2017 ජුලි 22 වන සෙනසුරාදා

ඉන්ටර්නෙට් ප්‍රශ්නෙකට එයයි මායි නිතරම රණ්ඩු....

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 327

සේමිණි... ධම්මිකයි ඔයයි විවාහ වෙලා වසර ගණනාවක් යනතුරුම ඔය දෙන්නාගේ පුංචි කැදැල්ලට දරුවෙක්ගේ පැමිණීම පරක්කු වුණා නේද?
ඔව්... ඒක ඇත්ත. ධම්මිකයි මායි විවාහවුණේ 1994 දෙසැම්බර් 05 වැනිදා. හැබැයි ඉතින් ඒක අවුරුදු හයක් තිස්සේ තිබිච්චි ප්‍රේම සම්බන්ධයක්. ඉතින් මායි ධම්මිකයි විවාහ වුණාට පස්සේ අවුරුදු හයක් යනතුරැම අපිට දරුවෙකු ලැබුණේ නෑ. ඉස්සර මම හරිම ආසාවෙන් හිටියේ පුතෙකුට. මට මතකයි මායි ධම්මිකයි ඉස්සර කසාද බැඳපු අලුත කතා වුණේ අපි දෙන්නා එකතුවෙලා ෆුට්බෝල් ටීම් එකක් වගේ බබලා ගොඩක් හදන්නයි.

 

අවුරුදු හයකට පස්සේ තමන්ගේ කුසට දරු පැටියෙක් ඇවිත් කියලා දැන ගත්තට පස්සේ කොහොමද ඒ අලුත් ජීවිතේ?
අම්මෝ ඒ සතුට ගැන කියලා වැඩක් නෑ. මම ගොඩක් පරිස්සම් වුණා. වෙන ගැබිණි අම්මාවරු පරිස්සම් නොවන තරමට මම පරිස්සම් වුණා. ධම්මික ගොඩක් මාව පරිස්සම් කළා. ඒ කාලේ ගමන් බිමන් යන එක පවා අඩු වුණා. කෑම බීම පවා පුදුම විදිහට පරිස්සම් කළා. ඒ දවස්වල රස්නෙන් වතුර ටිකක්වත් බිව්වේ නැති තරම්. නිදාගනිද්දී පවා හරියට පරිස්සම් වුණා.

කෑම බීම ගැන කතාකළානේ. කුමලි ලැබෙන්න කලින් ආසාවෙන් හිටියේ මොනවගේ කෑ කන්නද?
ඒ මාස නවය පුරාවට මම කෑවෙම පාන්පිටි ඉඳිආප්පයි පොල් සම්බෝලයි විතරමයි. වෙන කිසිම කෑමක් මට කන්න බෑ. කාපු ගමන් වමනේ දානවා. ඒ කාලේට කෑවෙත් එච්චරයි. දැනුත් මම ආස පාන්පිටි ඉඳිආප්පයි පොල්සම්බෝලයි කන්න. පුදුමේ කියන්නේ කුමලිගේ ආසම කෑමත් පාන්පිටි ඉඳිආප්පයි පොල්සම්බෝලයි. 

කුමලි ඉපදෙන්න කලින් ආසාවෙන් හිටියේ පුතෙකුටද? දුවෙකුටද?
එහෙම නෑ... මායි ධම්මිකයි දෙන්නම ආසාවෙන් හිටියේ නිරෝගීමත් බුද්ධිමත් දරුවෙක්ටයි. අපි මුලින් ස්කෑන් කරලා බැලුවෙත් නෑ. කොහොමහරි අපි වැඩිපුරම ඇඳුම් මැහුවෙත් නිල් පාටටයි. බඩු ගත්තෙත් නිල් පාට ඒවා. කොහොමහරි කුමලි ඉපදුණාට පස්සේ මගේ යාළුවෙක් ඉක්මනට කුමලිට රෝසපාට ඇඳුම් මහලා දුන්නා. 

කුමලි ඉපදෙද්දී කොයි වගේද?
කුමලි ඉපදුනේ කොළඹ ඕවසීස් හොස්පිට්ල් එකේ. එයා ඉපදුනේ සතියකට විතර කලින්. ඒ දවස්වල අපේ ගෙදර වැඩ කරපු කෙනෙක් එක්ක පොඩි කේන්තියක් ගිහින් මට මාවම පාලනය කරගන්න බැරිවුණා. ඒ නිසා මට සතියකට කලින් අමාරු වුණා. ඉතින් කුමලි ඉපදුනා. එයා ගොඩක්ම ගොඩක් චූටියි. හරියට ලේන් පැටියෙක් වගෙයි. මම කෑම බීම එහෙමත් අඩුවෙන් ගත්තු නිසාදෝ කුමලිගේ බරත් ගොඩාක් අඩුයි. ඉතින් කුමලි හම්බවෙලා පෙකණිවැල කපන්නත් කලින් මට ඕන මගේ එන කිරි ටික බබාට දෙන්නයි. චූටිම චූටි කටට හරිම හරි අමාරුවෙන් එදා කිරි ටික දුන්නා. ඒ හැඟීම මට කවදාවත් අමතක වෙන එකක් නෑ. කුමලි අවුරුදු හයක් අම්මගේ කිරි බීපු දරුවෙක්.

කුමලි චූටිකාලේ එයාගේ වැඩවලට උදවු කළේ කවුද?
ඉස්පිරිතාලෙන් දුවත් අරගෙන ටික කාලයක් මම අම්මලගේ ගෙදර ගිහින් හිටියා. මාසයක් විතර හිටියට පස්සේ ඉතින් දන්නේ නැද්ද අම්මයි මායි අතර පුංචි හිත්රිදීමක් ඇතිවෙලා මම තංගල්ලට ගියා. එහිදි මගේ ලොකු අම්මා මාත් එකක් හිටියා. ඉතින් එයත් මට උදවු වුණා.

කුමලි දඟයිද?
ඔව්... කුමලි පුංචි කාලේ දඟයි. දඟටත් වඩා මටයි ධම්මිකටයි තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි කුමලි කෑම කෑවේ නෑ. කෑම කවද්දී ඒක පුදුම යුද්ධයක්. එයා හැම තිස්සේම කළේ පුංචි ගෑනු ළමයෙක්ගේ වැඩ තමයි. කොච්චර ට්‍රයිසිකල්, සෙල්ලම් කාර් ගෙනත් දුන්නත් කුමලි සෙල්ලම් කළේ බෝනික්කන් එක්කයි. තනියම එයා සෙල්ලම් ගෙවල් දානවා. පුංචි පුංචි වලං පොඩි තියාගෙන එයා සෙල්ලම් බත් ඉව්වා.

කුමලි ඉස්කෝලේ ගියේ කොහෙද?
එයා නාරාහේන්පිට ABC මොන්ටිසෝරියට තමයි මුලින්ම ගියේ. අවුරුදු දෙකහමාරක් විතර මම කුමලිව මොන්ටිසෝරි දැම්මා. එයා තනි ළමයා නිසා එයාට සෙල්ලම් කරන්නත් එක්ක තමයි එහෙම කළේ. ඊට පස්සේ දැන් එයා ඉගෙනගන්නේ එලිසබත් මොයා ජාත්‍යන්තර පාසැලේ. එයා ලබන අවුරුද්දේ මැයි ලන්ඩන් O/L විභාගයට පෙනී ඉන්නවා.

කුමලි දැන් අවුරුදු 16ක ගෑනු ළමයෙක්?
ඔව්... දැන් එයා අවුරුදු දාසයක ලොකු ළමයෙක්. එයා හැමදේම මාත් එක්ක කතා කරනවා. එයයි මායි යාළුවෝ වගේ ඉන්නේ. මේ කාලේ ළමයි තාක්ෂණයත් එක්කනේ වැඩිපුර ගනුදෙනු කරන්නේ. ඒ නිසා පසුගිය දවස්වල එයා නිතරම ඒ තාක්ෂණයත් එකක් තනිවෙන්න උත්සාහ කළා. ඉතින් පසුගිය දවස්වල මායි කුමලියි ෆයිට්.

කුමලි සැරයිද?
මෙහෙමනේ... ඒක ඔය වයසේ වැරැද්දනේ. ඔය අවුරුදු පහළොව දාසය දාහත කියන්නේ ටිකක් නරක නපුරු වයස් කාලයක්නේ. මව්පියෝ විදිහට අපි ඒක තේරැම් ගන්න ඕනේ. කොච්චරවත් එයයි මායි රණ්ඩු. හැබැයි පොඩි වෙලාවයි. මට දරාගන්නට බැරි ඒ වෙලාවට කුමලි කන්නේ නැතිව ඉන්නවා.  

ඔය කිව්වට හොරෙන් කනවා ඇති?
ඒකනේ පුදුමේ. ඉස්සර අපි එහෙම අම්මලා එක්ක තරහ වුණාම අම්මට නොපෙනෙන්න හොරෙන් ගිහින් කනවා. මේකී එහෙම කන්නේ නෑ. දවසම නොකා ඉන්නවා. මට ඉන්න බෑ දුකයි. මම ඉතින් කෑම ටිකක් බෙදාගෙන හෝටල් කාමරේට අරගෙන යනවා වගේ හදලා තියෙනවා. කුමලි කෑම කන්නේ නැතිව කාමරේ දොර ගාවින් තියනවා. ඉතින් දුකයි. ටික වෙලාවකින් කුමලි ඉතින් හෙමි හෙමීට ඇවිත් කතා කරනවා. පව් මගේ අහිංසකී.

හැබැයි ඉතින් ගෙදර පොලීසියයම ඉඳීද්දී නේද?
මෙහෙමනේ එයා පොලීසියට කොහොමත්ම බය නෑ. ධම්මික එක්ක එයා හරි යාළුයි. මාත් එක්කත් යාළුයි. හැබැයි මට බයයි. එයා හැමදේම මාත් එක්ක කතා කරනවා. පිරිමි ළමයෙක් විහිළු කළත් මාත් එක්ක කියනවා. පිරිමි ළමයෙක් ගැන හිතුනත් මාත් එක්ක කියනවා. ඔය කාලේදී පිරිමි ළමයි ගැන උනන්දු කාලේනේ. එයාට පිරිමි යාළුවොත් ඉන්නවා. එයාලා ගැනත් කියනවා. සමහර වෙලාවට අපි පිටරට ගියාම ඔය තෑගි ගනිද්දී මගේ ඇඟේ තුරුල්වෙලා අම්මේ අර යාළුවට අරක ගමුද... මේක මෙයාට ගමුද කියලා අහනවා. ඉතින් මාත් එයාට උදවු කරනවා. මම කියලා තියෙන්නේ යාළුවෝ එක්ක ඒ දේවල් කියන්න කතා කරන්න එපා අම්මා ඉන්නවා අම්මට කියන්න කියලයි. එතකොට ඒ හැමදෙයක්ම වෙන්නේ මගේ ඇස්දෙක ඇතුළේනේ. ඇත්තටම කුමලි කියන්නේ හරිම හොඳ දරුවෙක්. 

කුමලි වැඩිපුරම කැමති මොනවටද?
එයා ගණිතයට කැමතියි. ඒ වගේම ඉවුම් පිහුම්වලට කැමැතියි. පොඩි කාලේ ඉඳන් එයා කෑම හදනවා. අත්හදා බලනවා. සමහර ඒවා වැරදෙනවා. හැබැයි හරි රසට කුමලිට කෑම හදන්න පුළුවන්. හැබැයි වියදම වැඩියි. කෑම හදන්න එක එක දේවල් ඉල්ලද්දී ඊට වඩා ලේසියි හොටෙල් එකකට ගිහින් කන එක කියලා හිතෙනවා. හැබැයි පුංචි කෙල්ලගේ ආසාවනේ. ඒ නිසා එයා ඉල්ලන දේවල් අපි ගෙනත් දෙනවා. රහට කෑම නම් හදනවා. හැබැයි කුස්සිය අස්පස් කරන්න වෙන කවුරුහරි ඉන්න ඕනේ. එයා පොඩ්ඩක්වත් රඟපාන්නනම් ආස නෑ.

මේවගේ ඇස්දෙක වගේ බලාගත්තු පුංචි කෙල්ල දවසක මනමාලියක් වෙලා ඔය කැදැල්ලෙන් යාවි?
ඔව්... ඉතින් ඒක ඕනෑම අම්මා කෙනෙක් විඳින අත්දැකීමක්නේ. මටයි ධම්මිකටයි ඕනේ කුමලි හොඳ යහපත් දරුවෙක් කරන්නයි. ඇත්තටම එයා හොඳ දරුවෙක්. අපි හම්බ කරපු හැම දෙයක්ම වියදම් කරලා එයාට ඉගැන්වුවා. එයා පිටරට ගිහින් ඉගෙන ගන්න ආසයි. ඒකත් අපි කරනවා. මම හිතන්නේ ගැහැනු දරුවෙක් විවාහවෙන්න ඕනේ හොඳම වයස අවුරුදු විසි එක කියලයි. කුමලිගේ ඒ වයසෙදි එයා මනාලියක් වෙලා අපි දෙන්නව දාලා අලුත් කැදැල්ලක් හදාවි. එයාගේ සතුට දිහා බලාගෙන මටයි ධම්මිකටයි අපි දෙන්නගේ ජීවිතේ විඳින්නත් පුළුවන් වේවී.
අම්මා දුව ගැන කිව්වනේ... මේ පුංචි කෙල්ලගෙන් අම්මා ගැන ඇහුවේ නැත්නම් ඒකත් ලොකු අඩුවක්නේ. ඉතින් කුමලි අසේකා එක්කත් අපි කතා කළා. 

කුමලි... අම්මා කලාකාරියක්නේ... ඉතින් මොකද හිතෙන්නේ?
මට මතක කාලෙක ඉඳන් මගේ අම්මා කලාකාරියක්නේ. ඉතින් මම ඒක වෙනසක් තේරෙන්නේ නෑ. චූටි කාලේ ඉඳන් මම දැක්කේ අම්මා ළඟට ඇවිත් කට්ටිය කතා කරන හැටි. අම්මා එක්ක ෆොටෝ ගත්ත හැටි. අම්මා එක්ක හිනා වෙන හැටි. ඉතින් මට ඒවා පුරුදුයි. ඒවා මට වෙනස් නෑ.

අම්මා ඔයාගේ යාළුවෙක් වගේලු... ඇත්තද ඒක?
ඔව්නේ... මගේ හොඳම යාළුවා තමයි මගේ අම්මා. මම අම්මට හැම දෙයක්ම කියනවා. අම්මි ඒවා අහනවා. අපි ඉන්නෙ යාළුවෝ වගේ තමයි.

ඇත්ත කියන්න අම්මටද බය... තාත්තටද?
මම අම්මිට බයයි. තාත්තිට වැඩිය කේන්ති යන්නේ නෑ. අම්මිට කේන්ති ගියාම අම්මි හයියෙන් කෑ ගහනවා. හැබැයි එයා හරිම හොඳයි. චුට්ට වෙලාවකින් මාව ඇවිත් බදාගන්නවා. අම්මියි තාත්තයි මට ගොඩක් ආදරෙයි. මාව ඉස්කෝලේ ගෙනියන්නේ ආයේ ගෙදර එක්කන් එන්නෙත් එයාලම තමයි.

කුමලි... ඔයා වැඩිපුර ආස මොනවටද?
මම උයන්න කැමතියි. මේක්අප්වලට එහෙම කැමතියි. චූටි කාලේ මම අම්මිගේ මූණ පුරා මේක්අප් කරනවා. දැන් අම්මි ලෑස්තිවෙද්දී අම්මිට ඇඳුම් තෝරලා දෙනවා. අම්මි ගෙදර ඉඳිද්දී සමහර වෙලාවට අම්මියි මායි කාමරේට වෙලා අම්මිගේ Hairstyle දානවා. කොණ්ඩේ ගොතනවා. මම හදන චිකන් කරියට අම්මියි තාත්තියි හරි ආසයි. සමහර වෙලාවට මම හදන කෑම වැරදිලාත් තියෙනවා. එතකොට නම් වෙනස් කරලා අලුත් නමක් දානවා. ආයේ ඉන්ටර්නෙට් එකෙන් බලලා ආයේ අලුතින් හදනවා. 

එතකොට අස්පස් කරන්නේ කවුද?
සමහරදාට මගේ යාළුවොත් අපේ ගෙදරට ඇවිත් අපි එකතුවෙලා කෑම හදනවා. ඒ වෙලාවට චුට්ටක් අපි අස් කරනවා. ඉතිරි ඒවා ගෙදර උදව්වට ඉන්න අය කරනවා. මම යාළුවෝ එක්ක Shopping යන්නත් ආසයි. 

කුමලි රඟපාන්න ආස නැද්ද?
නෑ... මම ආස නෑ. මම ආස කවදාහරි නීතිඥ කෙනෙක් වෙන්නයි. 

 

► Text – Dishani /  Pic - Sumudu /  Hair and Makeup - Nelum /  Out Fit Designed By - Kushan