2017 මැයි 06 වන සෙනසුරාදා

හරි ගිය තැන් වැරදුණ තැන් තියෙනවා

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2410

සාරංග ක්ෂේත්‍රයට ඇවිත් මේ ගත වෙන්නේ කී වැනි වසරද?

පුර්ණකාලීනව ගත්ත නම් වසර 11 ක් වෙනවා

මුලින්ම නිර්මාණයකට සම්බන්ධ වුෙණ් අවුරුදු කීයෙදිද?

අවුරුදු 9 දී

මොකක්ද ඒ නිර්මාණය? 

ඒක කෙටි චිත්‍රපටයක්. සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ ස්මරණ සමාප්ති

මුලින්ම කැමරාවට මුහුණ දෙද්දී බයක් දැනුෙණ් නැද්ද?

එහෙම බයක් කියලා නම් දැනුණේ නෑ. මොකද මම ගුවන් විදුලියේ ළමා ශිල්පියෙක් විදියට නාට්‍යවලට සම්බන්ධවෙලා තිබ්බ නිසා.

මතකද ඒ නිර්මාණයට ලැබුණු ප්‍රතිචාර එහෙම? 

ඔව්. මට රඟපාන්න තිබ්බේ අයිරාංගනී සේරසිංහ මහත්මියත් එක්ක. ඇය ඉතාම ප්‍රසංශාත්මකව කතා කළා. ඒ වගේම එතුමිය පොඩි අනාවැකියකුත් කිව්වා අනාගතයේ දී දිගටම රංගනයේ යෙදුනොත් හොඳ රංගන ශිල්පියෙක් වෙයි  කියලා.

අම්මා මොකද කිව්වේ පුතාගේ මුල්ම රංගනය දැකලා? 

හ්ම්... එහෙම මෙහෙමම කිව්වා කියලා නම් මට මතකයක් නෑ. නමුත් මගේ හැම වැඩකදීම අම්මා මට ලොකු ශක්තියක් වුණා වගේම ලොකු සහයෝගයක් දුන්නා.

සාරංග නිවේදන කලාව මුලින්ම පටන් ගත්තේ කොයි කාලෙද?

පාසල් යන කාලේ මට අවුරුදු 7ක් 8ක් විතර වෙද්දී ගුවන් විදුලි සංස්ථාවේ ළමා ශිල්පී පරීක්ෂණය සමත් වෙලා නිවේදන සහ ගුවන් විදුලි නාට්‍යවලට සම්බන්ධ වුණා.

සාරංගගෙම කියලා කරපු මුල්ම ගීතය

රෑ තුන්යාමය කියන ගීතය. එහි පද රචනය සහ සංගීතය කළේ මගේ මිතුරියක් සහ සහෝදරියක් වන චින්තිකා රණවීර 
රංගනය නිවේදනය හැරෙන්න සාරංග වෙනත් වෘත්තියක රැකියාවක් කරලා තියෙනවාද?

ඔව්. මම වෘත්තීය රංගන ශිල්පියෙක් වෙන්න කලින් Microsoft ආයතනයේ තාක්ෂණික අංශයේ -  දුරකථනයෙන්  සහ පරිගණක Chat හරහා තාක්ෂණික උපදෙස් ලබාදෙන රැකියාවක් කළා. ඒක මගේ පළමු රැකියාව. ඒ වගේම පෞද්ගලික ආයතනයක පරිගණක ගුරුවරයකු විදියට සහ පෞද්ගලික බැංකුවකත් සේවය කරලා තියෙනවා.

පුංචි තිරයේ පෙම්වතාගේ ප්‍රධාන චරිතයක් කළ මුල්ම නිර්මාණය මතක් කළොත්? 

පිපි පියුම් කියන ටෙලි නාට්‍යයේ සරෝජ් කියන චරිතය. ප්‍රේමකුමර් ජයවර්ධන මහතා තමා අධ්‍යක්ෂණය කළේ. සුමිත්‍රා රාහුභද්ධ මහත්මියගේ තමා එහි පිටපත සහ නිෂ්පාදනය. ඇය තමා මට ආරාධනා කළෙත්.

පුංචි තිරයේ මුල්ම පෙම්වතිය?

තාරකා වාසලමුදලිආරච්චි 

සිනමාවට මුලින්ම සම්බන්ධ වුණේ කොයි කාලෙද? 

2000 වසරේදී මම පාසැල් යන කාලේදී 

මොකක්ද චිත්‍රපටය? 

ආරියරත්න විතාන මහතා අධ්‍යක්ෂණය කළ ඉරැස්මා චිත්‍රපටය 

ක්ෂේත්‍රය තුළදී හමු වූ හොඳම මිතුරා සහ මිතුරිය?

මිතුරා කුමුදු නිශාන්ත. මිතුරිය කියලා විශේෂ කෙනෙක් නැහැ. මගේ සමකාලීන බොහෝ දෙනෙක් මගේ මිතුරියන්.

සාරංග රඟපෑ චරිත අතරේ වඩාත් කැමති චරිත? 

ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ හංස පිහාටු නාට්‍යයේ කිත්තා කියන චරිතය (කිත්රුවන්) සහ කළු කුරුල්ලා නාට්‍යයේ සුදු උක්කුන්ගේ චරිතයටත් රුක්මල් නිරෝෂ් අධ්‍යක්ෂණය කළ සුළඟ මත මොහොතක් කියන නාට්‍යයේ අසංග කියන චරිතයටත්.

කරන්න අාසාවෙන් ඉන්න ලැබුණොත් හොඳයි කියලා හිතෙන චරිතයක් තියෙනවාද?

දෘශ්‍යාබාධිත චරිතයක් ලැබෙනවා නම් මම කරන්න කැමතියි. මට තවම ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඉතින් ඒ වගේ සර්ව සම්පූර්ණ නැති අභියෝගාත්මක චරිතයක් කරන්න කැමතියි. 

සාරංග ජනප්‍රිය කෙනෙක්. ඉතින් ඒ ජනප්‍රියත්වය කරදරයක් වුණු තැන් තියෙනවාද?

සමහර වෙලාවට සමහර ප්‍රේක්ෂකයින් අපේ පෞද්ගලිකත්වයට අනවශ්‍ය විදියට එබිකම් කරන අවස්ථා තියෙනවා සහ අපි ගැන ඇත්ත නොදැන අන්තර්ජාලය හරහා විවිධ  ප්‍රකාශ නිකුත් කරන පිරිසකුත් ඉන්නවා. සමහර වෙලාවට ඒ අදහස් හරි පහත් විදියට ඒ අය යොදන්නේ. ඉතින් ඒ වෙලාවට නම් දන්න කියන චරිතයක් වීම ගැන පුංචි කලකිරීමක් ඇති වෙනවා. නමුත් ඊට වඩා මම හිතන්නේ අපේ නිර්මාණ රස විඳින ප්‍රේක්ෂකයින්ට වැඩි යමක් ලබාදීම.

ගායනය, රංගනය සහ නිවේදනයෙන් වඩාත් කැමති අංශය?

ඒක හරියට දරුවන් තුන්දෙනාගෙන් වැඩියෙන් ආදරේ කාටද කියලා ඇහුවා වගේ ප්‍රශ්නයක්. ඒකට මට උත්තරයක් දෙන්න අමාරුයි. පොඩි බරක් කැමැත්තක් තියෙනවා රංගනයට.

ආපසු හැරිලා බලද්දී ජීවිතය ගැන මොකද හිතෙන්නේ? 

ආපු ගමන ගැන විශාල සතුටක් තියෙනවා. හැලහැප්පිම් අභියෝග මැද ගමනක් ඇවිත් තියෙනවා. හරි ගිය තැන් වැරදුණ තැන් තියෙනවා. හැබැයි සමස්තයක් විදියට ගත්තම ඒ කාලේ පටන් ගත්ත තැන එක්ක බලද්දී සතුටක්. පෞද්ගලිකව මගේ ගැන බලද්දී විවේචනය කරලා බලද්දී රංගන ශිල්පියෙකු ලෙස පරිණතවීමක් පැහැදිලිව මමම දකිනවා. ඉතින් තවදුරටත් අත්දැකීම් ලබා ගනිමින් හොඳ චරිත ප්‍රතිනිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

Text- Anusha Rnasinghe / Pic — Sumudu