2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

අැස්පිල්ලන් න‍ොගහා T.V එක දිහාබලන් හිටියා

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 434

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවන ඉනිම ටෙලි නාට්‍යයේත්, ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වන ප්‍රාණ ටෙලිනානාට්‍යයෙනුත් නයනතාරාව දැකබලා ගන්න පුළුවන්. කෙටි කලකින් මතක හිටිය මුහුණක් වුණ නයනතාරාව ප්‍රාණ රූගත කරන අතරතුරේදී මේ පුංචි කතාබහට අපි එකතුකරගත්තා.

නයනතාරාට ඇයි ඉස්කෝලේ යාළුවෝ නිමානි කියලා කතා නොකරන්නේ?
අනේ මන්දා... මගේ නම නිමානි නයනතාරා වුණාට ඉස්කෝලේ යාළුවෝ හැමෝම වගේ කිව්වේ නයනතාරා කියලයි. ඉතින් දැන් හැමෝම මට කියන්නෙත් නයනතාරා කියලයි. 

නයනතාරා පවුලේ එකම දරුවා. එහෙම නේද?
ඔව්... මම පවුලේ එකම දරුවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි, මායි විතරයි. තාත්තා නම් මුලදී මම මේ ෆීල්ඩ් එකට එනවට කැමති වුණේ නෑ. අම්මා තමයි මුල ඉඳන්ම මම මේ ෆීල්ඩ් එකට එන්න උදවු කළේ. අදටත් මගේ අම්ම එක්ක හැම රූගත කිරීමවලටම යන්න එනවා. දැන් නම් තාත්තත් මේ ෆීල්ඩ් එකට මම ආව එක ගැන සතුටු වෙනවා. ඉතින් ගෙදරින් දැන් මට ලොකු සපෝට් එකක් දෙනවා.

පාසැල් වේදිකා නාට්‍යයේ රඟපාපු නයනතාරා මේ කලාවට සම්බන්ද වුණේ කොහොමද?
ඉස්කෝලේ සාමාන්‍ය පෙළ විභාගය කළාට පස්සේ මම කලාවට සම්බන්ධ පාඨමාලාවක් හැදෑරුවා. ඒක මාස හයක පාඨමාලාවක්. ඒකෙන් අපි වේදිකා නාට්‍යයක් කළා. ඊට පස්සේ මට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මුලින්ම රෝහණ සමරදිවාකරගේ මීදුමෙන් එහා කියන වේදිකා නාට්‍යයේ මම රඟපෑවා. ඊට පස්සේ ඉතින් ටෙලිනාට්‍ය කීපයකම රඟපාන්න අවස්ථාව ලැබුණා. 

මේ ටෙලිනාට්‍යය දෙකේම නයනතාරා රඟපාන චරිත එකිනෙකට වෙනස්. එහෙම නේද?
ඔව්... ඒ චරිත දෙක පුදුම විදිහට වෙනස්. සමහර වෙලාවට මාව ගොඩක් කට්ටිය ඒ චරිතයත් එක්ක අඳුරගන්නේ නැතිකමකුත් තියෙනවා. පෙනුමෙනුත් මාව ඒ ප්‍රාණ නාට්‍යයෙන් වෙනස් කරලා තියෙනවා. දෙවැනි ඉනිමේ මම බොහෝම සැහැල්ලුවෙන් ඉන්න දඟකාර චරිතයක්. ප්‍රාණ එකේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. ප්‍රාණ එකේ බොහෝම නිහඬ හැඟීම්වලින් බොහෝ දේවල් කියවෙන චරිතයක්. 

මේ චරිත දෙකෙන් නයනතාරාට ගොඩාක්ම සමීප චරිතය මොකක්ද?
දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මි කියන චරිතය ඉස්කෝලේ යන වයසේ ඉන්න බොහෝම සැහැල්ලු චරිතයක්. ඉතින් මේ චරිතය මට මගේ ජීවිතයට ටිකක් සමීපයි. ප්‍රාණ චරිතය ටිකක් වෙනස්. ඒ චරිතය නිරෑපණය කරන්න අධ්‍යක්ෂකවරයා ඇතුළුව හැමෝම මට ගොඩක් උදව් කරනවා. ඒ හැර ඒ චරිතය මගේ අත්දැකීමක් තුළින් ගන්න දෙයක් නෙවේ. හැබැයි ඉස්කෝලේ ජීවිතේ අත්දැකීම් එක්ක දැහැමිගේ චරිතය මට ගොඩක් හුරුයි. 

ගෑනු ළමයෙක් විදිහට හැඩට ලස්සනට ඉන්න ආසයිනේ. වැඩිපුර කැමති මොනවගේ විලාසිතාවලටද?
ඇත්තම කියන්නම් මම එහෙම ලොකු විලාසිතාවලටනම් යන්නේ නෑ. මට ගැළපෙනවාය කියලා හිතන විලාසිතා මම කරනවා. ඉස්සර ඉඳන්ම මම එහෙම විලාසිතා පස්සේ ගියපු කෙනෙක් නෙවේ.

මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ ජීවිතේ ලබපු ලොකුම සතුට මොකක්ද?
මුලින්ම මම රංගනයෙන් දායක වෙලා මුලින්ම ඒක ටී.වී. එකේ දකින දවසේ මම ගොඩක් සතුටු වුණා. ඒ දැනිච්ච සතුට මට වචනවලින් විස්තර කරන්න බැරි තරම්. හැම තත්ත්පරයක්ම මම ඇස්පිල්ලන් ගහන්නේ නැතුව වගේ ඒ දිහා බලාගෙන හිටියා. අදටත් ටී.වී. එකේ මම මාව දකිද්දී දැනෙන්නේ ලොකු සතුටක්. සමහර තැන්වලදී හිතනවා අපරාදේ මෙතන මීට වඩා දැන් කරන්න පුළුවන් නේද කියලත්.

දැන් ඉතින් රඟපානවා.. කට්ටියක් ටිකින් ටික දන්නවා. ඒ අතරින් ජීවිතේට විශේෂ වුණු කෙනෙක් ඇතිනේද? නයනතාරාගේ පෙම්වතා ගැනත් ටිකක් කියමුද?
අනේ.. මට එහෙම කියන්න තාම පෙම්වතෙක් නැහැනේ. ඇත්තමයි මේ කියන්නේ. තාම මම පෙම්වතියක්නම් නෙවේ. ඉස්කෝලේ යන කාලේදීත් මට එහෙම පෙම්වතෙක් කියලා කෙනෙක් හිටියේ නෑ. හැබැයි ඉස්කෝලේ යන කාලේදී මට හොඳ පිරිමි යාළුවෝ නම් ඉඳලා තියෙනවා.

මොනවද නයනතාරාගේ තියෙන බලාපොරොත්තු?
දැන් මම බොහෝම පුංචි ගමනක් ඇවිත් තියෙනවා. ආසයි තව ටික දුරක් යන්න. හැබැයි ඒ ගමන යන්න මට හදිසි නෑ. මට ඕනේ හොඳ නිර්මාණයන්ට දායක වෙලා ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම යටතේ මේ ගමන යන්නයි. මේ තාක් මම වැඩකරපු හැම කෙනෙක්ම මට ගොඩක් උදවු කළා. ඒ හැමෝටම ස්තූතියි.  

Text — Jayamali / Pic - Sumudu