2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

VICEROY එක්ක රජ ගමනක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 156

ප්‍රේමවන්ත ඔහු - VICEROY
ඔහු තවම තරුණයි.
හදවතේ ගල් අඟුරු... ළතෙත් හිතක් නැති වුණත් අහසට නැඟෙන තරම් දුම් සුසුම්...

 

 සෙල්ලක්කාරයා...
අවුරුදු තිස් එකක් තිස්සෙ කී දෙනෙක්දෝ  එක්ක පැය ගණන් දවස් ගණන්  ඇවිද්ද ඇවිදිල්ලක්....
කොහේ වුණත් එයාට ප්‍රශ්නයක් නෑ... රේල් පාරක් තියෙන ඕනැ තැනකට ඕනැ දුරකට ඕනැ කෙනෙක් එක්ක සතුටින් ගමන ගිහින් එන්න එයා ok....
එයා යන හැටි... කොළ පාටට දිලිසෙන ගස්වැල් කඳුගැට අස්සෙන් හෝස් හෝස් ගාන හදවතේ දුම් සුසුම් දිගහැරුණු ලිහිල් වලාකුළු වගේ සැහැල්ලුවෙන් අහසට මුදා හරිමින් එයා යන හැටි.... ඒ කළු මූණේ වෙහෙසකර ලකුණක් කොහොම හොයන්නද? හැබැයි කා එක්ක කොහේ ගියත් එයාටත් අයිතිකාරයෙක් ඉන්නවා...

JF Tours 
ඒ තමා අයිතිකාරයා... ඒක ගිවිසුම්කාර අයිතියක්....
ගිවිසුම්කාරයාගේ නම CGR... මචං ලෙවෙල් එකෙන් කියනවනම් රේල්ලුව.
කොයි කසාදෙත් පොඩි පොඩි කොහු... නැද්ද....?
ලංකාවේ කසාද ඇතුළෙ විතරක් නෙමෙයි ලෝකෙ කොයි කොයි කසාද ඇතුළෙත් එහෙමලු...
JF සහ CGR දෙන්නගෙ ඔක්කොම ගනුදෙනු CLEAN AND CLEAR ලු.
මිලියන දෙකක විතර ගනුදෙනුවක් ඇරෙන්න
CGR ට JF ගෙන් එන්ට තියෙන පංගුව
දැන් ඒකත් දෙන්නා එක්ක සුහදව විසඳගෙන යනවලු....

Track එක පැන්නද මන්දා....

MR .HEMASIRI FRENANDO 
OWNER -JF TOURS 

අර ඔලිම්පික් කමිටුවේ සභාපතිකම් කරන HEMASIRI 
අගමැති ලේකම් ධුරයේ ඉඳලා රාජ්‍ය සේවයේ උසස් තනතුරු දරපු එයා ගැන එයාගෙ මචං සයිස් යාළුවො කියන කතාවක් තියෙනවා...
ඒ Mr. HEMASIRI ට කෝච්චි පිස්සුව තියෙන බවයි.
1980 මුල් කාලයේ අපේ රටට සංචාරකයෝ ආවේ හරිම අඩුවෙන්.

නාවික හමුදාවේ කොමාන්ඩර්වරයෙක් විදිහටත් රස්සාව කරපු MR. HEMASIRI දුම්රිය ගැන අධ්‍යනයක් කළේ පීලි දිගේ දුවන රෝද උඩ මැඳුරක් හදන අනාගත සිහිනයක එල්ලිලාමද මන්දා.
කොහොමහරි එංගලන්තයේ ක්ලිෆර්ඩ් ජෝන් කියන ප්‍රකට සංචාරක මාධ්‍යවේදියාට 1983 දී අපේ රටට එන්න කියලා කට්ටියක් ආරාධනාවක් කළා. ජෝන් ආවා.

ඒ ආව ජෝන්ට අහම්බෙන් දවසක හේමසිරි මුණගැහුණා. ජෝන්ටත් තිබුණා කෝච්චි පිස්සුව. අපි TOURISTලට හදමු කෝච්චියක් ක්ලිෆර්ඩ් කීවා. හේමසිරි හදවතින්ම හා කීවා. දෙන්නා කර ගැහුවෙ ධාවනයට නුසුදුසුයි කියලා භාවිතයෙන් ඉවත් කරලා තිබුණු, පරණ යකඩවලට කොටස් කර විකුණමින් තිබුණ එන්ජින් කීපයකට සහ අත්හැර දමා තිබූ මගී දුම්රිය මැදිරි කීපයකට. කොන්දේසි සහිතව CGR එකත් මේ අලුත් සංකල්පය ඇත්තක් කරන්න ලොකු සහයෝගයක් දුන්නලු. ඒ කාලෙ දුම්රිය සාමාන්‍යාධිකාරි වුණු MR.G.P.S.WEERASOORIYA ත්‍ මේකට හුඟක් උදවු කරලා තියෙනවා.

1986දී හීනය හැබෑවුණා. ගල්අඟුරුවලින් බලය නිපදවන එන්ජින් එකක් සහිත පීලි උඩ දුවන රෝද උඩ සුන්දර මැඳුර නිමවුණා.

ලංකාවේ SHOOT කරපු  ඉංග්‍රීසි චිත්‍රපටයක් තිබුණා. චිත්‍රපටය VICEROY THE FIRST MOUNT BATTEN. දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය කිරීටයට අයත්ව තිබූ රටවල යුද්ධය මෙහෙයවන්න අණ දුන්න සේනාංකාධිපති MOUNT BATTEN සාමිගේ කතාව. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ඇතුළු කට්ටිය ගමන් ගන්න දර්ශනයකට මේ කෝච්චිය යොදා ගත්තා. MOUNT BATTEN සාමිවරයට කීවේ ඒ කාලෙ ආසියාවේ ප්‍රතිරාජයා කියලා. ඉතින් මේ චිත්‍රපටය මේ කෝච්චියේ SHOOT කළ නිසා අර මම මුලින් කීව ජෝන් යෝජනා කරාලු ප්‍රතිරාජයා කියන තේරුම දෙන VICEROY තමා මේ කෝච්චියට හරියන නම කියලා.
රෝද උඩ චමත්කාරය VICEROY SPECIAL වුණේ අන්න එහෙමයි.

ලෝකයේ අනෙක් රටවල් ගණනක තියෙන PALACE ON WHEELS, ORIENT EXPRESS, VYJAYANTHI EXPRESS,DARJEELING EXPRESS,  GLACIER EXPRESS වගේ කී නොකී ලොකු අයියලත් එක්ක බලද්දී VICEROY පොඩි මල්ලියෙක් තමා. ඒත් අපේ පුංචි දූපත් රාජ්‍යයට නම් ඒ පොඩ්ඩා ප්‍රබල සංචාරක සලකුණක්.

ප්‍රේමවන්ත VICEROY.... ලෝකෙට පොඩ්ඩෙක් වුණත් එයා අපිට ලොක්කෙක් කියලා අපි කියන්නෙත් නිකම්ම නෙවෙයි. එකපාරක් ලංකාවට ආව සාක් ලොක්කො ටික මෙයත් එක්ක ඇවිද්දා රජ ඇවිදිල්ලක්. රජ ඇවිදිල්ලක් කීවෙත් නිකම්ම නෙවෙයි. රජෙකුත් ගිය හින්දා. ගියේ කොළඹ ඉඳන් බෙන්තොටට. රජෙක් කීවෙ භූතාන් රජතුමාට. එයා එක්ක තව ප්‍රභූ පිරිසක්ම එදා ඒ ගමන ගියා. අතල් බිහාර් වජ්පායි, ගිරිජා ප්‍රසාද් කොයිරාළ, නවාෂ් ෂෙරීෆ්, මවුමුන් අබ්දුල් ගයුම්, ෂීක් හසීනා, ඒ අතරෙ හිටියා.

අපේ පුංචි දිවයින විඳින්න එන සුදු නෝනා මහත්තුරු සමහරවිට VICEROY වෙන් කරගන්නේ දවස් විස්සෙ තිහේ සංචාරවලට. අපේ රටේ සංචාරකයන්ටත් ගියොත් FIT කියලා හිතෙනවා නම් VICEROY  එක්ක යන්න පුළුවන්. හැබැයි මුළු කෝච්චියම ගමනට වෙන් කරගන්න ඕනෑ කී දෙනෙක් ගියත්. ඉතින් අර දවස් ගණනක් ගමන් යන කට්ටිය දවල් තිස්සෙ කෝච්චියත් එක්ක රේල් පීලි උඩ දුවනවා. රෑට සොඳුරු නවාතැනක නවතිනවා. පහුවැනිදට ආයෙත් ගමන පටන් ගන්නවා. ඒ රැය පුරාවට VICEROY එයාගේ හදවතේ ගිම් නිවා ගන්නවා. උරහිසකට වාරුවෙලා නෙවෙයි, තනියෙන්. අඩ අඳුරෙ. රේල් පීලි උඩ නැවතිලා. දවල් තිස්සෙ ජීවිතේ බෙදා ගන්න කවුරු කවුරු හිටියත් හැම රැයකදීම මේ ප්‍රේමවන්තයා හුදකලාවේ.

ගිය අවුරුද්දෙ දවසක විදේශීය මාධ්‍යවේදීන් කට්ටියක්ම ආවා මෙයා එක්ක ලංකාවේ ලස්සන බලන්න යන්න. වායු සමනය කළ සුන්දර මැදිරියක සුවපහසු ආසන, පුංචි සාලයක් වගේ වෙච්ච පෙට්ටි දෙකක්, භෝජනාගාරයක්, AC වැඩි අනේ හිතුණොත් සිරුර උණුසුම් කරගන්න MINI BAR එකක්, මේ හැමදේම එක්ක කන බොන ගමන් හැටහතර දෙනෙකුට මේ කෝච්චියේ යන්න පුළුවන්.

ප්‍රේමවන්ත VICEROY. මාත් ගියා ඔහුත් එක්ක. කොළඹ ඉඳන් රඹුක්කනට. එයා මාව පිළිගත්තේ සුදු කපුරු PERFUME සුවඳක් එක්ක. මගේ මාධ්‍ය ජීවිතේ නා නා විධි දුම්රිය ගමන් එකතුවේ මතකයට  VICEROY TOUR එකේ මතකය එකතු වුණේ ඒ අපූරු කපුරු PERFUME සුවඳ එක්කමයි.

Text – Saara /   Pic — Sumudu Hewapathirane