2017 ජුලි 15 වන සෙනසුරාදා

එයා ඉල්ලපු තට්ටේ මම දීලා දැම්මා

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 274

දුලීකා මොකද මේ කොණ්ඩයට වුණේ?
ඒක තමයි මගේ අලුත් කොණ්ඩ ස්ටයිල් එක. නෑ.. නෑ.. එහෙම එකකුත් නෙමේ. ඒක තමයි අපේ අලුත් වැඩේ. ඒකෙ නම සුපර්ණා. ඒක අධ්‍යක්ෂණය කරන්නේ සුජීව ප්‍රියලාල්. නිෂ්පාදනය කරන්නේ කල්‍යාණි රණවක කියන මගේ ආදරණීය සහෝදරියක්. ඒක ටිකක් වෙනස්ම නිර්මාණයක්. ලංකාවේ සිනමාව තුළ අපිට දකින්න නොලැබිච්ච කතාවක් තමයි ඒක. පැය 48 පුරාවට සිදුවන සිදුවීම් මාලාවක් තමයි මේ නිර්මාණය තුළ තියෙන්නෙ.


කවුද මේකෙ රඟපාන්නෙ?
මේකෙ අපේ කලාකරුවන් කලාකාරියන් විශාල පිරිස් ඉන්නවා. අශාන් ඩයස්, සංජය උපේන්ද්‍ර, වසන්ත විට්ටච්චි, ජනක් ප්‍රේමලාල්, හයිසින්ත් විජේරත්න, දිනක්ෂි ප්‍රියසාද් වගේ බොහෝ පිරිසක් මේකෙ රඟපානවා. මෙහි සංගීතය සපයන්නේ පබළු විජේගුණවර්ධන. ඔහු හා හා පුරා කියලා සිනමාවට මේ හරහා දායක වෙනවා. ඊට අමතරව විශාල දක්ෂ කණ්ඩායමක් මේ නිර්මාණය ඇතුළෙ ඉන්නවා. මේ කතා සංකල්පයත් සුජීවගෙමයි.

පරිසරය ආශ්‍රිතව නිර්මාණය වූවක්ද මේ?
අපි ගහට කොළට ආදරේ කරපු මනුෂ්‍ය කොට්ඨාසයක්. එහෙව් ගහට කොළට ආදරේ කරපු රටක හිටපු අපි අද විනාශ වෙන මේ පරිසරය ගැන කතා කරනවා. මේක පරිසරය මුල්කරගත්තු නිර්මාණයක්. අපි මේක රූගත කරන්නෙ ලාහුගල, පොතුවිල් වැනි ප්‍රදේශවලයි. මේක කැලෑවක් කිව්වට අතිශය සුන්දර පරිසරයක් තියෙන ප්‍රදේශයක්.

එක්කෙනෙක් කෙට්ටු වෙන්න කියද්දි අනිත් කෙනා මට මහත් වෙන්න කීවා

නිර්මාණයට ඕන නිසාද කොණ්ඩය මුඩු කළේ?
ඔව්. මගේ චරිතයට අනුව අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය වෙලා තිබුණා කොණ්ඩය මුඩු කරන්න. ඉතින් ඒ නිසා මම හිස මුඩු කළා.

හිතුවෙ නැද්ද වේෂ නිරූපණය හරහා හිස මුඩුකර පෙන්නුවොත් හොඳයි කියලා?
ඒකට හේතුවක් තියෙනවා. අංගරචනා ශිල්පියාට ඒ ආම්පන්නත් එක්ක හිස මුඩුකරලා පෙන්නන්න පුළුවන් වුණාට මේ චරිතයේ හැටියට එහෙම කරන්න අමාරුයි. ට්‍රේල් බයික් පදින, බීච් බයික් පදින, අශ්වයන් පිටේ යන වෙනස් විදිහේ චරිතයක් තමයි මේක. එතකොට බොරු හිසක් දාගෙන ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි. මෙහෙණින් වහන්සේ වගේ කෙනෙක්ගේ චරිතයක් නම් එහෙම තාවකාලික වේෂනිරූපණයක් කරන්න පුළුවන් වේවි. ඒ නිසා මේ මගේ චරිතයට අධ්‍යක්ෂක මගේ තට්ටය ඉල්ලුවා. ඒ තට්ටය ඒ චරිතයට අවශ්‍යයි කිව්වා. ඒ නිසා ඒ තට්ටය මම දුන්නා.

එතකොට ඔය ට්‍රේල් බයික් පදින්න, අශ්වයා පිටේ යන්න එහෙම පුරුදු වුණාද?
පුරුදු වුණා කියන්නේ මෙහෙමයි. ඒ කිසිම දෙයක් මට එච්චර අමාරු වුණේ නෑ. මට ඒ දේවල් පුළුවන්. මම ඒ කිසිම දෙයක් අභියෝගයක් කියලා හිතුවෙ නෑ. අභියෝගයක් කියන්නේ තවත් එක වචනයක් විතරයි. රංගන ශිල්පියෙක් ශිල්පිනියක් කිව්වම ඔය හැමදේකම යම් හැදෑරීමක් තිබිය යුතුයි කියලයි මම හිතන්නේ. ඒ හරහා තමයි අපිට යම් යම් චරිත කරා යන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා ඒ කිසිම දෙයක් මට අභියෝග වුණේ නෑ.

ට්‍රේල් බයික් - අශ්වයෝ කියන්නේ මට මොන කජ්ජද්ද

ඒ වුණාට ඇඟ බස්සගන්න එක ටිකක් අභියෝගයක් වුණානෙ?
ඔව්... ඔව්.. මට ඒක ටිකක් අභියෝගයක් වුණා. මගේ ශරීර ප්‍රමාණය අඩුකරගන්න මම ලොකු කැපකිරීමක් කළා. ඉස්සර හිටියට වඩා දැන් බොහොම බර අඩුයි. හිතුවටත් වඩා මට අඩුකරගන්න පුළුවන් වෙලා තිබුණා. නමුත් වෙන කෙනෙකුගේ නිර්මාණයක් වෙනුවෙන් මගෙන් ඇඟ කෙට්ටු කරගන්න එපා කියලා විශේෂ ඉල්ලීමක් කළා. ඒ නිසා මම මගේ ව්‍යායාම ටික කාලයකට නැවැත්තුවා. හැබැයි ඉතින් අන්තිමේදි ඒ නිර්මාණය බොල් නිර්මාණයක් බවට පත්වුණා. හරසුන් නිර්මාණයක් බවට පත්වුණා. ඒ නිසා මේ සුපර්ණා වෙනුවෙන් මට කැප කරන්න තිබුණ කාලය ටිකක් අඩු වුණා. ඒ ගැන දුකයි.

ලෝරන්ස්ගේ මනමාලි දැන් මනමාලි වෙලා ඉවරද?
මේකනේ... මේ දවස්වල ලෝරන්සේගේ මනමාලියි මනමාලයයි දෙන්නම මෙහෙනෙ. ඒ නිසා ඒක පොඩ්ඩක් නතර කළා. හැබැයි තාම ඒ නිර්මාණය පෙන්නනවා. අගෝස්තු මාසෙ ඉඳන් දිගටම ලෝරන්සේගේ මනමාලි ආයෙමත් වේදිකාගත වෙනවා.

සුපර්ණාට අමතරව දුලීකා වෙන වැඩක් බාරගත්තෙ නැද්ද..?
මේ දවස්වලනම් වෙන මුකුත්ම වැඩක් කරන්නෙ නෑ. මේක විතරයි කරන්නෙ. එහෙම නිර්මාණ දෙක තුනක් එකදිගට කරන්න මට අමාරුයි. හැබැයි ඉතින් මේ නිර්මාණයේ නිෂ්පාදන අංශයෙන් ඒක හරියට කළමනාකරණය කරගන්න මගේ දායකත්වය ලබලා දෙනවා. ඒ සහයෝගය මම ලබලා දෙනවා. සුපර්ණා අපි හැමෝම එකම පවුලක අය වගෙයි. මේකෙ සියලුම රංගන ශිල්පීන් ශිල්පිණියන්ගෙන්, සියලුම කාර්මික ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කියන්න වචන නෑ. ඉතින් හැමෝම ලබන අවුරුද්දේ ලෑස්ති වෙන්න වෙනස්ම විදිහෙ සිනමා අත්දැකීමක් විඳින්න...

 

► Text – Dishani  / Pic - Internet