2017 ජුනි 24 වන සෙනසුරාදා

Boy Friend අත්අඩංගුවට

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

දවස හරියටම 2017 ජූනි මාසයේ 12 වැනිදා. සූර්යා වෙනදා වගේම උදෑසනම නැගෙනහිරෙන් ප‍්‍රභාමත් වෙමින් එබිකම් කරන්නට පටන් අරගෙන තිබුණා. වෙනදා වගේම සීතල සුලං රැළි ඉන්දියාවේ මුම්බායි නගරය හරහා හමාගෙන ගියේ ගස්කොළං සහ ඒවයේ පිපිලා ලස්සනට තියෙන නා නා ප‍්‍රකාර සුන්දර මල් පොකුරු සොලවමිනුයි. මේ රමණීය උදෑසන සුන්දරත්වය වැඩිකරන්නට වගේ කුරුලු රංචු විවිධ හඬින් එකිනෙකා පරයා යන්නට වගේ තොරතෝංචියක් නැතුව ගී ගයන්නට වුණා. 

මුම්බායි නගරයේ හැමෝම තමන්ගේ පුරුදු ජීවිකාව ආරම්භ කරන්නට වෙනදා වගේම යුහුසුළු වුණා. එක්වරම නගරය හතර අතින්ම පොලිස් රථ වාහනවල සහ ගිනි නිවන රථවල හඬ රැව් පිළිරරැව් දෙන්නට පටන් ගත්තා. පොලිස් රථ වාහන සහ ගිනි නිවන රථ ඇවිල්ලා මුම්බයි නගරයේ මහල් නිවාස සංකීර්ණයක් ළඟ නතර කළා. ඒ මහල් නිවාස සංකීරණයේ වහලා දමලා තියෙන නිවසක් තුළ ඉඳන් හමන සුලං රැළිවල විතරක් දැඩි දුර්ගන්ධයක් මුසුවෙලා පොලිස් නිලධාරීන්ගේත් ගිනි නිවන නිලධාරීන්ගේත් නාස් පුඬු හකුලමින් හමාගෙන ගියා. ඔවුන් හැමෝම තමන්ට ලැබුණු හෝඩුවාව ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළා.

බොලිවුඩ්වල තමන්ගේ නම සටහන් කර ගැනීමට ප‍්‍රයත්න දැරූ නිරූපණ ශිල්පිනියක් සහ නිළියක් වූ ක‍්‍රිතිකා චෞධ්රීගේ ඛේදජනක ඝාතනය පිළිබඳව මේ වනවිටත් පරීක්ෂණ සිදු කරනවා. ඉන්දියාවේ මුම්බායි පොලීසිය ක‍්‍රිතිකා ඝාතනය කරන්නට ඇතැයි සැකසහිත පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම්වල යෙදුනද ඔවුන් දෙදෙනාම පවසා ඇත්තේ ඇයගේ මරණය සිදුව ඇතැයි සැකකරන දිනයේ රාත‍්‍රියෙහි ක‍්‍රිතිකාව ඔවුන්ට මුණනොගැසුණු බවයි. ප‍්‍රශ්න කිරීම්වලට අනුව සැකකරුවන් දෙදෙනාම ප‍්‍රකාශ කොට ඇත්තේ ඔවුන් ක‍්‍රිතිකාගේ නිවස අසල සිට ක‍්‍රිතිකාට කිහිපවතාවක් දුරකථන ඇමතුම් ලබා දුන්නද ඇය විසින් ඇමතුම්වලට පිළිතුරු ලබානොදුන් නිසා ඔවුන් එතනින් පිටව ගිය බවයි. පොලීසිය විසින් මේ වනතෙක් ඔවුන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරන අතර සීසීටීවී කැමරාවලින් ලද රූප රාමු මගින් ඔවුන් දෙදෙනාව හඳුනාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා සැකකරුවන් අත්අඩංගුවට අරන් තියෙනවා. ක‍්‍රිතිකාගේ ජීවිතයට ළඟම අයෙක් විසින් ඇයව ඝාතනය කරන්නට ඇතැයි මුම්බායි පොලීසිය සැකකරන අතර මේ සුරූපී බොලිවුඩ් නිළිය සහ නිරුපණ ශිල්පිනියගේ ඝාතකයාව සොයා ගැනීමට රෑ දිවා නොබලා වෙහෙසෙමින් සිටිනවා.
නළලෙහි තිබූ තුවාල කැළල

පොලීසිය පවසන පරිදි ක‍්‍රිතිකාගේ සිරුර නරක් වී තිබියදී ඇයගේ මෘත ශරීරය පොලීසිය විසින් සොයාගෙන ඇත. එයින් දැඩි දුර්ගන්ධයක් හමා ගිය අතර ඒ නිසාම ඇයගේ මෘත දේහයට අත තැබීමට පවා ඔවුනට හැකියාවක් නොතිබුණු නිසා අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් කැඳවූ බව ප‍්‍රකාශ කොට තිබුණා. එහි තිබූ සියලුම ඇඟිලි සළකුණු සටහන් කර ගත් අතර අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් ක‍්‍රිතිකාගේ නළලෙහි තිබූ තුවාලය අසල රුධිරය කැටි ගැසී තිබෙන අයුරු දැකීමෙන් අනතුරුව පරීක්ෂණය වෙනත් අතකට ගමන් කළ බව (ඝාතනයක් බව) මුම්බායි පොලීසිය වැඩිදුරටත් පැවසුවා. ක‍්‍රිතිකා ජීවත් වූ නිවස අංධේරිවල භෛරවනාත් එස්.ආර්.ඒ. ඉමාරත්හි පිහිටි එකක්. තවමත් හඳුනාගැනීමට නොහැකිවූ යම් පුද්ගලයෙක් විසින් දින තුන හතරකට පෙරාතුව ක‍්‍රිතිකාව ඝාතනය කොට දොර පිටතින් වසා දමා ගොස් තිබුණා. පොලීසිය අපරාධකරුවා සොයා ගැනීමට කරන්නට තිබෙන් සෑම දෙයක්ම කරමින් මේ වන්තෙක්ම අපරාධකරුවා සොයමින් සිටින අතර ඇයගේ පෙම්වතා ගැනද සැකපිට ප‍්‍රශ්න කරලා. මුම්බායි පොලිසියෙහි මාධ්‍ය ප‍්‍රකාශක රශ්මි කරන්දිකර් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳුදා 3.45ට පමණ අංබෝලී පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. අංධේරීවල බංගලා හතර පිහිටි ප‍්‍රදේශයේ භෛරවනාත් එස්.ආර්.එම්. ඉමාරත් ෆ්ලැට් එකෙන් අධික දුර්ගන්ධයක් හමනවා කියලා. පොලීසිය එතනට ගිහින් දොර විවර කරලා බලද්දී අවුරුදු 25ක 30ක විතර යුවතියකගේ මෘත ශරීරයක් දකින්නට හම්බවෙලා තියෙනවා. ඒ ගැන සොයන්න අපි පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා යැයි පැවසීය.

ක‍්‍රිතිකා චෞධරී ඉන්දියාවේ හරිද්වාර්වල අයෙක්. ඇය සාව්ධාන් ඉන්ඩියා නැමති ටෙලිකතා මාලාවෙහි සහ තවත් ඉන්දියානු මෙගානාට්‍ය රාශියක ජනප‍්‍රිය බොලිවුඩ් තාරකාවියක් වන කංගනා රනාවුට් ගේ නැගණියක් ලෙසින් සිනමා පටයකද රඟපා ඇත. මෘත ශරීරය අධික ලෙස නරක් වී ඇති නිසාවෙන් පරීක්ෂණ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව ඉන්දීය ප‍්‍රවෘත්ති පත‍්‍ර වාර්තා කොට තිබුණා.

(ආජ් තක්, හින්දුස්තානී ටයිම්ස්, නව භාරත් හින්දි පුවත්පත් ඇසුරෙන්)

 

Text — Chandana Waravitage