2017 මැයි 27 වන සෙනසුරාදා

ගුවන් නියමුවෙකුට පෙම් බැඳි රූ රැජන

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 5659

2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුල හිමිකරගත්තේ පොලොන්නරුවෙන් ආව පුෂ්පිකා සඳමාලි ද සිල්වා. 2011 වසරේ ලන්ඩන් නුවර පැවති ලෝක රූ රුජන තරගාවලියටද ඉදිරිපත් වූ පුෂ්පිකා දක්ෂ නිරූපණ ශිල්පිනියක් ලෙස නමක් දිනාගත්තා. ගුවන් නියමුවෙක් ලෙස කටයුතු කළ තිලංක හා විවාහ වූ ඇය දැන් ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් මේ දිනවල වැඩි සද්ද බද්දයක් නැති පුෂ්පිකා එක්ක කතා කරන්න අපට හිතුණා.

තිලංකයි පුෂ්පිකායි මුලින්ම මුණගැහුණේ කොහොමද?
තිලංකට මාව මුලින්ම මුණගැහුණේ එක්තරා සාදයකදි. එදා අපි දෙන්නා ඉතින් නිකන් කතා කර කර හිටියා. පාටිය ඉවරවෙලා ගෙවල්වලට යද්දි අපි දෙන්නා ෆෝන් නම්බර්ස් හුවමාරු කරගත්තා. ඊටපස්සේ අපි හොඳ යාළුවෝ වුණා. ඒ යාළුකම ආදරයක් වුණා. ඒ ආදරයට අවුරුද්දකට පස්සේ අපි දෙන්නා විවාහ වුණා.  

මිස් ශ්‍රි ලංකා වුණා කියලා මම ක්ලබ් ගියේ නෑ 

යාළුවෙක් විදියට ආශ්‍රය කරද්දි කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනාවෙ?
ඒ ආදර යෝජනාව ගෙනාවෙත් තිලංකමයි. දවසක් එයා මාත් එක්ක කතා කර කර ඉන්න කොට අපි දෙන්නා බඳිමුද කියලා ඇහුවා.

ඒ වෙනකොටත් පුෂ්පිකාත් ඒ යෝජනාව එනකන් නේද හිටියේ... හිතේ පුංචි හරි ආදර කැමැත්තක් තිවංකට තිබුණෙම නැද්ද?
අනේ මාව ඔයා අතීතයට එක්කගෙන යනවනේ. ම්... මොකටද බොරු කියන්නේ. ඒ වෙනකොටත් මගේ හිතෙත් එයා ගැන ආදරයක් තිබුණා. එයාගේ හිතෙත් මම ගැන ආදරයක් තිබුණා. ඒ ආදරය තිබුණ නිසානේ එයා මගෙන් බඳිමුද කියලා ඇහුවේ.

සම්ප්‍රදායික ගෑනු ළමයෙක් වගේ අම්මලාගෙන් අහන්න, පස්සේ කියන්නම්, ටිකක් හිතන්න ඕනේ... වගේ දෙයක්ද පුෂ්පිකාත් තිලංකට කිව්වේ..?
මෙහෙමයි... ඔය කාලෙදි අපි දෙන්නා යාළුවො විදියට බොහෝ දේවල් කතා කරලා තිබුණනේ. ඉතින් තිලංකත් එහෙම කසාද බඳින්න හිතපු කෙනෙක් නෙවේ. මාත් එහෙම විවාහ වෙන්න අදහසකින් හිටපු කෙනෙක් නෙවේ. අනික අපි දෙන්නගේ අදහස් ගොඩාක් දුරට එක වගෙයි. ඉතින් තිලංක හිතන්නේ නැති වෙලාවක හිතන්නේ නැති යෝජනාවක් ගෙනාවම මාත් හා කිව්වා. පස්සේ මටම හිතුණා මේක මෙයා ඇහුවේ විහිළුවටද කියලත්... ඒ වුණාට තිලංක ගොඩාක් හොඳ කෙනෙක් කියලා මට හිතුණා.

Make - Up මූණේ උලාගෙන සාරි ඇඳගෙන, ලොකු සපත්තු දාගෙන මම තනියම ලතාවකට ඇවිදිනවා

ආදර යෝජනාව ගේන්න කලින් තිලංක මොනවගේ කෙනෙක්ද..?
තිලංක එක්ක කතාබහ කරන කොට මටත් හිතුණා එයා ගොඩාක් හොඳ කෙනෙක් කියලා. අපි දෙන්නා ගොඩාක් සමීපව කතාබහ කළා. බොහෝ දේවල් යාළුවෝ විදියට බෙදාහදා ගත්තා. ඒ කතාබහ කරද්දිත් මගේ හිතෙත් තිලංක ගැන ආදරයක් තිබුණා. තිලංක මගේ ගැන හොයලා බලන යාළුවෙක් වුණා. ආදරයට කලින් මුලින්ම ඇතිවෙන්නේ කැමැත්තක්නේ. ඒ කැමැත්තත් එක්ක එයා මගේ ගැන හැමවෙලේම හොයලා බැලුවා. ඒ දේවලුත් එක්ක ඒ ආදරේ ඇතිවුණා.

මතකද තිලංක ඔයාට මුලින්ම දීපු තෑග්ග?
තිලංක මට මුලින්ම අයිෆෝන් එකක් තෑගි කළා.

එතකොට ඔයා මොනවද තිලංකට මුලින්ම දුන්නේ?
මම එයාට මුද්දකුයි මල් පොකුරකුයි දුන්නා. හැබැයි තිලංක මට තෑගි දෙන්න කලින් මම එයාට තෑගි දීලා ඉවරයි.

මිස් ශ්‍රී ලංකා වුණු ගෑනු ළමයා ඕනතරම් පිරිමි ළමයි දැකලා, කතාබහ කරලා ඇතිනෙ. ඒ අය අතරින් තිලංක ළඟම හිත නතර වුණේ කොහොමද..?
මිස් ශ්‍රී ලංකා කෙනෙක් වුණාම පිරිමි ළමයි ඕනතරම් බලනවනේ. ඒත් මම හරිම සාමාන්‍ය කෙනෙක්. වැඩිය කාත් එක්කවත් ඕනෑවට වඩා ඇඟෑලුම්කම් පාන්නේ නෑ. මම ගෙදරට වෙලා ඉන්න ආසයි. මට ඕන තැනකට විතරයි මම යන්නේ. මම නිතරම එළියට යන කෙනෙක් නෙවේ. මොකක් හරි උත්සවයකට ආරාධනා ලැබුණොත් ඒකට යනවා එච්චරයි. මම සැහැල්ලුවෙන් ඉන්න, නිදහසට කැමති කෙනෙක්. ඉතින් මම හෙව්වෙත් එහෙම කෙනෙක්. සමහරු ක්ලබ් යද්දි... මම ඒවට ගියේ නෑ. ඉතින් තිලංක ගොඩක් වෙලාවට මගේ ගතිපැවතුම්වලට කැමති කෙනෙක්. මගේ ගැන හොයලා බැලුව කෙනෙක්. තිලංක මගේ ගැන ඕනවටත් වැඩිය හොයලා බලන කෙනෙක්. තමන්ගේම කෙනෙක් කියන හැඟීම තිලංකගෙන් මට දැනුණා.

පුතා ඉපදෙන්න කලින් ඔය දෙන්නා Baby shower පාටියක් ගත්තනේ. ඒ කාගේ අදහසක්ද..?
Baby shower පාටිය දැන් බොහෝ දෙනෙක් කරන පාටියක්. ඉතින් Baby shower එකක් කරමු කියලා අපි දෙන්නගේම හිතේ තිබුණා. හැබැයි ඒ අදහස අපිට දාලා Baby shower එක කළේනම් තිලංකගේ නංගි.

ඇත්ත කියන්න... ආසාවෙන් හිටියේ පුතෙකුටද... දුවෙකුටද?
බොරු කියන්න ඕනෙ නෑ. තිලංක මුලින්ම කැමතිවෙලා හිටියේ පුතෙකුට. හැබැයි පුතෙක් හම්බවුණත් දුවෙක් හම්බවුණත් අපි දෙන්නගේම බලාපොරොත්තුව වුණේ නිරෝගිමත් දරුවෙක්. තිලංකගේ මව්පියොත් වැඩියෙන්ම කැමැත්තෙන් හිටියේ පුතෙක්ට. ඒ වගේම පුතෙක් අපිට ලැබුණා.

පුතා ඉපදුණේ මොන මාසෙද?
පුතා ඉපදුණේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 31 වැනිදා. නයින්වේල්ස් හොස්පිට්ල් එකේ.

මවු පදවිය කියන උතුම්ම පදවිය ලැබු‍ණ මොහොත විස්තර කරන්න අමාරුයි...?
ඒ දවස ගැන ආපස්සට ගිහින් ඒ ගැන හිතුවොත්නම් ඇත්තටම ඒක හීනයක්. එදා තමයි මගේ ජීවිතේ සතුටුම දවස. මාස නවයක් පුරාවටම පුතා බඩේ තියාගෙන අපි දෙන්නා එයා එනකන් ඇඟිලි ගැන්නා. හොස්පිට්ල් එකට යන දවසට කලින් දවසක් මම තිලංකට කිව්වා අනේ අපි දෙන්නගේ බබා කවුරු වගේ වේවිද කියලා. ඉතින්.. පුතා ඉපදිලා එයාව දකිද්දි ඒක මට දරාගන්න බැරිවුණා. එදා තමයි තේරුණේ අපේ අම්මා අපිව වදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා. අම්මගේ වටිනාකම හරියටම තේරුණේ එදා. මම මගේ ඩොක්ටර්ට කිව්වෙත් මාව සීසර් කරන්න එපා, මට සාමාන්‍ය දරු උපතක් කරන්න දෙන්න කියලා. දරුවා ඉපදෙද්දි පොඩි අවදානමක් තිබ්බා. ඩොක්ටර්ලා කිව්වෙත් සීසර් කරමු කියලා. ඒත් මම කිව්වෙ අමාරුම වුණොත් විතරක් මාව සීසර් කරන්න කියලා. අවසානයේදි මම සාමාන්‍ය දරු උපතකින් මගේ පුතාව බිහිකළා.

පුංචි පුතාගේ වැඩවලට කොහොමද හුරුවුණේ?
මමනම් පොඩි දරුවන්ව බලාගන්න බය කෙනෙක් නෙමේ. අපේ අයියලාගේ අක්කලාගේ බබාලා මම හොඳට ආදරෙන් බලාගත්තු කෙනෙක්. හැබැයි මුලින් මම එකම දේකට බයවුණා. ඒ පුතාව නාවන්නයි. හැබැයි මම පුතා ලැබිලා පළවෙනි දවසේ ඉඳන්ම අද වෙනකම්ම නාවන්නේ මම. ඒකට මට හොස්පිට්ල් එකෙන් හොඳට කියලා දුන්නා. ඒ නිසා දැන් හැමදෙයක්ම කරන්නේ මම.

දැන් කොහොමද පුතා එක්ක ගෙවන ජීවිතේ?
දැන් එයාට කෑම කවන කාලය. දැන් ඒ දේවලුත් එක්ක ටික ටික වැඩ වැඩියි. දැන් එයා එක්කම තමයි මම ඉන්නේ. දැන් එයා හයියෙන් හිනාවෙනවා. හරිම හුරතල්. එයාගේ නම ටැවෝන් සැල්වටෝ.

පුතා කවුරු වගේද..?
ම්... ගොඩක් දෙනෙක් කියන්නෙනම් තිලංකගේ කපාපු පලුව කියලා. සමහරුනම් චුට්ටක් විතර අම්මා වගෙත් කියනවා. ඉතින් එතකොට පොඩි සතුටක් දැනෙනවා.

කාලයක් ගුවන් නියමුවෙක් විදියට කටයුතු කරපු තිලංක දැන් ව්‍යාපාරිකයෙක් නේද?
ඔව්.. එයා අමෙරිකාවේ පයිලට් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තා. එයාලගේ පවුලේ එකම පුතානේ. ඉතින් එයාලගේ ව්‍යාපාරික කටයුතුවලට තමයි දැන් මුල්තැන දීලා තියෙන්නේ.

මොනවද පුෂ්පිකාගේ තියෙන බලාපොරොත්තු?
ජීවිතේ බලාපොරොත්තු ගොඩාක් තිබුණා. පුංචි කාලේ තිබුණ බලාපොරොත්තුව තමයි මිස් ශ්‍රී ලංකා වෙන්න. ඒ හීනේ හැබෑවුණා. ඊටපස්සේ විවාහවෙලා හොඳ ගෘහණියක් වෙන්න හීන දැක්කා. ඒ බලාපොරොත්තුවත් ඉටුවුණා. කාලයක් හොඳ අම්මා කෙනෙක් වෙන්න හීන දැක්කා. දැන් ඒ හීනයත් හැබෑවෙලා. දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව මගේ පුතාට හොඳ ආදර්ශමත් අම්මා කෙනෙක් වෙලා හොඳ පවුල් ජීවිතයක් ජීවිත කාලෙම ගත කරන්නයි.

පුංචි කාලේ මිස් ශ්‍රී ලංකා වෙන හීනය තිබුණේ ඔයාගේ ගෙදරින් නේද..?
ඔව්.. ඉස්සර මම පුංචි කාලේ කණ්ණාඩිය ගාවට ගිහින් හැඩවැඩ කරනවා. අපේ ලොකු අක්කගේ ඔය එක එක මේකප් සෙට් තිබ්බා. ඒවා මූණේ උලාගෙන සාරි ඇඳගෙන ලොකු සපත්තු දාගෙන මම තනියම ලතාවකට ඇවිදිනවා. ඒ කාලේ හරි ලස්සනයි.

 

► Text – Dishani / Pic — Channa kassapa Koralearachchi