2017 මැයි 20 වන සෙනසුරාදා

දැහැන

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 163

 

ඔයාට මතකද අවසන් මානුෂීය මෙහෙයුම කියලා එකක් තිබුණා. ඔයාට මතකද මේ රටේ අවුරුදු 35ක යුද්ධයක් තිබුණා. වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියාගේ මිලේච්ඡ ඝාතක මානසිකත්වය මේ රටේ කිරිසප්පයන්ගේ ඉඳන් පරම්පරා ගාණක මිනිස්සු මරලා දැම්මා. හමුදාවේ කොල්ලොන්ට දස වඳ දිදී මරලා දැම්මා. උන්ට මිනිස්සු මරන්ට හේතු වුවමනා වුණේ නෑ. උන්ගේ ඊළාම් සිහිනය අපරාජිත කිරීම වෙනුවෙන් උන් හේතු විරහිතව වෙඩි තිබ්බා. බෝම්බ පිපිරෙවුවා. දස වධ දිදී මිනිස්සු මැරුවා. මානසිකවත් ශාරීරිකවත් දෙවිදිහෙන්ම මිනිස්සු මැරුවා. සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියකම මිනිස්සු මැරුවා. 

දැන් චරිත වෙන්ට දඟලන අම්මණ්ඩිලාට, වීරයෝ වෙන්ට හදන කාඩ්බෝඩ්කාරයන්ට 2009 මැයි 19 වැනිදා අමතක වුණාට ඒ දවස සහ අතීතය මතක තියෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් අදටත් ඉන්නවා. එදා යුද විරුවන්ට අවමන් කරපු සිංහල ඊළාම්වාදීන් අද අපි තමයි පොරවල් න්‍යායෙන් දඟලනවා. වීරයන් බලු කරලා බල්ලන් වීරයන් වෙන්න දඟලන යහ වහ වෙච්ච යුගයක බෙදුම්වාදී උන්මාදයෙන් දඟලන හැමදෙනාටම යළිත් සිහිපත් කළ යුතු අතීතයක් සහ වර්තමානයක් අපිට තියෙනවා. ඒ අතීතය ගැන භක්තියෙන් සිහිපත් කරලීමේ යුතුකමක් අපට තියෙනවා. ඒ අද ඔයාගෙත් මගෙත් සවනට වෙඩි හඬක් නෑසෙන්නේ, ඔයත් මමත් මරණ බයෙන් තොරව නිදහස් හුස්මක් ගන්නෙ ඒ අතීත වීරයන්ට පින්සිද්ධ වෙන්න නිසා. ඒ වීරයන් කොටි මිනිසුන් මැරූ න්‍යාෙයන් නිරපරාදයේ මිනිස්සු මැරුවේ නෑ. නිරායුධ හැම දෙමළ මනුස්සයෙකුටම උන් සැලකුවේ මනුස්සකමින්. උන් දංගෙඩියට දක්කන්න හැදූ දෙමළ ඩයස්පෝරාවට උන්ගේ මානසිකත්වය උදෙසා දෙන්න සාක්ෂි ඕනෑ තරම් කැමරාවල සටහන් වුණා.

ඒ යුද්ධයට නායකත්වය දුන්නෙ මහින්ද රාජපක්ෂ. ඒ යුද්ධයට යෝධ ශක්තියක් වුණේ ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා පතිවරු ඇතුළු බුද්ධි අංශ නිලධාරින්. ඔවුන් කළේ යුග මෙහෙවරක්. ජාතික යුතුකමක්. කිසිවකුට කිසිදා කිසිදු හේතුවක් මත අමතක කළ නොහැකි, අවතක්සේරු කළ නොහැකි විසල් කර්තව්‍යයක්.

රට වෙනුවෙන් උපන් භක්ති ප්‍රේමයෙන් ඇස් ඉස් මස් ලේ දන්දුන්න තරුණ පරපුරක් අදටත් සදා සයන මත. රෝද පුටු මත. එදා වීරයෝ අද බලු කළා. කාට කාටත් මොන කෙළි කරන්ටත් පොළොවක් තියෙන්නෙ උන් හින්දා. මේ පොළොවේ මල් පිපුණේ උන්ගෙ ලේ දහරාවල ප්‍රාණයෙන්. මේ අහස පොළොව අතර අදටත් ඒ වීරයන්ගේ ප්‍රාණ ශක්තිය රැඳිලා තියෙනවා. ඒ ශක්තිය හෙට අද මේ බිමේ කිළිටි දූවිලි ඈතටම අරන් යන ජවසම්පන්න සුළඟක් වී නොඑන්න විදිහක් නෑ.. අපි බලන් ඉමු... ඒ සුළඟ නොඑන්න විදිහක් නෑ... 

I sanju