2017 මැයි 27 වන සෙනසුරාදා

දැහැන

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

ඔයා අහලා තියෙනවද අර එකෝමත් එක කාලෙක කතාන්දර... අපිව චමත්කාරවත් ලෝකවලට එක්කරගෙන ගිය කතාන්දර... එක කාලෙක හුඟක් රසවත් ඒ කතාන්දර තවත් කාලෙක යථාර්ථයෙන් හුඟක් ඈත බව අපිට වැටහෙනවා... එතකොට අපි තේරුම් ගන්න උත්සාහ කරන්නෙ ලෝකයේ හැඩය නෙවෙයි ස්වභාවය. ඒකි මාර බඩුවක්.....

කොල්ලො එහෙම කියනවා ඔයාටත් ඇහිලා ඇති. කොල්ලො මොන අවලං වැඩක් කළත් ඒක උන්ගෙ කොලුකම ලෙස සාධාරණීකරණය කරන අම්මණ්ඩිලත් ඔයාට ඕනෑතරම් හමුවී ඇති. විශේෂයෙන් ඒක ගම්බද ගැහැනුන් තුළ දකින්න හැකි දෙයක්. හැබැයි ඒකෙන් කියන්නෙ නගරබද ගැහැනුන් රැඩිකල් කියන එක නෙවෙයි... හැබැයි රැඩිකල් කියලා පෙන්නන්න යන හුඟක් ගෑනු ඇත්තටම රැඩිකල් නෑ... ඒක නිකම් සෝබනයක් විතරයි.

මම අර මුලින් කීව ගෑනුන්ට බඩුව කියන පරම්පරාව අලුත් පරම්පරාව කියලයි මම ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ කියවනකම් හිතාගෙන හිටියේ... මොකද ගෑනුන්ට බඩුව කියන තරුණයන් මට ජීවන සුවඳෙදිත් හමුවුණා... ඒ තරුණයන් ලවා ගැහැනුන්ට බඩුව කියලා කියෙව්වෙ ගුණදාස අමරසේකර.

ජීවන සුවඳෙ කෙටිකතාවක් තියෙනවා ගැමි කත කියලා. විශ්වවිද්‍යාල තරුණයන් දෙදෙනෙකු සහ ගැමි තරුණියක සම්බන්ධ කතාවක් තමයි ඒ. මේ කෙටි කතාවේ ගැමි කත ගුණදාස අමරසේකර බඩුවක් විදිහට හඳුන්වා දුන්නෙ, ගුණදාස අමරසේකරත් ගෑනුන්ට බඩුවක් කියලා ආමන්ත්‍රණය කළේ ඇයි කියන එක මට හිතන්න හිතෙන දෙයක්. ගුණදාස අමරසේකර ජීවන සුවඳ ලීවෙ මීට දශක කීපයකට ඉස්සර... ඒ කියන්නෙ ඒ කාලෙ කෙල්ලනුත් අද වගේම කොල්ලන්ගෙ සමච්චලයට ලක් වුණාද? ඒ කාලෙ හිටියෙත් ගෑනුන්ට බඩු කියලා කතා කරන ජාතියෙ පිරිමිමද? ජීවන සුවඳේ ගැමි කත කියවද්දි එහෙම හිතෙනවා.

ලෝකය වෙනස් වුණාට පිරිමියා වෙනස් වෙලා නෑ... සල්ලාල විජය කුමාරයාගේ ගතිගුණ වගේම අධිපතිවාදී බමුණු කුලේ ගතිගුණත් ජානමය උරුමයක් වගේ පිරිමින්ට පරම්පරාවෙන් පරම්පරාවට ඇවිත් තියෙනවා. එදා ගල් යුගයේ හිටිය පිරිමියයි, අද පරිගණක යුගයේ පිරිමියයි කියලා වෙනසක් නැති තරමට ගැහැනිය යන ප්‍රස්තුතයේදී පිරිමින්ගේ දැක්ම ආකල්පය හැසිරීම ගෝත්‍රිකවාදීයි....

ඒ ගෝත්‍රිකවාදයෙන් නිරුවත් වෙච්ච ආදරණීය පිරිමින් කියන්නේ ලෝකයට විරල සම්පතක් කියලයි මට හිතෙන්නෙ. ජීවිතය විඳින ගැහැනුන්ට වඩා විඳවන ගැහැනු අපට හමුවන්නේ ඒ යථාර්ථය ඇතුළෙදි. පිරිමින්ට තමන්ගේ ආත්මගත කිළිටි බව හැම මොහොතකදීම අමතකයි. පිරිමියා, ගැහැනිය තුළින් දිව්‍යමය පාරිශුද්ධත්වයක් අපේක්ෂා කරන්නෙ ඒ නිසා. ඒත් ස්වභාවික ලෝකයේ පිරිමින්ටවත් ගැහැනුන්ටවත් එවන් දිව්‍යමය පාරිශුද්ධත්වයක් ආත්මගත කොටගන්න බැහැ. ජීවිතයේ හැම කවුළුවක්ම දොරගුලු ලා වසා තිබුණත් දූවිලි අරන් එන හුළං වලින් බේරෙන්න කාටද පුළුවන්. දූවිලි තැවරිච්ච ආත්මයකට අයිතිවාසිකම් කියන ගමන් දිව්‍යාංගනාවන් ප්‍රාර්ථනා කරන සිහිනයක එල්ලෙන්න එපා.... ජීවිතය අස්සෙ නවතින ගැහැනිය ඒ ප්‍රතිරූපයෙන් ඈත් වුණාම එල්ල කරන්න පුළුවන් හැම චෝදනාවක්ම එල්ල කරන්නෙ එහෙව් නරැම පිරිමි. අන්තිමට ලෙයින් මසින් ප්‍රාණයෙන් හැදුණ ගැහැනු පිරිමින්ට නිකම්ම නිකම් බඩු විතරයි.

I sanju