2017 ජුනි 24 වන සෙනසුරාදා

පට්ටෙට හිනාවෙලා ගහමුද සෙල්ෆියක්

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

මැසි සම්මේලනයේ තරැණ පිරිස අමතලා දේශනයක් දෙන්න මට බාර වුණා. කවුරු හරි  මැසි සම්මේලනයට දන්වලා තියෙනවා වැඩ කෙසේ වෙතත් මම දේශන දෙන්න හපනා කියලා. ඉතින් මට මහා පාන්දර දේශනය පටන් ගන්න වුණා.
ඇත්ත වශයෙන්ම මම ස්තූති වන්ත වෙනවා ජාත්‍යන්තර මැසි සම්මේලනයේ  සභාපතිට සහ ලේකම්ට මට මේ වගේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධව. 

ඉතින් අපි එහෙනම් කතාව පටන් ගමු. මගේ තේමාව වෙන්නෙ මැක්සා මැස්සෙක්  වෙන්නේ කෙසේද කියලා. ඔබට පුළුවන් මැදින් පැනලා ඕන ප්‍රශ්නයක් අහන්න.
හා...
අන්න ඒක නම් මරැ සර්...
ඇයි එහෙම කියන්නෙ?
ගොඩක් දේශකයෝ අපේ කට වහලා එයාලාට ඕන දේවල් ටික කියාගෙන කියාගෙන යනවා. ඒ අතින් සර් මැක්සා.
හොඳයි. අපි පටන් ගමු. මොකද්ද මැක්සා මැස්සෙක් වෙනවා කියන්නෙ කියලා. ඒ කියන්නෙ කවදහරි මුළු ලෝකෙම කතාවෙන මැස්සෙක් වෙන එකට. ඒක විවිධාකාර වලින්  වෙන්න පුළුවන්.
දැන් මට කියන්න බලන්න ඔබ කවුරු වෙන්නද කැමති?
මම කැමතියි සර් ලොකු වුණාම තාත්තා කෙනෙක් වෙන්න.
ඇත්තටම තාත්තා කෙනෙක් වෙන්න නම් ඉතින් වැඩිය මහන්සි වෙන්න දෙයක් නෑ. ඒක මහ ගොන් තර්කයක්. මම කියන්නෙ තාත්තා නෙමෙයි ඊට වඩා ලොකු කෙනෙක්.
එහෙනම් සර් ලොකු තාත්තා කෙනෙක්
ඉතින් බලහල්ලකෝ. මුන්ටනේ මේ දේශන තියන්නෙ...
තව කාටද ප්‍රශ්න තියනේනෙ. මොනවද අහන්න තියෙන්නෙ මගෙන්...
සර්... මට තියොනෝ....

ගෑනු ළමයි ලොකු මල් තියෙන චූටි ගවුම් අදින්න ඕන

ඈත ඉදලා කොල්ලෙක් කෑ ගැහුවා. උගේ සද්දෙට හැමෝම හිනා වුණා. මට මළ පැන්නා...
ඇයි... ඇයි... මොකද මොකද හැමෝම හිනා වෙන්නෙ? 
නෑ... නෑ... සර් අපි මේ
ඔව් මොකද්ද...? මේහ් ළමයෙක් වැදගත් ප්‍රශ්නයක් අහද්දි කවුරුවත්  හිනා වෙන්න එපා. හිනා නොවී  ඉන්න බැරි නම් කරුණාකරලා යන්න. තේරුණයි.
මගේ සද්දෙට හැමෝම බය වුණා.
ඔව්.. පුතේ කියන්න බලන්න මොකද්ද ප්‍රශ්නෙ?
සර් ෆේස්බුක් ඉන්නවද?
කලා වරෙන්කෝ. ඒ පාර හැමෝම මට හිනා වෙන්න ගත්තා. මම දත් මිටි කාගෙන තව ප්‍රශ්නයක් ඇහුවා.
ඇයි පුතා එහෙම අහන්නෙ?
සෙල්ෆියක් ගහන්න සර්. පට්ටෙට හිනා වෙලා ඉන්නවද අපිට සෙල්ෆියක් ගහන්න?
සෙල්ෆියක් නෙමෙයි මුන්ට ගහන්න ඕන ශෙල් වෙඩිල්ලක්. ඇයි යකෝ ෆේස් බුක් නැත්තම් මුන් කන්නෙ බොන්නෙත් නෑ. හැත්ත...
හරි දැන් අපි කතා කරමු බලන්න අද කාලේ මැක්සා මැස්සෙක් වෙන හැටි...
මුලින්ම ඔබ කොන්ඩේ ජෙල් ගාලා ස්පයික් කරලා තියගන්න ඕන. නිකඹ උල වගේ. හදිස්සියකට පොල් ගෙඩියක් වුණත් ඔබේ කොන්ඩේ ඇනලා ලෙලි ගහගන්න පුළුවන් විදිහට... 
ඊට පස්සෙ?
ඊට පස්සෙ ඔබ ගන්න ඇන්රොයිඩ් ෆෝන් එකක්. ටිකක් තිරේ ලොකුවට තියෙන්න ඕන. තිරේ ලොකු වෙන තරමට ඔබේ චරිතේ ලොකු වෙනවා. ඒකේ කැමරා දෙකක් තියෙන්න ඕන ඉස්සරහ එකයි පස්සෙ එකයි...
මෙගා පික්සල් කීයද වගේද සර්?
හොද ප්‍රශ්නයක්... මෙගා පික්සල් ගාණ වැඩි වෙන තරමට ඔබේ මැක්සා එක වැඩි වෙනවා. ඔබ පොරක් වෙනවා.
එතකොට සර් ඇඳුම?
හරි  කොල්ලෙක් නම් බාගෙට හැලෙන ඩෙනිමක්. ඩෙනිමට බෙල්ට් එක දාලා තියෙද්දිත් ඒක හැලෙන්න ඕන. යට කලිසමේ වාටිය පේනකං. ඒ වාටියේ ගහලා තියෙන්න ඕන ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් එකක්.
එතකොට සර් ගෑනු ළමයි?
ගෑනු ළමයි ලොකු මල් තියෙන චූටි ගවුම් අදින්න ඕන. ඉස්සර තමයි චූටි මල් තියෙන ලොකු ගවුම් ඇන්දෙ. කොටට තියෙන්න ඕන...
කොට වුණාම ඩිමාන්ඩ්ද සර්?
ඔව්... ගොඩක්ම කොට වුණොත් පට්ට ඩිමාන්ඩ්. ෆේස් බුක් එකේ දාන ෆොටෝ වල ලයික් ගාණ වැඩි වෙන්නෙ එතකොට.
දැන් සර් මේ සේරම කරන්න සල්ලි?
සල්ලි අම්මා තාත්තාගෙන් ඉල්ල ගන්න. එතකොට ඉවරයිනේ... 
ඒක හරි නෑ වගේ නේද සර්?
හරි නෑ තමයි... හැබැයි මම කිව්වෙ අද කාලේ කොල්ලො කෙල්ලො දිහා බලලා වෙන දේ... 
මම එහෙම කියලා නැගිටලා ආවා. උන්ට ඊට වඩා දේවල් කියලා වැඩක් නෑ තේරෙන්නෙ නෑ.

මම 
හොස්ස ළඟින් ගිය මැස්සා