2017 මැයි 27 වන සෙනසුරාදා

මගේ මගුල් මුද්දත් හොරු අරන් ගියා

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

රයිනි කොහෙද මේ යන්න ලහිලහියේ ලෑස්ති වෙන්නේ?
අපේ රූ සඳ රෑ සංගීත ප්‍රසංගය ජුනි මාසේ තියෙනවා. ඒකෙ වැඩවලට තමයි මේ එහාට මෙහාට යන්නේ. එකදිගටම රියසල් කටයුතුත් තිබුණා. ඒක නිසා මේ දවස්වල චුට්ටක් විතර වැඩ වැඩියි.

ඔස්ට්‍රේලියාවේ නේද ඔය ප්‍රසංගය පවත්වන්නේ?
ඔව්... ප්‍රසංගය ඔස්ට්‍රේලියාවෙයි නවසීලන්තයෙයි තමයි පවත්වන්නේ. මුලින්ම ජුනි මාසේ තුන්වැනිදා නවසීලන්තයේ ෂෝ එක තියෙනවා. ඊටපස්සේ ජුනි මාසේ දහවැනිදා ඉඳන් හැම සෙනසුරාදාවකම රූ සඳ රෑ ෂෝ එක පවත්වන්න තමයි කටයුතු සැලසුම් කරලා තියෙන්නේ.

මෙල්බර්න්වල ෂෝ එකට අමතරව එදාම තව ෂෝ එකක් තියෙනවා කියලයි ආරංචිය..?
ඔව්... ඒක ඇත්ත. මෙල්බර්න්වල ජුනි මාසේ දහවැනිදා 6.30 ෂෝ එකට මාස දෙකකටත් කළින් ඉඳන් ෂෝ එකම බුක්වෙලා තිබිලා. ඒ නිසා ඒ ෂෝ එකේ සංවිධායකවරු තාත්තිගෙන් ඉල්ලීමක් කරලා එදාටම තව ෂෝ එකක් කරන්න කියලා. ඒ නිසා 6.30 ෂෝ එකට අමතරව අපි තව එදාටම 2.30 ෂෝ එකකුත් කරනවා.

සල්ලි කවරෙකුත් උන් අරන් ගිහින්

තව කොහේද රූ සඳ රෑ පවත්වන්නේ?
මෙල්බර්න්වලට අමතරව සිඩ්නි, පර්ස්, බිස්බර්ත්, ඇඩිලේන්ඩ් කියන නරගවලත් මේ ප්‍රසංගය පවත්වන්න සංවිධානය වෙලා තියෙනවා. 

කවුද මේ ප්‍රසංගයට එකතු වෙන්නේ?
අම්මයි, තාත්තයි, මායි, නංගියි වගේම ආරාධිත ගායකයෙක් විදියට සනුක වික්‍රමසිංහත් මේකට සහභාගි වෙනවා. ප්‍රසංගයේ සංගීතය සපයන්නේ තාත්තිගේ Roo and cro බෑන්ඩ් එකයි.

ඔය වැඩකටයුතුත් එක්ක පහුගිය කාලෙදි රයිනිගේ හිතට ලොකු දුකක් ඇතිවුණු සිදුවීමක් වුණා නේද?
ඔය කියන්නේ අපේ ගෙදරට හොරැ පැනපු සිදුවීම නේද..?

ඔව්... කවදද හරියටම ඔය සිදුවීම සිද්ධවුණේ?
පසුගියදාක තමයි ඒ සිදුවීම සිද්ධවු‍ණේ. ඒකනම් හිතාගන්නවත් බැරි සිද්ධියක්. එදා අපි ගෙදර හිටියේ නෑ. උදේ වරැවේ ගෙදර ඉඳලා අපි දෙන්නා පොඩි වැඩකට එළියට ගියා. ඒ ගියපු වෙලාවේ තමයි ගෙදරට හොරු පැනලා තියෙන්නේ. කොහොමහරි අපි ගෙදරට එන්න විනාඩි විසිපහකට තිහකට කළින් තමයි හොරු ගෙදරින් ගිහිල්ලත් තියෙන්නේ.

මොනවද ගෙනිහින් තියෙන්නේ?
මුළු ගෙදරම එදා කනපිට පෙරළලා තිබුණා. අපි දෙන්නා ගෙදරට ඇවිත් දොර අරිද්දි හිතාගන්නවත් බැරිවුණා. මුළු ගේම ඇදලා තිබුණා. අල්මාරියේ හැමදේම බිමට දාලා තිබුණා. ඒ අතරින් මගේ වෙඩින් රින් එකයි, අපි පිටරට ගිහින් ඇවිත් මාරු නොකරපු ඔස්ට්‍රේලියානු ඩොලර් වගේකුයි අල්මාරියේ තිබුණා. ඒ දේවල් හැමදෙයක්ම අරගෙන ගිහින් තිබුණා. 

කොච්චරක් විතර මුදලක් එතන තිබුණද..?
ම්... අපි ටුවර් ගියාට පස්සේ සල්ලි මාරුකරනවනේ. ඉතින් ඒ ඉතිරි වන සල්ලි අපි ලියුම් කවරවල දාලා අල්මාරියේ දාලා තියාගන්නවා. ඒ ලියුම් කවර තමයි අරන් ගිහින් තිබුණේ. ගාණ නම් හරියට මතක නෑ....

අපේ ගෙදරට ඇවිත් තියෙන්නේ පලපුරුදු හොරෙක්

එතකොට ඔයාගේ මඟුල් මුද්ද ආයෙත් ලැබුණා නේද?
ඔව්.. අපි මේ සිදුවීම දැනගත්තු ගමන් පොලීසියට දැනුම් දුන්නා. ඒ වෙලාවෙම ඇවිත් ඇඟිලි සලකුණු ගත්තා. කොහොම හරි ඒ ඇඟිලි සලකුණු මීට කලින් චෝදනා ලැබ මංකොල්ලකෑම්වලට හසුවුණ කෙනකුගේ ඇඟිලි සලකුණුවලට සමාන වුණා. අන්තිමේදි ඔහු පිළිගත්තා අපේ ගෙදරට ආවේ ඔහු කියලා.

කොහොමෙන් කොහොම හරි රයිනිගේ මඟුල් මුද්ද ලැබුණා?
අම්මෝ... ඔව්... අපි වටිනා බඩු අපේ ගෙදර තියාගන්නේ නෑ. අනික මම රත්රන් බඩුවලට කොහොමටවත් කැමති නෑ. ඒ නිසා මම ආසාවෙන් කියලා ළඟ තියාගත්තේ ඔය මගේ මඟුල් මුද්ද විතරයි. ඒකත් හොරැ ගත්තා. අන්තිමේදි ඒ මනුස්සයා ඒක හොරකම් කරලා. ඒ ටිකට විකුණලත් එක්ක. කොහොම හරි ඒ තැනින් පොලීසියේ මාර්ගයෙන් ආයෙ මට අරගෙන දුන්නා.

දවස් කීයකින් මේ හොරැ ඇල්ලුවද?
කොහොම හරි ඉතා ඉක්මනින් අපිට අපේ බඩු අරගෙන දුන්නා. සල්ලිනම් හම්බුණේ නෑ. හැබැයි එදා හොරු ඇවිත් කියලා දැකපු වෙලාවේ ගේ ඇතුළ දැකපු වෙලාවේ ඇතිවෙච්ච තිගැස්මනම් දවස් ගාණක් හිතේ තිබුණා. ආයේ තිබුණ තත්ත්වයට ගේ අස්පස් කරන්න වෙනමම දවස් දෙකක් විතර ගියා.

Text - Dishani  / PiC - Internet