2017 මැයි 13 වන සෙනසුරාදා

කිරුළ දිනූ සූර්යන්ස්ලා කියන කතා

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

රණ්ඩු වුණා. ගහමරා ගත්තා - අකිල ධනුද්ධර

මේ තේරෙනවා නේද මම කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. ඒක මාරම සතුටක්. අපේ ටීම් එක හිටියේ හරියට පවුලක් වගේ. ඇත්තටම අපි පවුලක්. ඒකෙ ඇතුළේ රණ්ඩු වුණා. ගහමරා ගත්තා. ඒ වලින් අපි අපිවම හොයාගත්තා. අපි අපිවම අඳුරගත්තා. අනික අපේ නායිකාව යුරේනි. එයා නියම නායිකාවක්. එයා අපි හයදෙනාව හොඳට තේරුම් ගත්තා. සුදුස්සට සුදුසු තැන එයා දුන්නා. ඒ තෝරාගැනීමත් එක්ක තමයි අපේ මේ ජයග්‍රහණයට පාර පෙන්නුවෙත්. හැබැයි තරගාවලිය අවසන් වෙන්න ළංවෙද්දි අපේ හිතට පුංචි දුකක් ඇතිවුණා. එකම පවුලක හිටපු අපිට ආයේ මේ විදිහට මුණගැහෙන්න ලැබෙන්නේ නැතිවෙයිදෝ කියන දුක අපිට තිබුණා. කොහොමහරි අවසාන තරගයේ දිනුම කියද්දී අපිට හිතාගන්න බැරිවුණා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. හැම වෙලාවකම මුණගැහෙනවා. කතා කරනවා. පවුලේ උදවියට දැන් වෙන්වෙන්න බැහැනේ. ඇත්තටම ඒ මාස හයක් පුරාවටම අපි හිටියේ පවුලක් වගේම තමයි. 

කට්ටිය  වටේට බිම ඉඳගෙන හිටු කියලා පාන් කෑවා - පියුමි බොතේජු

හිරු මෙගා ස්ටාර් කණ්ඩායම්වලට කට්ටිය තෝරන දවසේ මගේ නමට කළින් සූර්යන්ස් කණ්ඩායමට තෝරලා තිබුණේ උමාරියාගේ නම විතරයි. ඉතින් මම දැනගෙන හිටියා උමාරියා කියන්නේ ඉතාමත් දක්ෂ ගායිකාවක් කියලා. ඒ නිසා ඒ නමින්ම මගේ කණ්ඩායම ගැන මට බයක්  තිබුණේ නෑ. 

ඉතින් ඔන්න අපේ කණ්ඩායම තෝරාගෙන ඉවර වුණාට පස්සේ ආයේ අපිට මාර ෆිට්. අපි පුදුම විදිහට මහන්සි වුණා. කැපකිරීම් කළා. මම හැමවෙලේම අපි පවුලක්... අපි පවුලක් කියලා මැතුරුවා. හැමවෙලේම මගේ කටේ තිබුණේ ඒක. අන්තිමට අපි ඇත්තටම පවුලක් වුණා. අපි හත්දෙනාටම මේක පවුලක් වුණා. අපි ඇති තරම් රණ්ඩු වුණා. ඊටත් වඩා අපි ආයෙත් යාළු වුණා. අපි බැණගත්තා. රණ්ඩු වුණා. ආයෙත් ඉඹගත්තා. අවංකවම කිව්වොත් අපේ කණ්ඩායම හරිම පොඩි තැනකින් තමයි පටන් ගත්තේ. අපිට කෑම වැඩිපුරම ගෙනාවේ හිමාලි අක්කා. එයා එනකොට අපි කට්ටියටම උයාගෙන අරගෙන එනවා. බත් හදලා චිකන් කරියක් හදලා පරිප්පු හදලා ගෙනෙද්දි පියන් අරිද්දිම මාර සුවඳයි. ඉතින් පුරුදු වෙනවට වඩා අපි කෑවා. ඒ කාලය හරි සුන්දරයි. බිම වාඩිවෙලා නවදෙනාම බත් එක කනවා. එහෙම නැත්නම් මම ලොකු චිකන් කරියක් හරි සෝයාමීට් කරියක් හරි හදාගෙන යනවා. ඉතින්... බිම වාඩිවෙලා අපි ඒ කරිවල ගාගෙන පාන් කනවා. ඒ කාලය අපි කාටවත් අමතක කරන්න බෑ.  

අන්තිම දවස් වෙද්දී අපිට මාරම දුකයි - යුරේනි නොෂිකා

සූර්යන්ස් කියන්නේ මාරම මාර කණ්ඩායමක්. අපි හත්දෙනාම පුදුම විදිහට මහන්සිවෙලා පුදුම කැපකිරීම් කරලා තමයි මේ ජයග්‍රහණය ලබාගත්තේ. අපිට තිබුණු ලොකුම වාසනාව තමයි උමාරියාගේ කටහඬ. ඒ වගේම අනිත් පස්දෙනත් එක වගේම මහන්සි වුණා. කැපකිරීම් කළා. ඒ හැමෝගෙම අනිත් සියලු වැඩ කටයුතු තාවකාලිකව නතර කරලා තමයි සූර්යන්ස්ට තැන දුන්නේ. අපි වැටි වැටී තමයි මේ දුර ආවේ. අභියෝග ගොඩාක් අපිට තිබුණා. අපිට තිබුණු ලොකුම අභියෝගය තමයි වෘත්තීමය නර්තන ශිල්පියෙක් හෝ නර්තන ශිල්පිනියක් අපිට හිටියේ නෑ. ඒත්... අපි කොහොමහරි ඒ අභියෝගයත් ජයගත්තා. අන්තිමට අපේ හැම කෙනෙක් තුළම හැංගිලා හිටපු නර්තන ශිල්පියා, නර්තන ශිල්පිනිය සූර්යන්ස් නිසා මිනිසුන්ට පෙන්නන්න අපිට පුළුවන් වුණා.

අන්තිම දවස් කිට්ටු වෙද්දී අපිට මාරම දුකයි. මොකද ආයේ අපිට මේ විදිහට එකතු වෙන්න බැරිවෙනවනේ නේද කියලා හිතද්දී. කොහොමහරි මාස ගාණක ප්‍රතිඵලය තමයි අපිට මේ ලැබුණේ. අන්තිමට අපි ජයග්‍රහණය කළා. මේක අපි නවදෙනාගේම උත්සාහයේ ප්‍රතිඵලයක්. කැපකිරීමේ ප්‍රතිඵලයක්. 

පියුමිගේ මස් කරියයි පොල් සම්බෝලයි මාරයි - හිමාලි සයුරංගි

අපි හත්දෙනා දැනගෙන හිටියට අපි හත්දෙනාම අපේ හැකියාවන් මොනවද කියලා දැනගෙන හිටියේ නෑ. අඩුම තරමේ අපි අපිවත් දැනගෙන හිටියේ නෑ තමන් ළඟ සැඟවුණු කුසලතා මොනවද කියලා. අකිල මල්ලි අර තරම් නර්තන ශිල්පියෙක් කියලා, මට මේ තරම්වත් නර්තනය කරන්න පුළුවන් වෙයි කියලා අපි ඒ වෙද්දි දැනගෙන හිටියේ නැහැනේ.
හිත් රිදුණු තැන් තිබුණා. සමහර වෙලාවට කතා නොකර ටික වෙලාවක් පැත්තකට වෙලා හිටපු තැන් තිබුණා. හැබැයි ආයෙත් අතට අත දීලා බදාගෙන ඒ තරහ අමතක කළා. අපේ මෙහෙයුමේ ලොකුම සම්පත තමයි උමාරියා. 

යුරේනි ඉතා හොඳ නායිකාවක්. ඇය නායකත්වය බදාගත්තේ නෑ. වයසින් අඩු පොඩි මල්ලිගෙන් පවා ඇය අවශ්‍ය උපදෙස් ලබාගත්තා. පියුමිගේ මස් කරියට, පොල් සම්බෝලෙට ගහන්න වෙන කෑමක් නෑ. එයා මසුයි, පොල් සම්බෝලයි හදාගෙන උස්සගෙන එනවා. අපි බිම තියාගෙන ඒවා කෑවා. සමහරදාට දවල්ට අපි පාන් කෑවා. ඒක හරි සුන්දර අතීතයක්. 

කයිය ගහලා ගහලා බිම නිදා ගන්නවා - පැතුම් රුක්ෂාන්

හිරු නාලිකාවෙන් මට මේ රියැලිටි ෂෝ එකට කතා කරද්දි ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මේ තරම්ම ලොකු අභියෝගවලට අපිට මුහුණ දෙන්න සිද්ධවෙයි කියලා. ඇත්තටම මේක පවුළේ ජයග්‍රහණයක්. මේ පවුලෙ ඇතුෙළ මාර මාර දේවල් වුණා. සමහර වෙලාවට නැටුම අමතක කරලා කට්ටියම කනවා. සමහර වෙලාවට පැත්තකට වෙලා කකුල් දික්කරගෙන බිම වාඩිවෙලා හොඳ කයියක් ගැහුවා. සමහර වෙලාවට බිම නිදාගෙනත් හිටියා.

ප්‍රැක්ටිස් පැත්තක තියලා මාර කෑමක් කෑවා.... - උමාරියා සිංහවංශ

තරගයේ සුපිරි තරුව 

මම රියැලිටි තරගවලට වැඩිය කැමති නැති කෙනෙක්. හැබැයි මට හිරු එකෙන් කතා කරලා මේ ගැන කියද්දි මටත් සහභාගි වෙන්න ආස වුණා. මුල් දිනය මම කණ්ඩායමේ කවුරුවත් පෞද්ගලිකව වැඩිය දන්නේ නෑ. යුරේනි විතරයි මම ළඟින් දැනගෙන හිටියේ. හැබැයි මේකෙන් පස්සේ මට දැන් පවුලක් අලුතින් ලැබුණා. මේ පවුල ඇතුළේ රියර්සල් කරද්දි ගුටිකාලා තියෙනවා. ගහගෙන තියෙනවා. හැබැයි ඒවා හරි ‍ෂෝක්. හැම ඇක්ට් එකක්ම අපි කළේ හිනාවෙලා. අපි හැමෝම සැහැල්ලුවෙන් සතුටින් තමයි මේ දේවල් කළේ. හැමදාම අපි අලුත් දෙයක් ජීවිතයට එකතු කරගත්තා. අපේ හිතේ වෙන දෙයක්, මූණේ වෙන දෙයක් තිබුණේ නෑ.

අපි රියර්සල් කරනවට වඩා කෑම කෑවා. කනවා.. කනවා... ඊයෙත් මම අපි කරපු දේවල් ආයේ වීඩියෝ බැලුවා. මුල් වැඩසටහනට වඩා අන්තිම වැඩසටහනේදී මම මාරම මහතයි. පියුමි අක්කියි, හිමාලි අක්කියි තමයි උයාගෙන අාෙව් රස වෑංජනත් එක්ක. බත් හට්ටි පිටින් උස්සන් එද්දි ෙනාකා ෙකාහොමද?

ආපු බොහෝ ප්‍රවීණයෝ මගේ කටහඬ අගය කළා. ඒකට ස්තූති කරනවා. 

මට හම්බවුණ කාර් එක ඉතින් මම පාවිච්චි කරනවා. ඒක ගැන තාම ලොකුවට හිතලා නෑ. බලමු ඉතින් නේද..? 

නටපු නැටිල්ලට ඔළුවත් පැළුණා - හිමාලි සිරිවර්ධන තරගාවලියේ

සුපිරි තරුව

මේක මගේ පළවෙනි රියැලිටි වැඩසටහන වගේම අන්තිම එකත් වේවි.  ඒ නිසා මම ඒ කරපු දේ උපරිමයෙන් කළා. පුදුමාකාර කැපකිරීම් කළා. මගේ නර්තන කණ්ඩායමේ වැඩ තාවකාලිකව නතර කළා. රඟපෑමේ වැඩ කටයුතු නතර කළා. මුළු කාලයම මම කැප කළේ ශාක්‍යන්ස් වෙනුවෙන්. මේක ටීම් වර්ක් එකක්. ඒකේ ප්‍රතිඵලය තමයි අවසන් තරගාවලියට අපි සුදුසුකම් ලැබීම.

මමයි, සුරේෂුයි, අකලංකයි නර්තනය වෙනුවෙන් පුදුම මහන්සියක් ගත්තේ. රියර්සල් කරද්දි අනන්තවත් වැටිලා තියෙනවා. අනන්තවත් තුවාලවෙලා තියෙනවා. උඩක ඉඳන් බිමට වැටිලා එකපාරක් මගේ ඔළුව බිම වැදුණා. ඊටපස්සේ අපි ගොඩාක් දුරට පුහුණුවීම් කළේ බීච් එකේ. එක්ස්රේ පවා ගත්ත අවස්ථා තියෙනවා. තැලීම් සීරීම් එමටයි, ප්ලාස්ටර් දාගෙන පුරුදු පුහුණු වුණු දවස් අනන්තවත් තිබුණා. අවසාන තරගයේදි මගේ බෙල්ලේ අමාරුවකින් බෙල්ල හරවන්න බෑ. ඒ තරමට අමාරුයි. ඉතින්... අවසානයේදි අපිට අනුශූරතාවය හිමිවුණා. තව මම කාර් එකනම් ගත්තේ නෑ. මට එකක් තියෙන නිසා තාම ඒකට කරන දේ ගැනනම් හිතුවේ නෑ. බලමු නේද..?