2017 ජුලි 08 වන සෙනසුරාදා

දැම්ම‍ෙ ඩාන්ස් කෑව‍ෙ දඩ

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1204

මේනකා මධුවන්ති පසුගිය දිනෙක බණ්ඩාරගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා.  ඒ මීට කලකට ඉහතදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය පදවද්දි සුක්කානම අතහැර වාහනය පදවාගෙන යාමේ මාර්ග නීතිය කඩකිරීම හේතුවෙන්. සුක්කානම අත හැරපු මේනකා වාහනයේ යන ගමන් දාපු Dance එක කෙළවර වුණේ රුපියල් 5000ක දඩයකින්.

මේනකා මොකක්ද මේ පහුගිය දවස්වල වුණේ?
අනේ ඇත්තටම මම ඔය ගැන දැන් කතා කරන්නවත් කැමති නෑ. මට අහන්න තියෙන්නේ මේ ලෝකේ පොලීසියෙන් රථවාහන වැරැද්දකට දඩ ගෙවපු එකම කෙනා මමද කියලා. එතකොට මේ රටේ අනිත් අය දඩ කාලා නැද්ද.. ඇයි මේ මට විතරක් මේ විදිහට ඇඟිල්ල දික් කරන්නේ. මේ රටේ මෙච්චර අනන්ත ප්‍රශ්න තියෙද්දි ප්‍රවෘත්තියක් විදිහට කියන්න තරම් මම මොකක්ද කරපු වැරැද්ද...

මේ සිදුවීමෙන් මේනකා කලකිරිලා.. එහෙම නේද?
ඔව්.. ඇත්තටම මට කලකිරුණා. කලකිරුණාටත් වඩා මට හරි දුකයි. මම මිනීමරලා නෑ... කාගෙවත් දෙයක් මංකොල්ලකාලා නෑ. ඒත්... නිකන් හරියට මම ලොකු වරදක් කරලා වගේ ප්‍රවෘත්තියක් තමයි පළවුණේ. බොහෝ දෙනා මගේ දිහා අමුතු විදිහට බලන්න පටන් ගත්තා. ඇයි ඒ... මාර්ග නීතියක් කඩකරපු මගේ දිහා මිනීමරුවෙක් දිහා වගේ බැලුවා. ඇයි ඒ..

මේ මාර්ග නීතිය කඩකරපු එකට මේනකාට ලැබුණු දඬුවම මොකක්ද..?
මට ශරීර ඇප තියලා නෑ. කිසිම ඇපයක් තියලා නෑ. මට තිබුණේ රුපියල් පන්දහසක දඩයක් විතරයි. ඇත්තටම රුපියල් පන්දාහක දඩයකට මාව නිව්ස් එකක් වුණා. මට ඇත්තටම දුකයි... මාත් එක්ක එකට හිටපු අයම මට මඩ ගැහුවා. ඒ ගැන මට ගොඩක් දුකයි.

කොහෙද එදා ඔය වාහනේ ගියෙ?
මේක ඇත්තටම මමයි මගේ නංගියි මගේ මල්ලියි ගියපු ගමනක්. ඒක ගොඩක් පරණ වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක අරගෙන අවුරුදු දෙකකටත් වැඩියි. ඉතින් ඒ වීඩියෝ එක අරගෙන ඉන්ස්ට්‍රග්‍රෑම් එකේ මම අප්ලෝඩ් කළා. කවුරු හරි කෙනෙක් ඒක You tube එකට දාලා තියෙනවා. ඒක ඒ දවස්වලම තමයි දාලා තියෙන්නේ.

ඒත්... ඔයාට කතා කළේ මෑතකදී නේද..?
ඔව්. මට පසුගිය දවසක කෝල් එකක් ආවා මේ සම්බන්ධව පැමිණිල්ලක් ඇවිත් කියලා. ඒක මට කරන්න ඇත්තේ මගේ ගැන හොඳටම දන්න කෙනෙක් මට අපහාස කරන්නයි. මට එක කෝල් එකයි ඒ සම්බන්ධව ආවේ. ඒ එක්කම මම ඉදිරිපත් වුණා. මම හැංගුණේවත් මඟහැරියේවත් නෑ. ඒක හොඳටම ඒ මට කෝල් කරපු සර්ලා දන්නවා. මම ඒ අයව මුණගැහිලා වැරැද්ද පිළිගත්තා. මම මාර්ග නීතියක් කඩ කළා. ඒකට මට නීතියෙන් දඬුවමක් ලැබුණා.

මේනකා කියන්නේ මේක ඔයාව දන්න කෙනෙක් කළා කියලද?
ඔව්... ඒ වගේ මාර්ග නීතියක් කඩපු මුල්ම කෙනා මම නෙමෙයිනේ. මම ප්‍රසිද්ධ කෙනෙක් කියලා මේකෙ පන්න පන්න ගහන්න තරම් මම කරපු වැරැද්ද මොකක්ද... හරියටම ඒ උසාවියේදි මම උසාවියෙන් එළියට ඇවිත් පැයක් ගියේ නෑ... එක්තරා සයිට් එකක ඒ ගැන ලොකු විස්තරයක් පළවුණා. ඇයි මෙහෙම අනුන්ගේ කුණු හොයන්නෙ. 

මේනකා මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල මම හෙක්ටර් කුමාරසිරිගේ අනෝරා කියන චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා. ඒක ලස්සන ආට් ෆිල්ම් එකක්. ගොඩාක් අභියෝගාත්මක චරිතයක්. මම ඒ චිත්‍රපටයේ රඟපාන්නේ හරිම ආසාවෙන්.

මේනකා ක්ෂේත්‍රයට ආවේ නර්තන ශිල්පිනියක් වෙලානේ.. කෝ ඒ නර්තන ශිල්පිනිය..?
ඒ නර්තන ශිල්පිනියත් ඉන්නවා. මම කොහොමටත් නර්තනයට හරි කැමතියි. ලැබෙන අවස්ථාවන් අනුව මම ඒ දේවල්වලට සහභාගි වෙනවා. මගේ ඩාන්සින්වලට ආදරේ කරන අය ඉන්නවා. ඒ අය වෙනුවෙන් මම නර්තනයේ නියැලෙනවා.

පහුගිය දවසක මේනකාගේ උපන් දිනය සරණ දරැවන් එක්ක සැමරුවා නේද..?
ඔව්.. ඇත්තටම මම ආසයි නිදහසේ ඉන්න. මම ප්‍රශ්න දාගෙන ඉන්න කැමති නැති කෙනෙක්. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. උපන් දින පාටියක්වත් ගන්න මම අකමැති කෙනෙක්. මාව මගේ ගෙදර අය හැම උපන් දිනයකම සප්‍රයිස් කරනවා. ඒක මගේ ගෙදර අයගේ හැටියක්. මම මගේ උපන් දිනය සැමරුවේ මේ රටේ අහිංසක ළමා නිවාසයක පුංචි යාළුවෝ ටිකක් එක්ක. ඒක මම ෆීල්ඩ් එකේ කාටවත් කිව්වේ නෑ. මම ඒක කළේ මගේ ගෙදර අයත් එක්කයි. මට යාළුවෝ ඕනතරම් ඉන්නවා. ඒත්.. මම ඒ කාටවත් ඒ ගැන කිව්වෙවත් නෑ. ඒ දවස හරිම සුන්දර දවසක් වුණා.

 

► Text – Dishani  / Pic - Internet