2017 ජුලි 15 වන සෙනසුරාදා

ටීචර්ලගෙ හුරතලී තාත්තගේ පොත් ගුල්ලී......

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 362

ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක... ඒ තමයි අපේ රටේ ප්‍රවීණ දක්ෂ සංගීතවේදී රූකාන්ත ගුණතිලකගේත් චන්ද්‍රලේඛා පෙරේරාගේත් චූටිම දුව. වින්ඩි අධ්‍යාපනය ලබන්නේ විදෙස්ගත වෙලයි. ඒ නිසානේ රූකාන්තත්, චන්ද්‍රලේඛත් දුවගේ අධ්‍යාපන කටයුතු නිසා එයත් එක්ක විදෙස් ගතවෙලා ඉන්නේ. ඒත් පසුගිය දිනෙක වින්ඩි ඔන්න ආයෙත් නිවාඩුවකට ලංකාවට ආවා. ඒ නිසාම වින්ඩිගේ ආගිය තොරතුරු දැනගන්නත් එක්ක අපි මත්තේගොඩ පිහිටි රූකාන්තගේ ගෙදරට ගොඩවැදුණා. කතාව පටන් ගන්නත් කළින් වින්ඩි හරි අපූරු යෝජනාවක් අපිට කළා. “අනේ ඔන්න අමාරුවේ දාන ප්‍රශ්නනම් අහන්න එපා. මට ඕවට උත්තර දෙන්න තේරෙන්නේ නෑ. ඉතින් කියවලා බලන්නකෝ අපි වින්ඩිව අමාරැවේ දැම්මද කියලා.

වින්ඩි ඔයා දැන් කාලයක ඉඳන් ඉන්නේ පිටරටනේ... එහේ මොනවද කරන්නේ?
මම පිටරට ඉන්නේ මට අවුරුදු අටේ ඉඳන්. තාම එහේ මම ඉගෙන ගන්නවා. සංගීතය තමයි මම අමෙරිකාවේ ඉගෙන ගන්නේ.

හැමදාම ඔහොම පිටරට ඉන්නද කල්පනාව?
නෑ... නෑ... අම්මෝ නෑ... මම ආසයි මේ ලංකාවට. ඉතින් මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙච්චි ගමන්ම මම අම්මලත් එක්ක ලංකාවේ පදිංචියට එනවා.

රයිනි අක්කත් කාලයක් පිටරට හිටියනේ... කොහොමද ඒ කාලේ?
අක්කා මට වඩා අවුරුදු හතක් වැඩිමල්. ඉතින් ඒ දවස්වල අපි දෙන්නා වැඩියෙන් රණ්ඩු වෙන එකතමයි කරන්නේ. හැබැයි ඉතින් දන්නවනේ... ඒවා ඔය චූටි චූටි දේවල්. රණ්ඩු වෙනවට වඩා ඉක්මණට අපි දෙන්නා ආයෙත් යාළු වෙනවා. අක්කයි මායි දෙන්නා ගොඩාක් වෙනස්. සමහර විට අපි දෙන්නගේ වයස් පරතරයත් ඒකට බලපානවා ඇති. ඉස්සරට වඩා අපි දෙන්නා දැන් කිට්ටුයි.

ඉස්කෝලේදී ඔයා වැඩිපුරම කැමති මොනවගේ දේවල් කරන්නද?
මට කොලේජ් එකේදීත් වැඩිය එහෙම යාළුවෝ හිටියේ නෑ. මම කොලේජ් එකේදීත් හරිම නිශ්ශබ්ද කෙනෙක්. වැඩිය දඟලන්නේ නෑ. හැබැයි කොලේජ්එකේ ටීචර්ලා මට තමයි ඔක්කොම කියන්නේ. ටීචර්ස්ලාගේ හුරතලී විදිහට තමයි මම ඉන්නේ... ඒ හැමෝම මට හරි ආදරෙයි.

ඉගෙන ගන්නවාට අමතරව මොන මොන වගේ දේවල්වලටද වින්ඩි වැඩිපුර කැමති?
මම පොත් කියවන්න ගොඩාක් කැමතියි. ඒ පුරුද්ද මට ඇතිවුණේ මම හිතන්නේ මගේ තාත්තිගෙන්. තාත්ති එක්ක තමයි මම බුක්ෂොප්වලට ගිහින් පොත් තෝරගන්නේත්. මට තාත්තිත් පොත් ගෙනත් දෙනවා. සමහර පොත් තාත්තියි මායි දෙන්නම එකතුවෙලා තෝරාගෙන දෙන්නම කියවනවා. ඒ වගේම මම චිත්‍ර අඳින්නත් හරි කැමතියි... ලස්සනමද කියලා මම දන්නේ නෑ... හැබැයි චිත්‍රත් අඳිනවා.

ඉස්කෝලෙදී වින්ඩි ක්‍රීඩා පැත්තට යොමු වුණේ නැද්ද?
නෑ... අනේ... මම ක්‍රීඩාවලට ඉදිරිපත් වෙන්නේම නෑ... ක්‍රිකට් ගහනවා බලන්න කැමතියි. හැබැයි එච්චරයි.

තාත්තයි අම්මයි රටේ දක්ෂ කලාකරැවන් දෙපළක්නේ. මොකද හිතෙන්නේ?
පුංචි කාලේ ඉඳන් මේ රටේ මිනිස්සු ඒ දෙන්නගේ සින්දුවලට ආස කළා. මගේ අම්මටයි තාත්තටයි ආදරේ කළා. ඒක මම දැක්කා. ඉස්සර චූටි කාලේ මම ඒ දෙන්නත් එක්ක යද්දී මාවත් ඉතින් හැමෝම හුරතල් කරනවා.

ඇත්ත කියන්න... ආඩම්බරයක් දැනුණා නේද...?
ම්... ම්... ආඩම්බරයක්ම කියන්නත් බෑ... හැබැයි පුංචි කාලෙනේ... ආසාවක් දැනුණා. හැමෝම අම්මලා ළඟට ඇවිත් කතා කරනවා. අම්මයි තාත්තියි ඒ අය එක්ක හරිම සුහදව කතා කරනවා. ඉතින් ඒ දේවල් දැක්කම ආස හිතෙනවා.

වින්ඩි දැන් අක්කා අමෙරිකාවේ නැහැනේ. ඔයා අමෙරිකාවේ ඉන්නේ තනියම පාළුවක් දැනෙන්නේ නැද්ද...?
ම්... පාළුයි. අක්කී එහේ ඉන්නකොට අක්කී හැමවෙලේම කියවනවා. එයා ඉන්නකොට ගෙදර සද්දයි. ඒත් දැන් එහෙම නැහැනේ. දැන් ඉතින්... එයා නැතිව පාළුයි තමයි. ඒත්... ඉතින් මොනව කරන්නද... හොඳම දේ තමයි මාත් ඉක්මණට ස්ටඩීස් කරලා ඉවරකරලා ලංකාවට එන එක තමයි.

කොලේජ් ගිහින් ආපු ගමන් කන්නෙවත් බොන්නෙවත් නැතිව කොලේජ් එකෙන් දීපු හෝම්වර්ක් කරනවා

තාමත් වින්ඩි කොලේජ් ගිහින් ආපු ගමන් හෝම්වර්ක් කරනවාද?
ඔයාලා කොහොමද ඒක දන්නේ... අක්කා නේද කිව්වේ. නෑ අනේ... ඒක මෙහෙමයි මම කොලේජ් ගිහින් ආපු ගමන් කන්නෙවත් බොන්නෙවත් නැතිව කොලේජ් එකෙන් දීපු හෝම්වර්ක් කරනවා. ඉතින් ඉස්සර අක්කී මට ඒකට හිනා වෙනවා. තාමත් එහෙමම තමයි.

වින්ඩි අම්මයි තාත්තයි එක්ක මුලින් සින්දු කිව්වේ කොයි කාලේදීද?
මම හිතන විදිහට මට එතකොට අවුරුදු දොළහක් විතර ඇති. ඒ කිව්වේ ලංකාවේ ෂෝ එකකදී. එදා ඒක අහපු අයට ටිකක් පුදුමයි. එතකොට මම හරි චූටියි. අනික මම හරිම නිශ්ශබ්ද කෙනෙක්නේ ඉතින් ඒ අය හිතුවේ නෑ මම එහෙම සින්දු කියයි කියලා. කොහොමහරි ඉතින් මාත් එදා සින්දු කිව්වා.

අම්මයි තාත්තයි අතරේ වින්ඩි වැඩියෙන්ම කිට්ටු කාටද...?
හැමදේම කියන්නේ අම්මිට තමයි. හැබැයි දෙන්නත් එක්කම මම හරි කිට්ටුයි. තාත්තිත් එහෙමයි. තාත්තිටත් ඕන දෙයක් කියන්න පුළුවන්. කොහොමටත් ඒ දෙන්නම අපිට හරිම කිට්ටුයි.

කාර්යය බහුල ජීවිතයත් එක්ක වින්ඩිගේ අධ්‍යාපන කටයුතු ගැන සොයලා බලන්නේ කවුද...?
මොනතරම් වැඩ තිබ්බත් අම්මයි තාත්තියි ඒ දෙන්නගේ වැඩම බදාගෙන ඉන්නේ නෑ. කොච්චර වැඩ තිබ්බත් ඒ දෙන්නගේ ජීවිතේදී අක්කිටයි මටයි බිසී වුණේ නෑ. අපි දෙන්නගේම හැම වැඩකදීම ඒ දෙන්නා අපිත් එක්ක ඉන්නවා. තාත්ති තමයි කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත් මාව උදේට කොලේජ් එක්කගෙන යන්නෙත්.

නිවාඩුවට ලංකාවට ආවේ මේ කොච්චර කාලෙකට පස්සෙද?
මම ගිය අවුරුද්දේ දෙසැම්බර්වලදී ලංකාවට ආවා. මට නිවාඩු හම්බවෙන හැමපාරම මම ලංකාවට එනවා. නිවාඩු ලැබිච්ච ගමන් ලංකාවට එන්න තමයි මම ආස.

පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවේ තිබිච්චි ෂෝ එකකට වින්ඩිත් සහභාගි වුණානේ. එදත් ශ්‍යාම් අක්කත් වින්ඩිට මුණගැහුණා නේද?
ඔව්. ශ්‍යාම් අක්කා පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මේ ඕස්ට්‍රේලියාවේ ෂෝ එකේදී මට ශ්‍යාම් අක්කත් මුණගැහුණා. අපි හිටියේ එයාලගේ ගෙදර. ශ්‍යාම් අක්කව මට මුණගැහුණේ හුඟ කාලයකට පස්සෙයි. ඇත්තටම අපි හැමෝම හරිම සතුටින් ඒ දවස් ටික ගතකළා.

කොහොමද ඒ ඕස්ට්‍රේලියාවේ ගමන? 
අපි මුළු පවුලම ඒ ඕස්ට්‍රේලියාවට ගිය නිසා ගොඩාක් සතුටු වුණා. ශ්‍යාම් අක්කිගේ පවුලේ අයත් අපිට මුණගැහුණු නිසාත් ඒ ගමන තවත් සතුටුයි. අපිට සතුට වැඩිකමට කිසිම මහන්සියක් දැනුණේ නෑ. හරිම ජොලියේ අපි කට්ටියම හිටියා. ඒ ටුවර් එකේදී මාත් සින්දු හතරක් වගේ කිව්වා. තාම ඉතින් මම කියන්නේ මගේ අම්මිගේ සින්දු තමයි. තාත්ති මටත් සින්දුවක් කරමු කිව්වා. ඒකත් ළඟදී කරන්න බලාපොරොත්තු වෙනවා. අම්මිගේ “කොහේද සිට ඇවිදින්, “ගතින් ඉන්නට නැතත් ළංවී කියන සින්දුවත් මම කිව්වා. අම්මිගේ සින්දුවලින් මම සින්දු බොහෝමයකට කැමතියි එදා ෂෝ එකේදීත් මම සින්දු කිව්වේ බයෙන්. හැබැයි හැමෝම හොඳයි කියනවා.

ලබන සතියේදී වින්ඩි අනුරාධපුරේදී දකින්න ලැබෙයි නේද...?
ඔව්... අපේ ප්‍රසංගයක් ලබන සතියේ පහළොස්වෙනිදා අනුරාධපුරයේදී පැවැත්වෙනවා. ඒකටත් සින්දු කියනවා. මම ඉංග්‍රීසි සින්දු කියන්නත් ආසයි. ඉංග්‍රීසි සින්දුත් කියනවා. හැබැයි ප්‍රසංග වේදිකාවේ නම් ඉංග්‍රීසි සින්දු කියලා නෑ. එක සැරයක් රූපවාහිනී චැනල් එකනම් කිව්වා.

වින්ඩි ආයෙත් අමෙරිකාවට යනවනේ... ආයේ කවද්ද ලංකාවට එන්නේ?
ඔව්... මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආයෙත් අමෙරිකාවට යන්න වෙනවා. තව අවුරුදු දෙකකින් විතර මගේ අධ්‍යාපන කටයුතු ඉවරවේවි. ඊට පස්සේ මම ලංකාවෙම ඉඳිවී. ඉස්සර චූටි කාලේ මම හරිම අසාවෙන් හිටියේ ඩොක්ටර් කෙනෙක් වෙන්න... ඒත් ඒක කරගන්න බැරිවුණා... දැන් මම සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න හරි ආසයි.

► Text - Dishani / Pic - Sumudu