2017 මැයි 13 වන සෙනසුරාදා

මට වැරදෙද්දි කමක් නෑ අපි ආයෙත් ගයමු කියලා අමරදේව සර් කීවා

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

අමරදේව හා අවසන් යුග ගීය ගැයූ චන්ද්‍රිකා සිරිවර්ධනගේ මිණිබිරිය කියයි

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව අවසන් වරට යුග ගීතයක් ගැයුවේ  විශාරද දුල්ෂාරා දසන්ති එක්ක. දුල්ෂාරා කියන්නේ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනයන්ගේ මිණිබිරය. සප්ත ස්වරයේ රජතුමාණෙනි නම් වූ ගීතය රූප රචනාවක් එක්ක එළිදැක්වුණේ ඊයේ පෙරේදා දවසක. දුල්ෂාරා එක්ක අපි කතා කළේ හෙළයේ මහා ගාන්ධර්වයායැයි බුහුමනට පත් අමරදේව සමඟ අවසන් යුග ගීතය ගයන්නට වරම් ලද ඇගේ මතකය දැනගනු රිසියෙනි. 

දුල්ෂාරා... ඔයා කලා පවුලක කෙනෙක්. මොකක්ද ඒ පසුබිම?

ඔව්.... මගේ අම්මා අයෝමි ද අල්විස්. මගේ තාත්තා ප්‍රසන්න ද අල්විස්. මගේ ආච්චි ප්‍රසිද්ධ ගායිකාවක් වන විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන. මගේ සීයා මීට මාසයකට කලින් අභාවයට පත්වුණ ඇන්ටන් අල්විස්. ගායිකාවෝ අධ්‍යක්ෂකවරු නළුවෝ නිළියෝ හැමෝම මම පුංචි කාලේ ඉඳන් දැක්කා.

පුංචි කාලේ ඉඳන් දුල්ෂාරා සින්දු කිව්වද...?

ඔව්... මම ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත්තට මට නිතරම ඇහුණේ රාගධාරී සංගීතයයි. ආච්චි ශාස්ත්‍රීය ගීත ගායනා කරද්දී මම පුංචි කාලේ ඒවා අහගෙන හිටියා. වචන හරියට ගළපගන්න බැරිවුණත් මම ඒ වචන මිමිණුවා. ඒ නිසා ආච්චි තමයි මගේ දක්ෂතාවය මුලින්ම හඳුනාගත්තේ. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම මට ඒවා ඉගැන්නුවා. මම දැන් සංගීත විශාරදවරියක්.

අමරදේව මාස්ටර් එක්ක ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

ඒ අවස්ථාව මට ලබලා දුන්නේ මගේ ආච්චි. එයාට ලොකු ආසාවක් තිබුණා අමරදේව සර් එක්ක මගේ සින්දුවක් ගායනා කරවන්න. ඒකට සීයත් ගොඩක් උදව් කළා. පණ්ඩිත් අමරදේවයන් එක්ක ගීතයත් ගායනා කිරීම මගේ ජීවිතේ මට ලැබුණු ලොකු වාසනාවක්.

අමරදේව මාස්ටර් මුලින්ම මුණගැහුණු ඒ අවස්ථාව ආයේ දුල්ෂාරා මතක් කළොත්...

මේක මම ගායනා කරපු පළවෙනි ගීතය. ආයෙත් මම කියන්නෙ පණ්ඩිත් අමරදේවයන් එක්ක ගායනා කරන්න ලැබීමත් ඇත්තටම වාසනාවක්. සින්දුව රෙකෝඩ් කරන්න කලින් දවසක අපි මේ ගැන කතා කරන්න අමරදේව සර්ගේ ගෙදර ගියා. එදා අපි ගෙදරට යද්දි ඉස්සරහට ඇවිත් අපිව පිළිගත්තෙත් සර්මයි. අර සුන්දර හිනාවෙන් අපිව පිළිඅරගෙන ගේ ඇතුළට ඇවිත් වාඩිවෙන්න කිව්වෙත් සර්මයි.

ඊට පස්සේ....

සර් ඊළඟට කිව්වා මීට මාස කීපයකට කලින් මම උමාරියා එක්කත් ගීතයක් ගායනා කළා කියලා. ඔහු ඒ ගීතයම අපිට ගායනා කරලා පෙන්නුවා. පුදුමාකාර නිහතමානී කලාකරුවෙක්. ඊළඟට අපි අපේ ගීතය දාලා පෙන්නුවා.

ඔයාගේ සින්දුවට අමරදේවයන් මොකද කිව්වේ?

ඒ සින්දුවට සර් ගොඩක් කැමති වුණා. සර් හිනාවෙලා ඇහුවා ඇයි මේ මට මෙහෙම රජතුමාෙණනි කියන්නේ. මම එච්චර ලොකු කෙනෙක්ද කියලා.

සින්දුව රොකෝඩින් කළ දවස ගැන ආයෙ මතක් කළොත්?

ඒ සින්දුව රචනා කළේ සමන් චන්ද්‍රනාත් මහත්තයා. රෙකෝඩින් කරන දවසේ ඔහුත් එතනට ආවා. එදත් මාස්ටර් ඇයි මේ මට සප්ත ස්වරයේ රජතුමාණෙනි කියලා කියන්නේ කියලා ඇහුවා. ඔහු ඒ තරම්ම නිහතමානී පුද්ගලයෙක්. හිනාවෙලා කිසිම අපහසුවක් නැතිව ඔහු රෙකෝඩින්වලට සහභාගී වුණා.

අමරදේව මාස්ටර් එක්ක ගීයක් ගයන්න දුල්ෂාරාට බයක් හිතුණේ නැද්ද...?

මුලදී චූටි බයක් දැනුණා. මට වැරදෙයිදෝ කියලා හිතුණා. තැන් දෙක තුනක මට වැරදෙද්දී හිනාවෙලා කමක් නෑ අපි ආයෙත් ගයමු... කියලා සර් මාව දිරිමත් කළා. ඇත්තටම එදා හරිම ලස්සනට අපිට සින්දුවක් කරගන්න පුළුවන් වුණා.

දුල්ෂාරාගේ සින්දුව ගැන අමරදේව මාස්ටර් මොකද කිව්වේ?

සින්දුව කරලා ටික දවසක් ගියාට පස්සේ අපේ ආච්චිගේ සංගීත වැඩසටහනක් තිබුණා එක්තරා ටී.වී. නාලිකාවක. ඒ පෝග්‍රෑම් එකට අමරදේව මාස්ටර්ට කතා කරලා තිබුණා. ඒකේදී එතුමා කතා කළේත් මම ගැනයි. සින්දුවේ පදවලටත් සංගීතයටත් ඔහු ගොඩක් කැමති වුණා. අලුත් අයට ඔහු ගොඩක් උදව් කළා.

මේ සින්දුවේ විෂුවල් එක අමරදේව මාස්ටර්ට දකින්න ලැබුණේ නැහැ නේද...?

නැහැ. අපි හිතුවේ විෂුවල් එකත් අමරදේව මාස්ටර් එක්කම කරන්නයි. ඒත් ඔහුගේ අභාවය නිසා අපිට ඒක කරගන්න බැරිවුණා. අමරදේව මාස්ටර් මියගිය පුවත ඇහුණ මොහොතේ අපේම පවුලේ කෙනෙකුගේ වියෝවක් වගෙයි ඒ නැතිවීම අපිට දැනුණේ. ඇත්තටම අපේ රජතුමා අපිට නැතිවුණා කියන හැඟීමක් තමයි අපිට ආවේ.

සින්දුවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

විෂුවල් එක අවුට් කරලා තාම දවස් කීපයයි. ගොඩක් අය හොඳ කියලා තියෙනවා. මේකේ සින්දුව මීට කලින් මම ප්‍රචාරය කළා. ඒත් ගොඩක් දෙනෙක් මේ ගැන කතා කළේ බැලුවේ මේ විෂුවල් එකත් එක්කමයි.

දුල්ෂාරාගේ ඊළඟ සින්දුවත් මේ වෙද්දි පටිගත කරලා ඉවරයිලු ෙන්ද?.

ඔව්. මම දෙනුවන් පෙරේරා එක්ක යුග ගීතයක් කරලා තියෙනවා. ඒකේ විෂුවල් එකත් කරන්න තියෙනවා.