2017 ජුලි 22 වන සෙනසුරාදා

ඉන්න ලෝකෙකින් දැන් වරෙන්

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

සිස්ටර් සේරා අංජලී ගැන කියූ දේ විශ්වාස කරන්න තරම් මානසිකත්වයක් මට තිබුණේ නෑ. ඇය ජීවත්වන බව මිසක් මිය ගිය බව අදහන්න තරම් හයියක් මගේ හදවතට තිබුණෙ නෑ. ඒත් මළවුන් අතරින් පැමිණි රෝස් අංජලීගේ මරණය ගැන කියූ දේවල් මගේ හිත මහා සන්ත්‍රාසයකට පත් කළා. සිස්ටර් සේරා මට තේරුම් ගත නොහැකි හේතු සමුදායක් මත දිගින් දිගටම මා ප්‍රතික්ෂේප කළත් පල්ලිය කෙරේ වූ මගේ ආත්මගත බැඳීමෙන් නිදහස් වීම මට අසීරු වුණා.

තේරුමක් නැති අතීත මතක අස්සෙ ගිලී‍ෙගන මම රාත්‍රියේ පැය ගණනක් ඈත ගෙඋයන දිහා බලාගෙන හිටියා. පල්ලියේ ලොකු ඔරලෝසුවේ උදෑසන හතරෙ කණිසම වදිද්දිත් මම හිටියේ ඇහැරගෙන. එක්වරම මගේ හිතේ පහළ වුණේ අමුතු සිතුවිල්ලක්. 

රෝස්මරී උඹ වරෙන් මාත් එක්ක කතා කරන්න. මම කැමතියි උඹට ඇහුම්කන් දෙන්න. හැබැයි උඹ ඉන්පස්සෙ කවදාවත් මාව හම්බවෙන්ට එන්න බෑ. මම මාත් එක්කම කතා කළා.

මම ආයෙත් වතාවක් ගියේ පල්ලියේ සොහොන් බිමට 
රෝස්මරී ඉතින් වරෙන් මම ආවා 
මම කුරුස ලකුණ සොහොන් කොතක් පාමුල බිම ඉඳ ගනිමින් පැවසුවා 
රෝස්මරී ඉන්න ලෝකෙකින් දැන් වරෙන්. දුල්යානා ලෑස්තියි උඹත් එක්ක කතා කරන්න. ඉතින් වරෙන් උඹගෙයි මගෙයි ගනුදෙනුව ඉවරයක් කරගන්න 
එක්වරම මගේ උරහිසට දැනුණු තද සීතලක් නිසා මම මොහොතකට තිගැස්සී ගියා 
මම අවුරුදු ගණනක් බලාගෙන හිටියෙ මේ මොහොත එනකම් දුල්යානා 
මම ඈ දෙස නොබලා අහසින් පෙරී එන අන්ධකාරය දෙස එක එල්ලේම බලාගෙන හිටියා 
දුල්යානා... ඇයි උඹ එදා මාව බලන්න ආවෙ නැත්තෙ? 
කවදද?

මට මේ ලෝකෙන් යන්න වුණ දවසෙ? 
උඹට මේ ලෝකෙන් යන්න වුණේ නෑ... උඹ විහින් මේ ලෝකෙන් ගියා... 
ඔව්... මම ඒ තරමටම අසරණ වුණා... මාව අහන්ට කවුරුත්ම හිටියෙ නෑ 
ඇයි උඹ එච්චර අසරණ වුණේ?

මගේ කරගන්න බැරි මිනිහෙකුට මගේ ජීවිතයම කරගෙන ආදරය කරපු හින්දා 
ඇයි ආදරේ කළානම් උඹට උඹ ආදරේ කරපු දේ උඹේම කරගන්න බැරි වුණේ.

අපි ඇත්තටම ආදරේ කළා දුල්යානා... ඒත් එතකොටත් එයා මගේ නෙවෙයි... ඒත් මට ඒක දැනුණේ නෑ... මට ඒක දැනුණේ එයාගේ ආදරේ මට දරැවෙකුත් දෙන්න යනවා කියලා දැනගත්තම. මම කොහොමද දුල්යානා මගේ නොවන දෙයක අයිතිය ඉල්ලන්න තරම් අසාධාරණ වෙන්නෙ... මම කොච්ච්රදෝ ඇඬුවා. හැබැයි කාටවත් ඇහෙන්නෙ නැති වෙන්ට... දුල්යානා ඔයා කොන්වන්ට් එකේ විභාගයට ලෑස්ති වෙද්දී මම ජීවත් වෙනවද මැරෙනවද කියන එක හිත හිතා හිතින් දුක් වින්දා... මගෙ අම්මා මගෙන් හුඟක් ඈත්වෙලා හිටියෙ. මගේ තාත්තා මම පුංචි කාලෙදීම කැරලි කාරයෝ මරලා දැම්මා. මගේ එකම අක්කා ජීවත් වුණේ මට කිට්ටු වෙන්න බැරි තරම් දුරස් ලෝකයක. මම ජීවිතේ වින්ද එකම ආදරය මගේ නොවන බව මට අයිති කරගන්න බැරි බව දැනෙද්දී මම මානසිකව බින්දුවටම වැටිලා හිටියේ. මාව අහන්න හිටියෙ මාවම විතරයි. මට අඬන්න, කතා කරන්න හිටියෙ මාවම විතරයි. මම අන්තිමේදී ජීවිතයට බය වුණා. මට කවදාවත් තේරුම් ගන්න බැරිවුණා මට වැරදුණේ කොතනද කියලා. මට මඟහැරුනේ කාවද කියලා. ආදරය කියන්නෙ වැරදීමක්ද දුල්යානා. මම අදටත් ඒ ආදරය හොයනවා. මෙච්චර පාළු සීතල ලෝකෙක ඉඳගෙනත් මම ඒ ආදරය හොයනවා දුල්යානා... 
රෝස් උඹ දන්නවා උඹට අයිති කරගන්න බැරි ආදරයක් උඹට දැන් කොහොටමවත් අයිති කර ගන්න බෑ කියලා 
ඔව් මම දන්නවා.... 

එහෙනම්? 
ඒත් මම උඹව හොයාගෙන එනවා වගේම එයාවත් හොයාගෙන යනවා. එයාගෙ හීන අස්සට රිංගලා එයාගෙ මතකය අවුස්සනවා... 
ආදරේ කරපු කෙනෙක්ගෙන් පලිගන්න එපා රෝස්... 
ඒක පලිගැනීමක් නෙවෙයි දුල්යානා... 
නැති වෙන්නෙ කොහොමද?
නෑ දුල්යානා ඒක ආදරය සහ අසරණකම. උඹ අංජලී හොයනවා වගේ මම මම ආදරේ කරපු අය හොයනවා 
දෙවියනේ මම ඉන්නෙ මනුස්ස ලෝකෙ... උඹ ඉන්නෙ මළවුන්ගේ ලෝකෙ...
ඒත් මාත් උඹ වගේම මම ආදරේ කරපු අය හොයනවා 
උඹට ඔච්ච්රද මාත් එක්ක කියන්න තියෙන්නෙ? 
නෑ.. තව හුඟක් දේවල් කියන්න තියෙනවා 

මේ රෑ ගෙවෙද්දී කියන්න තියෙන ඒ හැමදේම කියලා ඉවර කරපන් 
ඒ කතාව කියලා ඉවර කළත් මට උඹ අත්හැරලා යන්න බෑ දුල්යානා 
උඹ මට එහෙම පොරොන්දුවක් දුන්නා... 
මට උඹෙන් අහන්න දේවල් හුඟක් තියෙනවා... ඇය වියරු වැටෙන තරම් සීතල ඇඟිලිතුඩු වලින් මගේ ඇත දැඩිව අල්ලා ගත්තා