහින් තිබුණා. මම පොල්ගාලා කිරි අරගෙන මුංඇට ඉව්වා. සැමන් තෙල් දැම්මා. ඒවායේ කිසිම රහක් නෑ. ඒ කිසිම දෙයක් හදන්න මම දන්නෙ නෑ. ළිපට උස ගත්තෙ ළිප ළඟ බංකුවක් තියලා. එහෙම උයලා මල්ලිලාට නංගියට කන්න දුන්නා. එයාලත් හොඳට කෑවා. එදා පාන් අරගෙන ගෙදර ආපු අම්මා මම කරපු දේ දැකලා දරාගන්න බැරිව මාව බදාගෙන හොඳටම ඇඬුවා. ඉතින් ඒ වගේ පුංචි කාලේ ඉඳන් දුක, සතුට හැම දෙයක්ම විඳදරාගත්තු නිසා මම ජීවිතේ ගැන කිසිම දාක බය වුණේ නෑ.

ආදරේ ගැන ගීත කියන නිරෝෂා ආදරවන්තියක් නේද?
ඔව්.. මම සදාකාලිකවම ආදරවන්තියක්. මම ආදරවන්තියක් නොවෙයිනම් මට රහට ගීත ගායනා කරන්න බෑ. මට ආදරේ හිතට දැනෙන්නෙ නැත්නම් මට ජීවිතේ කළු ගලක් වගේ, කිසිම හැඟීමක් දැනීමක් නැති එකම තැන හිරවෙලා ඉන්නා කෙනෙක් වේවි. ආදරවන්තියක් වෙන්න පෙම්වතෙක් ඉන්න ඕනෙම නෑ. මම සිතින් ආදරේ කරන අය ඉන්නවා. ආදරය කියන්නෙ ලබා ගන්නා දේකට නෙවේ. අයිතිකරගන්න එකටම නෙවේ. මගේ ජීවිතේ ආදරේ දැනෙන තැන් තියෙනවා. ඒ නිසා මගේ ජීවිතේ මැරෙනකල්ම මම ආදරවන්තියක් වේවි.

► Text – Jayamali / Pic - Internet