2017 මැයි 20 වන සෙනසුරාදා

ආදරෙයි මං ඔය හිතට තාමත්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

ඕනම කෙනකුට නිර්මාණශීලී අදහස් පහළවෙන වෙලාවක් කලාවක් නැහැනෙ. ඒත් ඒවා මතකෙ තියාගන්න එකයි අමාරුම වැඩේ.

අපි දන්න ටෙලිනාට්‍ය තිර රචකයෙක් නම් කරන්නෙ එයාගෙ ඔළුවට අදහසක් ආව ගමන්ම සාක්කුවේ තියෙන කොලේක ඒක ලියලා සටහන් කරගන්නවා. කොහේ හිටියත් ඒක පුරුද්දක් හැටියට කරනවා.

ඔන්න ළඟදි දවසක බස් එකක යන ගමන් එයාට ලස්සන සින්දුවක් ඇහිලා තියෙනවා කාලෙකට පස්සෙ. ටෙලිනාට්‍ය නමකට වුණත් හොඳයි කියලා හිතපු නිසා ඒකෙ මුල් පද පේලිය උඩ සාක්කුවේ තිබුණ කොලේක ලියලා තියාගත්තලු.
එදා වැඩ රාජකාරි ගොඩක් ඉවර කරලා ගෙදර ඇවිත් තියෙන්නෙ රෑ බෝවෙලා. පහුවදා උදෙන්ම මේ තිර රචකයා ඇහැරුණේ එයාගෙ නෝනගෙ යුද ප්‍රකාශයත් එක්කලු.

මට ඇත්ත කියනවා, කවුද මේ කෙල්ල? නාට්‍ය නාට්‍ය කියලා යනකොට මම හිතුවා මේ වගේ දෙයක් වෙයි කියලා. මේක මම ලේසියෙන් අතාරින්නෙ නෑ... අහල පහල ගෙවල්වල අයටත් ගෝරණාඩුව ඇහෙනවලු.
බැලින්නම් වෙලා තියෙන දේ දන්නවද? එයා අර සින්දු කෑල්ල ලියලා තිබුණෙ එයාගෙ යාළුවෙක් දීපු අඳුනන ගෑනු ළමයකුගෙ ෆොටෝ එකේ පිටිපස්සෙලු. රඟපාන්න අවස්ථාවක් අරන් දෙන්න කියලලු කෙල්ලගෙ ෆොටෝ එක දීලා තියෙන්නෙ.

අර සින්දුව මොකක්ද කියලා දන්නවද?
ආදරෙයි මං ඔය හිතට තාමත්...

 

ප්‍රමාදයට හේතු

මේ ටිකක් පරණ කතාවක් වුණාට ඕනෑම කාලෙකට ගැලපෙන එකක් කියලා හිතුණ නිසා මතකය අලුත් කරන්න අදහස් කළා.

අපේ රටේ විනය ගැන කතා කරන්න ඕන නැහැනෙ. ඒ තරමටම පිරිහිලා. ඒවා හදන්න උත්සාහ කළත් අපේම අය ඊට විරැද්ධ වේවි.

ඔන්න අවුරුදු බරගාණකට ඉස්සෙල්ලා ලොකු විදෙස් චිත්‍රපටයක් ලංකාවෙ හැදුවලු. ප්‍රධාන වැඩකටයුතු සියල්ලටම තෝරාගෙන තිබුණෙ විදෙස් රටවල වෘත්තිකයන්. ඒත් ඇතැම් කටයුතුවලට අපේ කට්ටියත් යොදාගෙන තිබුණා.
වැඩේ කියන්නෙ විදේශිකයො දර්ශන තලයට වෙලාවට කළින් එනවා, අපේ අය එන්නෙ වැඩේ පටන්ගත්තට පස්සෙ.
තත්ත්වය පාලනය කරන්න බැරි තැන අධ්‍යක්ෂකවරයා පොතක් තිබ්බලු ප්‍රමාදවෙලා එන කට්ටියට පරක්කුවෙලා ආපු හේතු සටහන් කරන්න. පරක්කුවෙලා එන කට්ටිය පොතේ හේතු ලියන්න ඕනෙලු. උඩින් කෙනෙක් හේතුව ලිව්වම ඊටපස්සෙ එන හැමෝම හේතුවට එම කියලා දානවලු.

එදා මුලින්ම පරක්කුවෙලා ආපු කෙනා හේතුව හැටියට දැම්මලු නෝනගෙ දතක් ගලවන්න ගියා කියලා. 
ඔන්න බොලේ ඊටපස්සෙ ආපු හැමෝම හේතුවට එම එම කියලා දාගෙන යනවලු.

 

අනේ සාධු

සමහර අයට කිහිල්ල ළඟින් කාගෙ හරි අතක් තියා මැස්සෙක් ගියත් ඇතිවෙන කිචි ගතිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. අපේ කලා ලෝකෙත් ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලො බොහොම පරිස්සමට ජීවත් වෙනවා. හැබැයි සමහර අයටනම් හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ වගේ කිහිල්ල අහලකින් අතක් පයක් ගියොත් ප්‍රතිචාර දක්වන්නෙ සුද්ද සිංහලෙන්.

මේ වගේ ප්‍රතිචාර දක්වන කෙනෙක් නිසා එයාගෙ පවුලෙ උදවියටත් අසීරු අවස්ථා ගොඩකට මුහුණදෙන්න වෙලා තියෙනවා.
බැරිම තැන එයාට කියලා කියලා බොහොම අමාරැවෙන් ඒ තත්ත්වය වෙනස් කරගෙන තියෙනවා.

ඒ වගේ කිචි දැනෙන වෙලාවට කලබලවෙලා නරක වචන පාවිච්චි කරනවා වෙනුවට හොඳ වචනයක් දෙකක් පුරුදු කරගන්න. කාලයක් ගියාම හරි යයි, එයාගෙ යාළුවෙක් උපදෙස් දුන්නලු.
අනේ සාධු... කියලවත් කියන්න.

එදාම එයාට කෝල් එකක් ඇවිත් ගේට්ටුව ළඟ කතා කර කර ඉඳිද්දි එයාගෙ යාළුවෙක් අත ළඟින් ගියාලු.
කෝල් එකේ ඉඳිද්දිම අනේ සාධු කියලා හිත හදාගත්තලු. අර කෝල් එක ඇවිත් තියෙන්නෙ අර හාදයගෙ හොඳම යාළුවගෙන් එයාගෙ අම්මා හදිසියේ නැතිවුණා කියලා කියන්න.

 

හින්දියෙන් කතා කරන නිළිය

ඔන්න පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක ළඟදි පටන් ගත්තු හින්දි ගීත විශේෂාංගය ඉදිරිපත් කරන්න හොඳ කෙනෙක් හොය හොයා ඉන්න වෙලාවක, කවුදෝ කෙනෙක් අලුත් නිළියකගෙ නමක් යෝජනා කළාලු.
ටෙලිනාට්‍ය කීපයක රඟපාලා තියෙන නිසාත් හින්දි චිත්‍රපට ගොඩාක් නරඹන නිසාත් නාලිකාවේ වගකිවයුත්තො ඇයට අවස්ථාව ලබාදුන්නලු.

විකාශය වුණේ වැඩසටහන් දෙක තුනලු. කෙල්ල එකපාරටම වෙනස් වෙන්න පටන් ගත්තලු. දැන් හැමෝ එක්කම එයා කතා කරන්නෙ හින්දි භාෂාවෙන්ලු.

 

වැල්වටාරම් නළුවා

අලුත් ටෙලිනාට්‍යයකට නළු නිළියන් තේරීමේ සාකච්ඡාවකට ළඟදි ඒ නිර්මාණයේ අධ්‍යක්ෂක, නිෂ්පාදක, නිෂ්පාදක කළමනාකරැ ඇතුළු පිරිසක් සහභාගි වුණාලු.
එක්තරා සටන්කාමී චරිතයකට අධ්‍යක්ෂකවරයා නළුවකුගේ නමක් යෝජනා කළාලු.
ඒ වෙලේම නිෂ්පාදන කළමනාකරු ඒ අදහසට තදින්ම විරැද්ධ වුණාලු.

අපි එයාව ගත්තොත් ඉතින් කොටස් 5කින්වත් කතාව කෙටි කරන්න වෙයි, ඔහු නිෂ්පාදකවරයාට කිව්වලු.
ඇයි මොකක්ද ප්‍රශ්නෙ? මිනිහ අවුල්ද නැහැනෙ... නිෂ්පාදකවරයා අධ්‍යක්ෂකගෙන් ඇහුවා. ඒකටත් උත්තර දුන්නෙ නිෂ්පාදක කළමනාකරු.
මම මෙයත් එක්ක වැඩ කරලා තියෙනවා. හොඳට රඟපානවා, ඒත් කෑම බීමෙදි පොඩි අවුලක් තියෙනවා. උදේට පානුයි පරිප්පුයි දුන්නම අහනවා වෙන වැල්වටාරම් නැද්ද කියලා.
ඒ කිව්වෙ...

ඒ කියන්නෙ අමතර වෑංජන. දවල්ටත් එහෙමයි, එයාට වැල්වටාරම් වෑංජන ගොඩාක් ඕනෙ... ඒකනෙ ගොඩක් අය එයාට වැල්වටාරම් නළුවා කියලා කියන්නෙ.

 

දෙයියො වැරදි තැනක

එදා ෂූටිං තිබුණෙ ජනාකීර්ණ කොළඹ නගරයේ උද්‍යානයක් තුළ. දවස පුරාම ෂූටිං තිබුණ නිසා ඒකෙ වැඩ කරපු හැමෝටම ඒ පරිසරය වගේම ඒ අවට හැසිරැන අය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වුණාලු.
කිහිලිකරුවකුත් එක්ක ඇවිදින මැදිවියේ මිනිහෙක් ඔහුගේ බිරිය සමඟ මේ උද්‍යානයට පැමිණෙන ජෝඩු ළඟින් හෙල්ලෙන්නෙ නැහැලු අතට ගාණක් එනකම්.
මේ ටෙලිනාට්‍ය කණ්ඩායමේ එක්කෙනෙක් මේ දෙන්නා ගැන හොඳ විපරමින් හිටියලු.

මේ ජෝඩුව හවස්වෙලා ගහක් යටට ගිහින් දවසටම හොයාගත්තු සල්ලි ගනිනවලු.
නියමයිනෙ. අපි හැමදාම මෙතනට එන්න ඕනෙ. පහුගිය සතියෙම අර පල්ලිය ළඟ හිටියට අපිට අතින් කයිට් වැඩනෙ වුණේ. බලාගෙන ගියාම මම හිතන්නෙ දෙයියො ඉන්නෙ මෙහෙ, අතන නෙවෙයි, අර මනුස්සයා බිරියට කියනවා ඇහිලා තියෙනවා.

 

Text – Mithra