2017 ජුලි 15 වන සෙනසුරාදා

මම දුෂ්ටයෙක් වුණේ පළමු වතාවට

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

ධර්ම යුද්ධය හරහා වෙනස් චරිතයක් රඟපෑ ඔබ ඒ චරිතය ගැන කතා කළොත්?
ඔව්... ධර්ම යුද්ධය හරහා තමයි මගේ ජීවිතේ ප්‍රථම වතාවට මම දුෂ්ඨයාගේ චරිතය රඟපාන්නේ. ඒ දුෂ්ඨයාගේ විශේෂත්වයක් තියෙනවා. එක් පැත්තකින් බැලුවොත් තමන්ගේ දරුවා වෙනුවෙන් තමයි ඒ මවුපියෝ දඟලන්නෙ. අනික් පැත්තෙන් මේ අම්මා දුෂ්ඨයා විදිහට දඟලන්නෙත් තමන්ගේ දරුවා වෙනුවෙන්. ඉතින් ඒකෙ පොඩි සුවිශේෂීකමක් තියෙනවා.

නෝනාවරුනේ මහත්වරුනේ ටෙලිනාට්‍යයේ රඟපාපු දාමිණී ටෙලිනාට්‍යයේ රඟපාපු කුසුම්ගේ රංගනයේ තවත් හැරවුම් ලක්ෂයක් විදිහට ධර්ම යුද්ධය හඳුන්වන්න පුළුවන් නේද..?
ඔව්... අනිවාර්යයෙන්ම. නෝනාවරුනේ මහත්වරුනේ ටෙලිනාට්‍යයේ මධුරිගේ චරිතයෙන් සිරස මාව මිනිසුන් අතරට අරගෙන ගියා. පළවෙනි දවස් පහළොව මධුරි වුණ මම දෙවැනි දවස් පහළොව දාමිණී ටෙලිනාට්‍යයේ මාලනී රන්දෙණිය කියන නීතිඥවරියගේ චරිතය නිරූපණය කළා. ඉතින් එදා මම ප්‍රහසනයයි තාත්වික රංගනයයි දෙක එකට කළා. ඔහොම කාලයක් විවිධ චරිත කරපු මාව ආයෙමත් ධර්ම යුද්ධය හරහා වෙනසකට ලක් කළා.

ධර්ම යුද්ධය ඉන්දියානුවන් එක්ක කළ නිර්මාණයක්. කොහොමද ලැබුණු අත්දැකීම්?
ධර්ම යුද්ධය අධ්‍යක්ෂණය කළ චෛයාර් රවී කිව්වා එක එක නම්වලින් නිර්මාණය වුණ හැම චිත්‍රපටයකටම වැඩිය ලංකාවේ සිංහලෙන් කරපු මේ ධර්ම යුද්ධයට කැමතියි කියලා. නෝනාවරුනි මහත්වරුනි චිත්‍රපටයෙත් අපි වැඩ කළේ ඉන්දියානුවන් සමඟයි. මට මතකයි ඒ අධ්‍යක්ෂකවරයා හැමතිස්සෙම අපිට පුංචි හරි වෙහෙසක් දැනුණත් සෙට් ලයිට් ඕෆ් කරලා වාඩිවෙන්න දීලා අපිට විවේකයක් දෙනවා. එයාලා රංගන ශිල්පීන්ට අතිශයින්ම හොඳට සලකනවා. මේක අපිට පුදුමයි. ඒත් ඔවුන් විශ්වාස කරන්නේ කලා අධ්‍යක්ෂකවරයෙක්, රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක් හැම කෙනෙක්වම උගන්වලා හදලා ගන්න පුළුවන් වුණාට රංගන ශිල්පිනියක් ශිල්පියෙක් කියන කෙනා එහෙම උගන්වලා හදන්න බැහැ, එයාව දෙවියන් දෙන තෑග්ගක් කියලයි. ඒ නිසා ඔවුන් රංගන ශිල්පිනියන්ට ශිල්පීන්ට ගරු කළා. ඒ අය එක්ක වැඩ කරන්න හරි පහසුයි. එයාලගේ භාෂාව අපිට ඈත වුණාට කලාව අපිට ගොඩාක් සමීපයි. එයාලා එක්ක කලාව නිසා ගනුදෙනුව පහසුයි.

ධර්ම යුද්ධ කණ්ඩායම ගැන කතා කරන්න කිව්වොත් කොහොමද ලැබුණු සහයෝගය..?
ධර්ම යුද්ධය සිනමා නිර්මාණයට හොඳ ප්‍රවීණ කණ්ඩායමක් හිටියා. ජැක්සන් ඇන්තනී, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, ඩග්ලස් රණසිංහ, රොෂාන් පිලපිටිය වැනි හොඳ දක්ෂ කණ්ඩායමක් හිටියා. මේ චිත්‍රපටය මීට කලින් ඒක මුලින්ම ප්‍රදර්ශනය කරපු දවසෙ මට ඒක බලන්න බැරිවුණා, එදා මට වෙන සිනමා නිර්මාණයක රූගත කිරීම් යෙදිලා තිබුණ නිසා. කොහොම හරි ඒක බලපු බොහෝ පිරිසක් මට කතා කළා. මගේ රංගනයේ හොඳ කිව්වා. ඉතින් මේ හැමෝම නිසා මට ලොකු ශක්තියක් ලැබුණා. මේ හැමදේම එක්ක අපිට ඉතා සාර්ථක නිර්මාණයක් අවසන් කරන්න ලැබුණා. මම දැන් මගේ කොටස කරලා ඉවරයි. දැන් ඒක අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට බාර කරනවා.

මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසර්ප චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. දැන් ඊළඟට මට ඒකෙ හඬකැවීම් තමයි කරන්න තියෙන්නෙ. තවත් මම චිත්‍රපටයක රඟපාලා තියෙනවා. හඬකැවීම් කරලත් අවසානයි. ඒකෙ මායි ශ්‍රියන්තයි දෙන්නම රඟපෑවා.

මීට අමතරව ගෙදරදි හරි අපූරු භූමිකාවන් කීපයකම පෙනී ඉන්නවනෙ... කොහොමද ඒ ජීවිතය..?
ඔව්... මේ දවස්වල මිත්තණියකගේ චරිතය නිසාම තමයි මගේ නින්ද අඩුවෙලා තියෙන්නෙ. ගෙදර ආපුවාම මට ඒ පුංචි කෙල්ල වෙනුවෙන් කාලය යොමුකරන්න වෙලා තියෙනවා. ඒ වගේම මිත්තණිය, අම්මා, බිරිය කියන මේ චරිත සියල්ලටම මම හරිම ආසාවෙන් දායක වෙනවා. ඒ චරිත හැම එකකටම මම හරිම ආදරේ කරනවා. මගේ ජීවිතේ දියණිය කියන චරිතය මගේ ජීවිතෙන් අවසන් වුණා. ඒකට තියෙන ඉඩකඩ මගේ ඉවරයි. දැන් මට කරන්න තියෙන්නේ ඒ වෙනුවෙන් පිං කටයුතු විතරයි. හැබැයි බිරියගේ මවගේ මිත්තණියගේ චරිතවලට ආදරේ වගේම ඒ සැබෑ චරිතවලට කාලය මිඩංගු කරන්න වෙහෙසක් මම මේ දවස්වල දරනවා.

කොහොමද මිත්තණියයි මිණිබිරියයි අතර තියෙන බැඳීම..?
හරිම අපූරුයි. හරිම ආදරණීයයි. එයා තමයි අපිව ජීවත් කරවන්නෙ. මාව ආයෙත් ළමා කාලයට තාරුණ්‍යයට ගෙනියන්නේ එයායි. අපි එයත් එක්ක සෙල්ලම් කරනවා. ගොඩාක් වෙලාවට පුංචි කෙල්ල එයාගේ ඇඳෙන් බැහැලා එළියට ඇවිත් අපේ කාමරයට දුවගෙන ඇවිත් මගේ ඇඳට පැනලා මගේ පපුව උඩ ඔළුව තියාගෙන ඇඳ උඩ නිදාගෙන මගේ මුහුණ අතගගා තුරුලු වෙලා ඇඳට වෙලා ඉන්නවා. ඒ ආදරය හරි ආදරණීයයි... දැන් එයාට වයස අවුරුදු තුනහමාරයි.

 

► Text – Jayamali / Pic - Internet