2017 ජුනි 24 වන සෙනසුරාදා

දෙවැනි බබෙක් ගැන තාම හිතලා නෑ...

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 210

පබෝදා මොකද මේ නිශ්ශබ්ද...?
ම්..... පුතා නිසා. පහුගිය කාලවලදී ඒ තරම්ම වැඩ බාරගත්තේ නෑ. ඒත්.... දැන් නම් ටික ටික නිර්මාණවලට දායක වෙනවා. හැබැයි ඉස්සර තරම් වැඩ එක දිගට කරන්නේ නම් නෑ....

මොනවද මේ දවස්වල බාරගත්තු වැඩ එහෙම....?
රවීන්ද්‍ර විජේරත්නගේ ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ඒ මල් හතක්  සහ සූරිය නෑයෝ කියන ටෙලිනාට්‍ය. ඊට අමතරව මම කලින් වැඩ කරපු අනුරුද්ධ ජයසිංහගේ ටෙලිනාට්‍යයෙත් වැඩ ඊළඟ මාසෙ පටන් ගන්නවා. තව චිත්‍රපටයකටත් ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලනවා.

දැන් පුතාගේ වයස කීයද...?
දැන් එයාට ජූලි මාසයට අවුරුදු හතරක් වෙනවා. එයා ටිකක් දඟයි. කොල්ලෙක් වුණාම දඟයිනේ නේද...? හැබැයි එයා හරිම හුරතල්.

ඔයා ෂූටිං ගියාම පුතා කා ගාවද ඉන්නේ?
සිදතුත් ඉන්නවා. ඒ වගේම සිදත්ගේ අම්මයි, තාත්තයිත් ඉන්නවානේ. ඒ දෙන්නට පුතා හරි එකතුයි. අනික අපෙ අම්මටත් පුතා එකතුයි. සමහරදාට අම්මත් ඇවිත් පුතත් එක්ක ඉන්නවා. ඒ නිසා ඒ ගැන බයක් නෑ. හැබැයි මම ගොඩක්ම බිසී වෙන්නේ නැති නිසා ඒක ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

පුතා වැඩිපුරම කැමති මොනවටද?
එයා ගොඩක් ආසයි චිත්‍ර අඳින්න. තාම හරියට චිත්‍ර අඳින්න බෑ. හැබැයි චිත්‍රවල පාට ගාන්න එයා හරි ආසයි. ඒ වගේ ලස්සන චිත්‍රයක් දීලා පාට පැන්සල් හරි පාට කූරු හරි දුන්නොත් ඒක හැඩ කර කර පාට කරන්න එයා හරි ආසයි.

පුතා ඔයාව රූපවාහිනියෙන් දකිද්දී මොකද කරන්නේ?
එයාට ඒක එච්චර ගාණක් නෑ. පොඩි කාලේ ඉඳන් එයා ඒවා දැකලා තියෙනවා. වැඩසටහන්වලට එයත් ගිහිල්ලා තියෙනවා. ඉස්සර මම පුංචි කාලේ වගේ තමයි. එයාටත් ඒක ගාණක් නෑ. පුතා ගින්දරී ෆිල්ම් එකේත් ඉඳලා තියෙනවා

සිදත්, ඔයා සහ පුංචි පුතා සදෙත් එක්ක ගත කරන ජීවිතේ කොහොමද?
ඇත්තටම මේ ජීවිතේ වගකීම් බහුලයි. ඒත්....  මම ඒ වගකීම් ඇති ජීවිතයට කැමතියි. ආසයි. කලා කටයුතුත් එක්ක මේ ජීවිතෙත් සමබරව මම කරගෙන යනවා. සිදත් කියන්නේ මාව හොඳටම තේරුම් ගත්තු කෙනෙක්. ඒක නිසා ජීවත්වෙන්න ලේසියි.

මොනවද තියෙන ඊළඟ බලාපොරාත්තු?
විශේෂයක් කියලා නැ. සිදත්ගෙත් මගෙත් දෙන්නාගේම තියෙන බලාපොරොත්තුව අපේ පුතාට හොඳට උගන්වා ගුණදම් සපිරි දරුවෙක් කරන එක .

ජීවිතේ සුන්දරම කාලය කොයි කාලෙද..?
ඒකට උත්තරේ හරියටම කියන්න පුළුවන් වෙන්නේ සැඳෑ සමයෙදි තමයි. ගෙවුණු කාලයත් එක්ක සුන්දරම කාලය කිසිම වගකීමක් දැනුණේ නැති සැහැල්ලුවෙන් අම්මා එක්ක ගතකරපු කාලය. ඒ කාලේදී වගකීමක් නෑ... හිතට බරක් නෑ... ඒ වගේම මේ ගෙවන ජීවිතයට මම හරි ආසයි.

පුතා ඉපදුණේ ප්‍රංශයේනේ... ආයේ ප්‍රංශයට ගියේ නැද්ද...?
ගියා... පුතායි මායි සිදතුයි මීට අවුරුදු දෙකකට විතර උඩදි ගිහින් ආවා. 

එදා හිටිය පබෝදායි අද වගකීම් තියෙන පබෝදායි අතර වෙනසක් තියෙනවාද...?
ම්.... මම එන විදිහට ජීවිතයට මුහුණ දෙන කෙනෙක්. හැමදාම මම හිටපු කෙනා තමයි මේ. මගේ ලොකු වෙනසක් වෙලා නෑ. මගේ ජීවිතයට එක එක දේවල් එකතුවෙලා තියෙනවා. මම ඒ දේවල්වලට මගේ විදිහට මූණදීලා තියෙනවා. ඒත් මම මගේ වෙනසක් ඇත්තටම දකින්නේ නෑ. අත්දැකීම් ජීවිතයට එකතුවෙලා තිබුණාට එදා හිටිය පබෝදාම තමයි මේ ඉන්නේත්. 

දැන් පුතාට වයස අවුරුදු හතරයිෙන් පුතාගේ තනියටත් එක්ක දුවෙකුත් පවුලට එකතු කරගන්න අදහසක් නැද්ද..?
නෑ..අෙන් .....තාම නම් ඒ ගැන හිතලා නෑ..

 

Text – Dishani / Pic - Internet