2017 ජුලි 22 වන සෙනසුරාදා

මාලය පේන්න කමිසය අඳින ගොන්පාට්ලා

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

සමහරු උත්සවවලට සහභාගි වෙනකොට ඒ සඳහා අදාළ, එතනට සුදුසු ඇඳුම් ඇඳගෙන එනවනෙ. ටයි කෝට් නොඇන්දට අඩුම ගාණෙ කමිසෙ බොත්තම් ටිකවත් දාගෙන එනවනෙ.

ඒත් කලා ලෝකෙ සමහර උත්සවලදී අපි දැකලා තියෙනවා කමිසෙ බොත්තම් 4ක් 5ක් ඇරගෙන එන කට්ටිය. ඒකට හේතුව තමයි ඒ ගොල්ලෝ පැළඳගෙන ඉන්න දිග රත්තරන් මාලෙ. ඇත්තටම බොත්තම් දාගෙන ආවොත් ඇඳගෙන ඉන්න මාලෙ පේන එකක්යැ.

ඔන්න ඔය වගේ දේවල් ගැන ළඟදි කලාකරුවෝ දෙන්නෙක් කතා කර කර හිටියලු.
එක්කෙනෙක් කියනවා මාලෙ පේන්න බොත්තම් ඇරගෙන ඉන්න එක සාධාරණයි කියලා.
එතකොට අනිත් කෙනා අහනවා ඉස්සරහ ඇන්දෙ රත්තරන් දතක් දාපු මිනිහෙක් හිනාවෙවීම ඉන්න ඕන කියලද, දත් පෙන්නන්න.
දැන් හිතමුකො රත්තරන් දතක් දාපු මනුස්සයා මළගේකට ගියා කියලා. එතකොටත් දත පේන්න හිනාවෙවී ඉන්න ඕනෙද?‍

 

යකාගෙ ගිලන් රථ සේවය

ඩෙංගු වසංගතය නිසා මිනිස්සු පුදුමාකාර විදිහට අසීරුතාවයන්ට මුහුණ දෙනවා. අනේ දැන්වත් තමන්ගෙ ගෙවල් ඇතුළෙ වගේම ගෙවල් අවට ප්‍රදේශවල මදුරුවෝ බෝවන ස්ථාන විනාශ කරනවනම් කොච්චර ලොකු පිනක්ද?

ඩෙංගු මදුරුවා ඉතිං තෝරලා බේරලා විදින්නෙත් නැහැනෙ. පසුගිය සතියේ අපි කවුරුත් දන්න කියන කලා ශිල්පියෙකු අම්මටත් ඩෙංගු උණ හැදිලා. මේ කාලෙ ඉතිං ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ විතරක් නෙවෙයි පෞද්ගලික රෝහල්වලත් කාමර හොයනවා කියන එක හරියට මොකක්දෝ හොයනවා වගේ තමයි. කොහොම හරි මේ කලා ශිල්පියාට කිරිබත්ගොඩ පැත්තෙ පෞද්ගික රෝහලක ශාඛාවක් ඇතුළේ ඇඳක් හම්බවෙලා තියෙනවා මොකක්දෝ වාසනාවකට.

දෙවැනි දවසෙ ලේවල ප්ලේට්ලට් හොඳටම බැහැලා. ඉස්පිරිතාලෙන් කියලා තියෙනවා වහාම ඇම්බියුලන්ස් එකකින් රාගම රෝහලට ලෙඩාව ගෙනියන්න කියලා. ඒගොල්ලො ගාව ගිලන් රථයක් තිබිලා නැහැ.
ඉතිං මේ කලා ශිල්පියා වහාම ජනප්‍රිය ගිලන් සේවයකට කෝල් එක්ක දීලා වහාම ගිල්න් රථයක් ඉල්ලලා. එයාගෙ නමත් වෘත්තියත් කියලා තියෙනවා. 

අනේ මහත්තයවත් අපි දන්නවා, මහත්තයා මේ වෙලාවෙ ඉන්න තත්ත්වෙත් අපට තේරෙනවා. අපි ළඟ ගිලන් රථයක් තියෙනවා. ඒත් අපට නීතියට පිටින් වැඩ කරන්න බැහැ මහත්තයෝ...
ඒ කියන්නෙ...
ඒ කියන්නෙ මහත්තයෝ අපට අවසර දීලා තියෙන්නෙ නිවසකින් ලෙඩෙක් අරගෙන රෝහලට ගෙනියන්න විතරයි. රෝහලකින් තවත් රෝහලකට ලෙඩෙක් ගෙනියන්න අපට අවසර නැහැ... සොරි

 

මිනී මරන්න අවශ්‍ය නැහැ

පත්තරවල වැඩ කරන කට්ටිය දන්නවනෙ පිටු සැලසුම් කරන ශිල්පීන් ශිල්පිනියන්ගෙ අතින් සිද්ධ වෙන භාරදූර කාර්ය භාරය මොන දේ ලිව්වත්, ඒවා ලස්සනට පාඨකයාට ඉදිරිපත් කළේ නැත්තම් ඒකෙන් වැඩක් වෙන්නෙ නැහැනෙ. ඉතිං මේ පිටු සැලසුම් කරන ශිල්පීන් නිර්මාණාත්මකව පිටු සකසන්න විශාල මහන්සියක් වෙනවා.

එක්තරා පත්තරේක අවංගල්‍ය දැන්වීම් හා සිහිකිරීම් භාරව පිටු සැලසුම් ශිල්පිනියක් ඉන්නවලු. උදෙන්ම ආපු ගමන් අවමංගල්‍ය දැන්වීම් භාරව ඉන්න කෙනාට කතා කරලා කියනවලු පුළුවන් තරම් දැන්වීම් ගෙනාවෙ නැත්නම් පිටුව ලස්සනට හදන්න බැහැ කියලා. 

සමහර දවස්වලට කියනවලු අනේ අයියේ තව දෙකක් හොයලා ගේන්නකො, එතකොට පිටුව ලස්සනට බැලන්ස් වෙනවා කියලා. 

අනේ නංගි මට ගිහින් මිනිස්සු මරලා අවමංගල්‍ය දැන්වීම් ගේන්නද කියන්නේ අර දැන්වීම් ගේන නිලධාරියා කියනවලු.
එහෙම නෙවෙයි පොඩ්ඩක් මහන්සිවෙලා හෙව්වොත් බැරිවෙන එකක් නැහැ. මිනී මරන්න කිව්වෙ නැහැ. ඔය ඉස්පිරිතාලවල දැඩි සත්කාර ඒකක පැත්තෙ රවුමක් ගහලා බැලුවොත් මොනවහරි එකක් ලැබෙයි කියලා ඒ ශිල්පිනිය කිව්වලු. 

 

අති විශිෂ්ට මළගේ

සමහර අයගෙ කටේ කාලෙන් කාලෙට එක එක වචන සෙට් තියෙනවා.
අපේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පියෙකුගේ කටේ මේ දවස්වල අති විශිෂ්ටයි කියන එක තමයි. ඉතින් කෑමක් කෑවත්, සින්දුවක් ඇහුවත් ප්‍රතිචාර දක්වන්නෙ අති විශිෂ්ටයි කියලා. 

ඔන්න පසුගිය දවසක ෂුටිං එන්න පොඩ්ඩක් පරක්කු වෙලා ඇවිත් තියෙන්නෙ. ඥාතියෙකුගෙ මළ ගෙදරක ගිය නිසාලු.
කොහොමද මළ ගේ... කවුදෝ කෙනෙක් මෙයා සෙට් එකට ආව ගමන්ම ඇහුවලු.
අති විශිෂ්ටයි මචං...

 

ඔයා මගේ ටේස්ට් එක නෙවෙයි

ඔන්න මේ ළඟදි චිත්‍රපටයක මුහුරත් උළෙලක් තිබුණා කොළඹ එක්තරා ශාලාවක. ක්ෂේත්‍රයේ අලුත් පරණ කලා ශිල්පීන් රැසකුත් ඒකට ඇවිත් හිටියා.

එතනට ඇවිත් හිටියා නව පරපුරේ කලා ශිල්පිනියකුත්. ආපු වෙලේ ඉඳං එතනදී මුණ ගැහෙන හැමෝටම එයා ළඟදි කරපු සිංදුවක් ගැන වර්ණනා කර කර කියනවලු. මේ අතර හිටියා තවත් අලුත් නළුවෙක්. එයා මේ තරුණ ශිල්පිනිය මුල් වරට හඳුනාගෙන කතා කළේ එදාලු.

උත්සවය ඉවර වෙලා තේ පැන් සංග්‍රහය අතරතුර මේ නලුවා අර කෙල්ලගෙන් එයාගෙ සින්දුව ගැන වැඩි විස්තර ඇහුවලු.
ඉතිං ඒ සින්දුව දැන් චැනල්වල යනවද? කවුද මියුසික් කළේ?
කෙල්ල කිසිම උත්තරයක් දුන්නෙ නැහැල්ලු. 

ඒ සින්දුව යූටියුබ් තියෙනවද? කොල්ලා ආපහු අහනවා.
කෙල්ල අර නළුවා ළඟට ඇවිත් මෙහෙම කිව්වලු
අයියෙ ඔයා මගේ ටේස්ට් එක නෙවෙයි

 

වෙඩිං එක රස පැන තරගයක්ලු

අපේ නව පරපුරේ දක්ෂ ගායිකාවක් පසුගිය දවසක ඥාතී මංගල උත්වයකට සහභාගි වුණාලු. 
ඔන්න වැඩේ කියන්නේ වෙඩින් එකට ගිහිං ආපු ගමන්ම එයා මූණු පොතේ අපුරු පෝස්ට් එකක් දැම්මලු. 
අද ගියා පවුලේ වෙඩිං එකකට. වෙඩි එකක් කියලා ගියාට පස්සෙ තමයි තේරුණේ ඒක රස පැන තරගයක් කියලා. 

ඉතින් ඔයා කවදද බඳින්නේ...?
ඊළඟ වෙඩින් එක ඔයාගෙ නේද?
අපි ඔයාට හොඳ කෙනෙක් හොයන්නද?
දැනටමත් කෙනෙක් හොයාගෙනද ඉන්නෙ...
මේ වගේ ප්‍රශ්නවලට තමයි උත්තර දීගෙන ඉඳලා තියෙන්නේ. 

► Text – Mithra