2017 ජුලි 15 වන සෙනසුරාදා

අම්මත් පුදුම කළ අලි බබා

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ වාසය කරන ආතර් සහ සින්ඩි යුවල තම පවුලට එක්වන්නට නියමිත තුන්වැනියා එනතුරු හිටියේ ඇඟිලි ගණන් කරමිනි. අවසානයේදී නියමිත දිනය උදාවිය. නමුත් දරු ප්‍රසූතිය ඔවුන් සිතුවාට වඩා බොහෝ වෙනස් විය. එනම් අමෙරිකානු පුවත්පත් පමණක් නොව සැතපුම් දහස් ගණනක් දුරින් තිබෙන ශ්‍රී ලංකාව වැනි රටක පුවත්පතකට පවා ඔවුන්ගේ තුන්වැනි දරුවා වස්තු බීජයක් වනු ඇතැයි ඔවුහු සිහිනෙනුදු නොසිතන්නට ඇත.

ආතර් සින්ඩි යුවලට ලැබුණු මෙම දරුවාගේ විශේෂත්වය වන්නේ  රාත්තල් 14.4ක බරින් යුත් යෝධ බබෙක්වීම ය. එනම් කිලෝ ග්‍රෑම් 6.5ක උපත් බරක් සහිතව මෙම දරුවා බිහිව තිබේ. දරුවා මෙසේ අධික බරකින් යුතුව බිහිවීමට ප්‍රධාන සාධයක් ලෙස වෛද්‍යවරු පෙන්වාදෙන්නේ මව ගර්භණී සමයේ වැළඳෙන දියවැඩියාවෙන් පෙළීමය. එසේ වුවද කොලින් ලෙස නම් තබා ඇති මේ කුඩා පිරිමි බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් බව ද වාර්තාවේ.  

සින්ඩිගේ දරු ගැබේ විශාලත්වය නිසාම මුලදී බොහෝ දෙනෙකු සැක පහළ කර තිබුණේ ඇයට නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති බව ය. නමුත් පසුව වෛද්‍ය පරීක්ෂණවලදී ගැබේ සිටින්නේ එක් දරුවෙකු පමණක් බව තහවුරු කරගැනිණ. 
“සින්ඩිගේ උදරයේ නෙරා ඒමත් එක්ක දරුවා ටිකක් ලොකු බව අපිට දොස්තරවරු කියලයි තිබුණෙ. නමුත් දරුවා මේ තරම් ලොකුවෙයි කියල අපි කීයටවත් හිතුවෙ නැහැ” ආතර් පවසයි. 

දරුවාගේ විශාලත්වය නිසා පුදුමයට පත්වූවන් අතර සිටින්නේ මවුපියන් පමණක්ම නොවේ. රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ද විස්මයට පත්ව සිටී. කොලින්ගේ බර පිග්මි හිපෝ පැටවෙකුගේ බරට ද වඩා රාත්තලකින් පමණ වැඩි ය. 
කොලින් බිහිවූයේ සිසේරියන් සැත්කමක් හරහාය. කොලින් පිටතට ගැනීමෙන් පසු සින්ඩිගේ උදර ප්‍රදේශය නැවත මසන අවස්ථාවේදී කොලින්ගේ බර කිරීම සඳහා තරාදියක් ගෙන එන ලදී. එම තරාදියට කොලින් නැංවීම පවා අතිශය අසීරු කාර්යයක් වූයේ ඔහුගේ බර තරාදියටද දරා ගැනීම අපහසු වූ හෙයිනි. 

“මේ මගේ තුන්වැනි දරුවායි. ඇත්තටම කොලින්ගෙ විශාලත්වය නිසා මට ටිකක් අමාරු වුණා. විශේෂයෙන් නිදා ගන්න ගොඩක් අපහසුතා ඇතිවුණා. නමුත් අද කොලින් දකිද්දි ලොකු සතුටක්!” සින්ඩි කියන්නීය.
සිතුවාට වඩා විශාලත්වයෙන් කොලින් බිහිවූ පසු ඔහුගේ මව්පියන් මුහුණ දුන් ඊළඟ ගැටලුව වූයේ ඔහුට ඇඳුම් සැපයීම ය. සාමාන්‍ය බිළිඳෙකුගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන සේ ඔවුහු කල් තබා මිලදීගෙන තිබුණු ඇඳුම් කොලින්ට කිට්ටු කළ හැකි තරමටවත් තිබුණේ නැත. මාස පහක හයක වයසැති බිළිඳෙකුගේ ශරීර ප්‍රමාණයෙන් යුත් කොලින් වෙනුවෙන් නැවතත් අලුතින් ඇඳුම් මිලට ගැනීමට ද ඔවුනට සිදුවිය. 

ගිනස් වාර්තා පොතට අනුව මෙතෙක් වාර්තා වූ වැඩිම බරුති දරු උපත වාර්තා වන්නේ 1879 වසරේදී ය. එහිදී උපත ලද දරුවාගේ බර රාත්තල් 23ක් එනම් කිලෝග්‍රෑම් 10කටත් වැඩිය. 
“මම දැන් ආසාවෙන් බලාගෙන ඉන්නෙ කොලින් ලොකු වෙනකම්. එයා ඉපදෙද්දිම කොච්චර ලොකු බබෙක් ද කියලා එයාට තේරුම් කරවන්න මම හරි ආසයි” සින්ඩිගේ බලාපොරොත්තුව එයයි. 

( අන්තර්ජාලය අැසුරෙනි )

► Text — Rajitha