2017 ජුනි 24 වන සෙනසුරාදා

අනුන්ගෙ බබෙක් වෙනුවෙන් වමනෙ යනවලු

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

අද හැම ක්ෂේත්‍රයකම වගේ මුල්තැන ලැබිලා තියෙන්නේ ඕපදූපවලටනෙ. මිනිස්සුත් ඉතින් අනුන්ගෙ දේවල් හොයන්න මාර ආසයිනෙ.
වැඩේ තියෙන්නෙ තමන්ගෙ ඔළුවෙ කුණු තියෙන කට්ටිය තමයි ඔය අනුන්ගෙ කුණු ගැන වැඩිපුරම හොයන්නෙ.

ඔන්න ඔය වගේ සිද්ධියක් දැනට රූපගත කරන ටෙලිනාට්‍යයක් අතරතුර සිද්ධවෙලා කියලා ආරංචි වුණා.
අලුත් නිළියො දෙතුන් දෙනෙක් තමයි එතන ඉඳලා තියෙන්නෙ.

ඔයා දන්නවද වැඩක්... අහවලාට බබෙක් හම්බවෙන්න ඉන්නවලු. උඹලට ආරංචි වුණාද? එක්කෙනෙක් අහනවලු.
නැහැනෙ. එයා බැඳලා කියලවත් අපි දැනං හිටියෙ නැහැනෙ...

බැඳලා බැඳලා හොරෙන්ම බැඳලා. මට ඊයෙ තමයි ආරංචි වුණේ බං එයාට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා. අහපු වෙලේම මගේ ඇඟ හීතලවෙලා මට වමනෙටත් එන්න ආවා.. 
යකාගෙ වැඩක්නෙ. එයාටනෙ බබා හම්බවෙන්න ඉන්නෙ. උඹට මොකද වමනෙට එන්න ආවෙ?

 

එකක් ගත්තොත් එකක් නොමිලේ

ඕනෑම දෙයක ඇදයක් කුදයක් හොයන අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් දර්ශන තලයට එන්නෙ කාටහරි නැත කා ගැන හරි නෝක්කාඩුවක් කියාගෙන.

ඔන්න පහුගිය දවසක ඒ වගේ සිද්ධියක් වුණා. උත්සව කාලෙට ඉතින් කඩ සාප්පු හැම එකකම වගේ සේල් දානවනෙ. මෙයත් ඒ වගේ කාලෙක සපත්තු ජෝඩුවක් ගන්න සේල් කඩේකට ගිහින් තියෙනවා.
කඩේට ඇතුළු වෙනකොටම තිබුණ ලොකු බෝඩ් එක දැකලා මට හිතුණා ඔතන මොනවහරි ලොකු ජල්තරයක් තියෙනවා කියලා, ඔහු ශිල්පීන් දෙදෙනෙකුට කියනවලු.
මොනවද බෝඩ් එකේ දාලා තිබුණෙ..?

මොනවද ඉතින්, එකක් ගත්තොත් එකක් නොමිලේලු. ඇයි යකඩො මම දකුණු කකුලට සපත්තුව අරගෙන ගෙදර එන්නයැ. ඒගොල්ලො අනිත් කකුලත් මට දෙන්න එපායැ. ඕකට ගිහින් නොමිලේ එකක් දෙනවා කියලා බෝඩ් එකක් ගහලා පාරිභෝගිකයා රවට්ටන්න ඕනෙද?

 

තනි කකුලෙන් බෝල්

ඔන්න මෑතක තිබුණා ක්‍රිකට් තරගයක්. ඔය කියන අයි.සී.සී. තරගාවලිය නෙවෙයි. මේකට සම්බන්ධ වුණේ ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ නළු නිළියන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් දෙකක්.

කොළඹින් බැහැරව පැවැත්වුණු මේ තරගය නරඹන්නත් කට්ටිය ඇවිත් හිටියා. කෑකෝගසන රසික රසිකාවියන් මැද තරගයත් ගලාගෙන ගියා.

එකපාරටම පන්දු යවමින් සිටි එක්තරා නළුවෙකුට පාදයේ කෙණ්ඩ පෙරළීමක් සිද්ධ වුණා. ඔහුගේ පිලේ හොඳ පන්දු යවන්නෙක් නොසිටි නිසා, ඔහුටම නොණ්ඩි ගගා පන්දු යවන්න සිද්ධ වුණා. ඒත් ප්‍රතිවිරුද්ධ පිලට ලකුණු ලබාගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ.

පිතිහරඹයේ දුර්වලකම දැක්ක තවත් නළුවෙක් බැට් කරන නළුවට මෙහෙම කිව්වලු.
මොකක්ද මචං පොර තනි කකුලෙන් බෝල් කරලත් උඹට ගහන්න බැහැනෙ.

නාට්‍යලෝලීන් කොළඹට ගෙන්වීම

දුර පළාත්වල ඉන්න නාට්‍යලෝලීන්ට හොඳ නාට්‍යයක් පෙන්නන්න නාට්‍ය සංවිධායකවරැ කැමති වුණත් එවැනි නාට්‍ය පිටපළාත්වල පෙන්නන්න අමාරු වෙන්නෙ හොඳ ශාලා පහසුකම් නැතිකමින්.

ඔන්න පහුගිය දවසක නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයෝ දෙතුන් දෙනෙකුගේ සාකච්ඡාවට බඳුන් වුණේ මේ කාරණාව.

ඇත්ත තමයි මටත් සංවිධායක මහත්තුරැ කතා කරලා කියලා තියෙනවා අපේ මරු සංගමයක් තියෙනවා, හොඳ නාට්‍ය රසික පිරිසකුත් ඉන්නවා. ඒත් නාට්‍ය පෙන්නන්න හොඳ හෝල් එකක් තමයි නැත්තෙ කියලා, එක ප්‍රවීණයෙක් කිව්වම අනෙක් ශිල්පියා පුදුම උත්තරයක් දුන්නා.

ඒගොල්ලන්ගෙ පළාතේ ඔය කියන තරම් හොඳ නාට්‍යලෝලී පිරිසක් ඉන්නවනම්, එහෙ නාට්‍ය පෙන්නන්න සුදුසු පහසුකමුත් නැත්නම් අපි මොනව කරන්නද? හැබැයි අපට එක දෙයක් කරන්න පුළුවන්. ඒ නාට්‍යලෝලී පිරිස කොළඹට ගෙන්නලා, නාට්‍ය හොඳ හෝල් එකක ඒ අයට පෙන්නලා ආපහු ගමට යවන්න පුළුවන්.

 

නළු නංගිලා මල්ලිලාගේ පාෙලු සීන්

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ තියෙන අර්බුදකාරී තත්ත්වය අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැනෙ. ඔන්න ඒ ජරමර අස්සෙ දැන් නව පරපුරේ ජනප්‍රිය වෙමින් ඉන්න කලා ශිල්පීන්, විශේෂයෙන් ශිල්පිනියන් තමා වැඩ කරන ටෙලිනාට්‍යවලට දින දීලා අන්තිම මොහොතෙ පොලු තියනවලු.

ඒ වගේ සිද්ධි නිසා ඇතිවන පාඩුව කියලා නිමකරන්න බැහැ කියලා තමයි නිෂ්පාදකවරු කියන්නෙ.
සමහරු පොලු තියලා ෆෝන් එකවත් උස්සන්නෙ නැහැලු.

ප්‍රවීණ නළු නිළියන්ගෙන් අපේ තරුණ පරපුරට ඉගෙන ගන්න දේවල් කොච්චර තියෙනවද? කියලා එක්තරා නිෂ්පාදකවරයෙක් කියනවා ඇහුණා.

 

ශ්‍රියානිගෙ ආදර්ශය උතුම්

අද අප ජීවත්වන සමාජය පුදුමාකාර එකක්. බොහෝවිට මුණගැහෙන්නේ ආත්මාර්ථකාමී චරිත බව අමුතුවෙන් කිවයුතු නැත. මේ දේ කලා ලොවටත් පොදුයි.

කලා ලෝකයට සම්බන්ධ අවමංගල උත්සවවලදී සහභාගීත්වය අනුව අපට ඒ දේ පැහැදිලිව පේනවා.
මේ කියන්නට යන්නෙත් ඒ හා සමාන සිදුවීමක්. 

පහුගිය දවසක කොළඹ පොතක් දොරට වැඩීමේ උත්සවයක් පැවැත්වුණා. පොත ලියැවී තිබුණේ කෘතහස්ථ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන්ගේ සිනමා නිර්මාණ ගැන. වසන්ත අද අප අතර නැහැ.

ඒ හේතුව නිසාමදෝ වසන්තගේ චිත්‍රපටවල රඟපෑ නළු නිළියන් රැසක් එම උත්සවයට පැමිණ සිටියේ නැහැ. රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක හා සතිස්චන්ද්‍ර එදිරිසිංහ උත්සවයට පැමිණ සිටියා. ඔවුන් වසන්තගේ චිත්‍රපටවලත් හිටියා. ඒත් වසන්ත ඔබේසේකරගේ එකම චිත්‍රපටයකවත් රඟනොපෑ ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන එම උත්සවයට පැමිණ සිටීම කැපීපෙනෙන කාරණයක් වුණා.

ශ්‍රියානි අමරසේන නම් වූ ඒ නිහතමානී චරිතයට අපේ ආචාරය පුදකරන්න අපි කැමතියි!

►Text – Mithra