2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

මටත් එක එක සිප්පි මුණගැහෙනවා

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 219

ඔහු වේදිකාවත් පුංචි තිරයත් රිදී තිරයත් එකසේ ජය ගත් රංගන ශිල්පියෙකි. ස්වකීය රංගන වපසරිය තුළ සිය උපරිමම ශක්‍යතාව පෙන්වන අතළොස්සක් නළුවන් අතර ඔහු සුවිශේෂීය. ඔහු නමින් ජගත් චමිලයි. අද හදසර කතා බහ ඔහු සහ ඔහුගේ නිර්මාණ ගැනය.

මේ දවස්වල මොනවද කෙරෙන වැඩ කටයුතු? 
මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයක් හා වේදිකා නාට්‍ය කීපයකට සම්බන්ධවෙලා ඉන්නවා. සෝමවීර සේනානායකගෙ එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු නම් අවසන් වුණා. හිස් අහස යට කියන ටෙලිනාට්‍ය ආරම්භ කරලා තියෙනවා. ඔක්කොම හොඳටයි කියන ප්‍රහසන ටෙලිනාට්‍යට සම්බන්ධ වෙලා ඉන්නවා. අසංක සායක්කාරගේ සංඝදාසගෙ චූටි කලිසම වේදිකා නාට්‍යයටත් චාලක රණසූරියගෙ මාරක ළිඳේ සවාරියක් වේදිකා නාට්‍යත් සුදත්ත තිලකසිරිගෙ දෙබිඩි බ්‍රෝ වේදිකා නාට්‍යයේත් රඟපානවා. ධම්ම ආරියවංශගේ පෞද්ගලිකයි රහසිගතයි කියන වේදිකා නාට්‍ය පටන් අරන් තියෙනවා. තව ටෙලිනාට්‍යයක රූගත කිරීමකට මම විදේශගත වෙන්න ඉන්නෙ.

මේ දවස්වල ඔබ ගැන වැඩියෙන් කතා වෙන්නෙ එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍යයෙ උපගුප්ත චරිතය හරහා. මෙවැනි චරිතයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ? 
එකගෙයි මිනිස්සු ටෙලිනාට්‍ය විකාශය වීම හරහාම උපගුප්ත චරිතය සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක්වෙලා තියෙනවා. ඒක තමා අවසන් ප්‍රතිඵලය. ඒක සාර්ථකයි. ඒත් එක්කම පොදුවේ උපගුප්ත චරිතය මිනිස්සු කතා කරනවා. උපගුප්තගෙ චරිතයේ තියෙන විශේෂත්වය නාට්‍යයේත් තියෙනවා. කාලාන්තරේකට පස්සෙ එකගෙයි මිනිස්සු නාට්‍ය ගැන හොඳ කතිකාවතක් ප්‍රේක්ෂකයන් අරන් තියෙනවා. ඒ අතරෙ මේ නාට්‍යයේ ඉන්න අනික් චරිත ඔක්කොමත් එක එක විදිහට මිනිස්සුන්ගෙ සිත් ඇඳ බැඳගෙන තියෙනවා. මම කියන්නෙ මේක හරි විශේෂයි. මේ පිටපත ලියන්නෙ විෂයානුකාරණා සම්බන්ධයෙන් උපරිම තලයට පත් වෙච්ච රචකයෙක්. ඔහු සෝමවීර සේනානායක. ඔහුගේ පෑන් තුඩින් ලියවෙන හැම අකුරකටම නිශ්චිත අර්ථයක් තියෙනවා. මේක ඇවිල්ලා එලිමන්ට්ස් එකක්. මේ ලෝක ධාතුව නිර්මාණය වෙලා තියෙන්නෙ සතර මහා භූතයන්ගෙන්. අපි හැමෝමත් නිර්මාණය වෙලා තියෙන්නෙ මේකෙන්. ඒකෙ තියෙන අනුපානවල වෙනස්කම් මත තමා පුද්ගලයාගෙන් පුද්ගලයා වර්ගීකරණය වෙන්නෙ. මෙන්න මේ අනුපානවල කොටසක් තමා උපගුප්ත. මම පිටපත කියවලා මගේ දරුවො දෙන්න බිරිය ඉස්සරහ උපගුප්ත චරිතය රඟපෑවා. මගෙ දරුවො හිනා වුණා. අන්න ඒ තමා සාමාන්‍ය ප්‍රේක්ෂකයන්. නමුත් මගේ බිරිය කියනවා මේකෙ ඇල්ලෙන කෑල්ලක් තියෙනවා කියලා. ඒක මගෙ දරුවන්ගෙන් ගන්න බෑ. මගෙ බිරිඳ මේ සමාජය පරිභෝජනය කරමින් පැමිණි කාන්තාවක්. ඇය මේකෙ ව්‍යංගාර්ථය තේරැම් ගන්නවා. අද මම උපගුප්ත චරිතය ප්‍රේක්ෂකයාට බාර දීලා ඉවරයි. මම දැන් සාමාන්‍ය මනුස්සයෙක්. 

මම කරන චරිතවලට වශී වෙන්න එපා. ඇළුම් කරන්න එපා

ඔබ රංගනයේදී චරිත තෝරා බේරාගන්නවාද?
චරිත තෝරා බේරාගෙන රඟපාන්න පුළුවන් සමාජ තත්ත්වයක ආර්ථික මට්ටමක නෙමෙයි අපි පය ගහලා ඉන්නෙ. මම චරිත තෝරා බේරාගෙන රඟපානවනම් ඇයි ජගත් චමිල අර වගේ චරිත රඟපාන්නෙ කියන ප්‍රශ්නය මගේ ප්‍රේක්ෂකයන්ට ඇති වෙන්නෙ නෑ. අපි මේ අපායෙ කුණු වෙවී ඉඳගෙනම ඒ වගේ හීන මාතෘකා කතා කරනවා. අපි තනිකරම ඉන්නෙ අසූචි වළක. පරිභෝජනය වෙනුවෙන්ම සමස්තය හැදුණු රටක ක්‍රමවේදයක් ඇතුළෙ අපි ඉන්නෙ. ඉතින් කොහොමද චරිත තෝරා බේරාගෙන රඟපාන්නෙ. 

ඔබ මේ වෙද්දී සංඝදාසගෙ චූටි කලිසමේ සංඝදාස හැටියටත් මාරක ළිඳේ සවාරියක් ජිනදාස හැටියටත් වේදිකාවට එනවා. මේ චරිත දෙකම හාත්පසින් වෙනස්. කොහොමද ළඟ ළඟ ඒ වගේ වෙනස් චරිතවලට යන්නෙ? 
ඔයා මගේ දෙබිඩි බ්‍රෝ බැලුවොත් ඒක මේ දෙකටම වඩා හාත්පසින් වෙනස්. ප්‍රහසනය පමණක් කොටු කරගත් නාට්‍යයක් තමා දෙබිඩි බ්‍රෝ. මම බය නැතුව කියනවා මගෙ විෂය කාරණා ඇතුළෙ මම සන්නද්ධයි. ඒ නිසා චරිත තෝරා බේරාගැනීම පිළිබඳ මට ප්‍රශ්නයක් නෑ. මට අවශ්‍ය කරන බඩු ටික මා ගාව තියෙනවා. මගෙ විෂය තාම මම පරිශීලනය කරනවා. මට ලැබෙන ඕනෑම චරිතයක් කරන්න පුළුවන් බඩු ටික මා ගාව තියෙනවා. මම සන්නද්ධ කරගෙන ඉන්නෙ ඒ බඩු ටික. මම විෂය ඇතුළෙ වල් පල් එකතු කරන්නෙ නෑ. එක එක ගොසිප්වල නම් හදාගෙන මට ජනප්‍රිය වෙන්න ඕනි නෑ. මා එක්ක දුක සැප බෙදාගෙන ඉන්න පුළුවන් ගෑනියෙක්ව මම කසාද බැඳගෙන තියෙනවා. මට ලස්සන පවුලක් තියෙනවා. මගෙ පැවැත්මට මට ගොසිප් ඕනි නෑ. පැවැත්මට ඕනි විෂයානුබද්ධ අවි ආයුධ ටික. මම ඒ ටික සම්පාදනය කරමින් ඉන්නෙ.

මම විමුක්තිය හවේව‍ෙ රංගනයෙන් න‍ෙවෙයි

සැමීගේ කතාව වගේම ස්වයංජාත තරමක් සමාන නිර්මාණ දෙකක්. සැමීගේ කතාව චිත්‍රපටයේ මොනයම් හෝ බලපෑමක් උනාද ස්වයංජාත ටෙලිනාට්‍ය සඳහා.
අපි හැම නිර්මාණයක්ම දකින්න පුරුදු වෙලා ඉන්නෙ බාහිරින්. විභූතිව අභ්‍යන්තරව දැකපු කෙනෙක් සහ සැමීව අභ්‍යන්තරව දැකපු කෙනෙක් ඔහොම අහන්නෙ නෑ. විභූති කියලා කියන්නෙ දැනුමෙන් සන්නද්ධයි. ඔහු විරූපී පුද්ගලයෙක්. විරූපී වුණත් පරිකල්පනය අතින් ඔහු ඉතා ඉහළයි. සැමී කියන්නෙ ස්වභාව ධර්මයාට ආවේණික වෙච්ච මානව දයාව පිරිච්ච ව්ශ්වයෙ එකම ශක්තිය වුණු මව්කිරිවලට ආදරේ පුද්ගලයෙක් සැමීගේ ප්‍රකාශන විභූතිට වඩා වෙනස්. ඔහුව පෝෂණය කරන්නෙ ස්වභාව ධර්මයේ ශක්තීන්.

ඔබ ලෝකෙන්ම හොඳම නළුවා වෙච්ච රංගන ශිල්පියෙක්. වේදිකාව ටෙලිනාට්‍ය චිත්‍රපට මේ ත්‍රිත්වයෙන් ඔබ වඩාත් කැමති කුමකටද?
ඊට කලින් මට පොඩි නිවැරැදි කිරීමක් කරන්න තියෙනවා. ලෝකෙන්ම හොඳම නළුවා කියලා කියන්නෙ බොහොම ආදරණීය ප්‍රකාශයක් විතරයි. ජගත් චමිල කියන රංගන ශිල්පියාට මේ රටේ මිනිස්සු ආදරෙයි. ඔහුව නියෝජනය කරගත්තු ප්‍රකාශනයක් තමා ඔය කියන්නෙ. ඕක විෂයානුකාරණාවක් විදිහට ගත්තොත් ලෝකෙ තියෙන තැනට විෂය තියෙන තැනට මට තව ආත්ම ගාණක් මේ විෂය ඇතුළෙ මැරී මැරි ඉපදෙමින් එන්න වෙනවා. ඒ නිසා ආදරණීය ආලේපනය ඇතුළෙ ඕනිම කෙනෙකුට මට කියන්න පුළුවන් ලෝකෙන්ම හොඳම නළුවා කියලා. හැබැයි විෂයානුබද්ධව කතා කරනවානම් ජගත් චමිල කියන්නෙ නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානෙ දිනා ගත්ත තවත් එක රංගන ශිල්පියෙක් විතරයි.

මා එක්ක දුක සැප බෙදාගෙන ඉන්න පුළුවන් ගෑනියෙක්ව
මම කසාද බැඳගෙන තියෙනවා

සමහර විට මට වඩා හාත්පසින් වෙනස් උත්තර මේ විෂයෙ ඉන්න අනිත් අයට තියෙන්න පුළුවන්. හැබැයි මම හරිම ප්‍රාථමික මනුස්සයෙක්. මා ගාව තියෙනවා ඕනෑම අවස්ථාවකට භාවිත කරන්න පුළුවන් අවි ආයුධ ටිකක්. යුද ආයුධ ක්ෂේත්‍රයේ හඬ නොනැගෙන්න වෙඩි තියන්න පුළුවන් ආයුධයක් තියෙනවා නම් මා ගාව තියෙනවා හඬ නොනැගෙන සේ වෙඩි තියන්න පුළුවන් රංගන ක්‍රම වේදය ඇතුළෙ හොයාගත්ත තාක්ෂණ විද්‍යාවට අනුව භාවිත කරන්න පුළුවන් උපක්‍රම. මේක මහා සාගරේ වගේ විෂයක්. මම ඒකෙ කිමිදෙද්දී මට එක එක සිප්පි මුණගැහෙනවා. 2005 රාජ්‍ය නාට්‍ය උළෙලේ දොන් ජුවන් නාට්‍යයේ යමසිංහ චරිතෙට මට හොඳ ම නළුවා සම්මානය ලැබෙනවා. ස්වයංජාත ටෙලිනාට්‍යයෙ විභූතිරත්න චරිතෙට මට හොඳම නළුවා සම්මානෙ ලැබෙනවා. සැමීගේ කතාව චිත්‍රපටයේ මට හොඳම නළුවා සම්මානෙ ලැබෙනවා. මම ඔය තුනෙන් කෝකටවත් විශේෂත්වයක් දක්වලා නෑ. 

වෘත්තිමය නළුවෙක් විදිහට ආපහු හැරිලා බලද්දී ඔබ සාර්ථකයිද?
මම එක්තරා අරමුණක් වෙනුවෙන් අවුරුදු ගාණකට කලින් නළුවෙක් වෙන්න එන්නෙ. ඒක සුන්නද්ධූලි වෙලා ඉවරයි. අවුරුදු ගාණකට කලින් ඒ අරමුණ සුන්නද්ධූලි වෙලා යන න්‍යෂ්ටික බෝම්බෙ පිපුරුවා. මගෙ ජීවිතේ විමුක්තිය මම හෙව්වේ රංගන ශිල්පය ඇතුළෙ නෙවෙයි. මම මගෙ ප්‍රේක්ෂකයන්ට කියන්නෙ මම කරන චරිතවලට වශී වෙන්න එපා. ඇළුම් කරන්න එපා.

අනාගතයේ මොනවාද කරන්න ඉන්නෙ?
අනාගතේ කොහෙද තියෙන්නෙ කියලා කියන්න. එතැනදි මම කියන්නම් මොනවද කරන්නෙ කියලා 

ඔබේ පෞද්ගලික ජීවිතේ තොරතුරු කිව්වොත්?
මගෙ බිරිඳ දරු දෙන්නා එක්ක මම හුස්ම තියෙනකල් ජීවත් වෙනවා. මගෙ තාත්තා අපිට උපරිම නිදහස දුන්නා. මාත් මගෙ දරුවන්ට නිදහස දීල තියෙනවා. ඒ ගොල්ලො මොන මට්ටමින්ද ජීවත් වෙන්න ඕනි කියලා ඒ ගොල්ලො තේරුම්ගයි.

Text – Thanu /  Pic — internet