2017 මැයි 20 වන සෙනසුරාදා

තප්පර 25 කින් යෝධ පාලම කුඩේ කුඩු

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

මීට 60 වසරකට පෙර බ්‍රිතාන්‍ය සිනමාවේදී ඩේවිඩ් ලීන්ගේ ඔස්කාර් සම්මාන 8ක් හා ජාත්‍යන්තර සම්මාන 27කින් පුද ලැබූ ලෝ ප්‍රකට THE BRIDGE ON THE RIVER KWAI චිත්‍රපටයට පාදක වූයේ දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානය විසින් සිදුකළා යැයි කියන අතිශය භීෂණයට තුඩුදුන් ක්‍රියාවලියකි. එහෙත් මෙම චිත්‍රපටය තුළින් ශ්‍රී ලංකාවට මෙන්ම සිංහල සිනමාවට ඇති කළ බලපෑම අති ප්‍රබලය.

ඩේවිඩ් ලීන්ගේ මෙම කීර්තිමත් සිනමා නිර්මාණයට පාදක වූ පසුබිම් කතාව යළි ආවර්ජනය කිරීමේදී මෙම චිත්‍රපටයේ සුවිශේෂිතා රැසක් ඉස්මතු වේ. 

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ හොලිවුඩ් නිෂ්පාදක සෑම් ස්පීගල්ය. ඔහුගේ චිත්‍රපටයක මංගල දර්ශනයකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා ගමන්කරන අතරවාරයේ ඔහුට ප්‍රංශ ගුවන් තොටුපොළක පියෙරි බෝවුල් විසින් රචිත THE BRIDGE ON THE RIVER KWAI පොතේ ඉංග්‍රීසි පරිවර්තනයක් නෙත ගැටී එය මිල දී ගෙන ඇත. කතාවට වශී වූ ස්පීගල් එහි අයිතිය නොපමාව ලබාගෙන ඩේවිඩ් ලීන්ට එහි අධ්‍යක්ෂණය කිරීමේ කාර්යභාරය පැවරුවේය.
ශ්‍රී ලංකාවේ තිබෙන මනස්කාන්ත දර්ශන තල මෙන්ම එහි තිබෙන යහපත් දේශගුණික හා අනෙකුත් කාරණා සැලකිල්ලට යොමු කළ නිෂ්පාදක සෑම් ස්පීගල් ඔහුගේ නිර්මාණය ශ්‍රී ලංකාව තුළ (එවකට CEYLON) රූගත කිරීමට තීරණය කළේය.
කතාවට සම්බන්ධ සැබෑ ගංඟාව තිබෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවර සිට කිලෝමීටර් 200ක පමණ දුරින්ය. චිත්‍රපටයේ දර්ශන තලයට මූලිකවම ඇවැසි වූයේ ක්වායි ගඟ මත දිවෙන පාලම සෑදීමය. ඒ සඳහා කිතුල්ගල අවට දිවෙන මස්කෙළිය ඔය නම් කැලණි ගඟේ අතු ගංගාවක් තෝරා ගැනිණ.

චිත්‍රපටයේ උච්චතම අවස්ථාව පිළිබිඹු වන්නේ යුද සිරකරුවන් හා සාමාන්‍ය වැසියන් දස දහස් ගාණකට මරු කැඳවමින් පාලම මත දුම්රියක් පිපිරෙන දර්ශනයයි. මස්කෙළිය ඔයේ ජල මට්ටමෙන් අඩි 90ක් උසින් හා අඩි 425ක් දිග මෙම පාලම ඉදිකිරීමේ කාර්යය සඳහා 1950 දශකයේ මුල් භාගය තුළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකහමාරක් පමණ වැය වී ඇති අතර එය නිර්මාණය කිරීම සඳහා මිනිස් ශ්‍රමය මෙන්ම අලි ඇතුන්ගේ සහායද ලබාගෙන ඇති බව වාර්තා වී ඇත.
මේ කාලය වනවිට අපේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාව චිත්‍රපටය රූගත කරමින් සිටියේය. ලෙස්ටර් එංගලන්තයේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ කාලය තුළ දැන හැඳිනගෙන සිටි ඩේවිඩ් ලීන් ලංකාවේදී හමුවිය. ඒ හමුවේ ප්‍රතිඵලයක් ලෙස ලෙස්ටර්ගේ යොමු කිරීමෙන් ඩෑග් දොරෙයිරාජ්, ශේෂා පලිහක්කාර, විජය අභයදේව සහ ගාමිණී ෆොන්සේකාට THE BRIDGE ON THE RIVER KWAI නැමැති දැවැන්ත සිනමා නිර්මාණයට සම්බන්ධ වීමේ භාග්‍යය උදාවිය.

දොරෙයිරාජ් ප්‍රවාහන අංශයටද, ශේෂා පලිහක්කාර අංගරචනා අංශයටද, ගාමිණී ෆොන්සේකා හා අභයදේව සහාය අධ්‍යක්ෂක කණ්ඩායමටද බැඳී කිතුල්ගල ප්‍රදේශයේදී දින, සති, මාස ගණනාවක් සේවය කළහ. ඇත්තෙන්ම මෙය පසුකළෙක සිනමා සක්විති ලෙස හඳුන්වනු ලැබූ ගාමිණී ෆොන්සේකාට කදිම අත්දැකීමක් විය. ඇතැම් විදෙස් සිනමා ශිල්පීන් සමඟ ගාමිණී ඉක්මනින්ම කුළුපග වී ඔවුන්ගේ ආදරය හා ගෞරවයට පාත්‍රවිය.

චිත්‍රපටයට අදාළ දැවැන්ත පාලම ඉදිවිය. එය සම්පූර්ණවූවායින් පසු ප්‍රදේශයේ ප්‍රභූ පිරිස් හා සියලුම ආගමික නායකයින්ගේ මූලිකත්වයෙන් පුංචි උත්සවයක් පවත්වා ඇති අතර එහි පැමිණි සිටි බොහෝ ප්‍රභූවරුන් මෙම පාලම සදාකල් පවතීවා කියා ප්‍රාර්ථනා කළහ. එහෙත් චිත්‍රපටය අවසානයේ මෙම පාලම පුපුරා හරින බව දැන සිටියේ චිත්‍රපටයට සම්බන්ධ අය පමණි.

රිදී තිරයේ තත්ත්පර 25ක දර්ශනයක් සඳහා මහත් පරිශ්‍රමයෙන් තැනූ මෙම පාලම පුපුරවා හැරීම සඳහා ටොන් දහසක පමණ ඩයිනමයිට් ප්‍රමාණයක් උපයෝගී කරගෙන තිබෙන බවද වාර්තා වේ.
ලෝ ප්‍රකට චිත්‍රපටයක් සඳහා තැණුනු මේ ඓතිහාසික පාලම පුපුරවා හැරුණද, ඒ සඳහා මහත් පරිශ්‍රමයකින් ඉදිකළ අත්තිවාරම් අදද මස්කෙළිය ඔයේ ගං ඉවුරේදී දැකිය හැක. එම සිහිවටන දැක බලාගැනීමට අද වනවිටත් විදේශිකයින් පවා කිතුල්ගලට පැමිණීම, එම සම්මානනීය චිත්‍රපටයේ දර්ශන තල රෑගත කළ අපේ රටට මහත් අභිමානයක් නොවේද?

 

Text – Ramesh Uvais / PiC - Internet