2021 මාර්තු 06 වන සෙනසුරාදා

මගේ හිතේ අතීත රිදුම් පිරිමදින ගීතයක්

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 321

- හරිත් වාසල

කවි ගී සේම කතා ගොතන්නටද අකුරු ගෙත්තම් කරන හෙයින් ඔහු ලේඛකයෙකි. ජීවන රඟමඬලේ රංගන ප්‍රකෘතියෙන් ඔබ්බට නෙක චරිතයන් හා ආවේශ වන හෙයින් තවත් අතෙකින් ඔහු නළුවෙකි. කැලණිය සරසවියෙන් සාර සිප් සොයා ගිය ගමනේදී උකහාගත් සිප් කිරෙන් දරුවන්ගේ මනස පොහොසත් කරමින් ලෝකයට ආදරය කරන්නට දරු කැලකට මඟ කියන හෙයින් ආදරණීය ගුරුවරයෙකි.
හරිත් වාසල...

අද මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන්නට මගේ ඇරයුම් ලද්දේ එකී සියල්ලේ අයිතිකාරයාය.

හරිත් ඔබව වඩාත් සහකම්පනයට පත්කළ ගීත අතුරින් ඔබට වඩාත් හෘද සංවේදීව දැනුණු ගීතයක් තෝරාගන්න කීවොත් මොකක්ද ඔබේ තේරීම?
මම මෙහෙම උත්තරයක් දෙන්නම්. ප්‍රේමකීර්ති ද අල්විස් ප්‍රවීණ ගී පද රචකයා අතින් ලියැවුණු භාවපූර්ණ ගී පදවැල් සමඟ වික්ටර් රත්නායක ප්‍රවීණ ගායකයාගේ  මියුරු හඬ එක්වුණාම ඒ සුසංයෝගය මට දැනෙන්නේ සහ මම විඳින්නේ භාවනාවක් වගේ. ඒ තරමටම මම ප්‍රියකරන තවත් ගායකයෙක් තමා කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා. එතුමාගේ හඬ තුළින් ධ්වනිත වන විප්‍රලම්භ ශෘංගාර රසය හරිම භාවාත්මකයි. අතීත ප්‍රේමයේ රිදුම් හරි අපූරුවට පිරිමදින හඬක් එතුමාට තිබෙනවා. එහෙයින්ම ඔහු ගැයූ සුළඟ නුඹ වගේ, ඔබට වරම් නැති මටද වරම් නැති, පෙම්කවක් ලියූ නුඹ සිත් අහසේ වැනි ගීවලට මම හුඟාක් ප්‍රියයි.

මගේ මේ අප්‍රමාණ ගීත රසිකත්වය අතරින් මම මගේ නොවන මගේම ගීතය විදිහට තෝරාගන්නේ ඉන්ද්‍රසිරි සුරවීර ගී පද රචකයා ලියූ කරුණාරත්න දිවුල්ගනේ සංගීතවත් කර ගැයූ සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත් කියන ගීතය.
ගීතය කෙරේ ඔබ තුළ වන ළෙන්ගතු බැඳීම අතුරින් මේ ගීතය ඉහළම තැනක ඔසවා තබන්න තරම් සුවිශේෂ වූ හේතු ගැන අපි කතා කරමු.

සිංහල ගීතාවලිය තුළ පේරාදෙණිය සරසවිය ප්‍රස්තුත කරගෙන ගීත බොහොමයක් ලියැවී තියෙනවා. හැබැයි සබරගමුව සරසවිය කේන්ද්‍ර කරගෙන අපේ හෙළ ගීතාවලිය තුළ නිර්මාණය වූ ගීත ඉතා අල්පයි. සබරගමු සරසවිය වටා සොඳුරු චමත්කාර පරිසරය තුළ සැරිසරමින් ලියැවුණු ගීතයක් ලෙස මට සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත් ගීතය දැනෙන්නේ. මම කීවා වගේ ප්‍රේමයේ රිදුම් දුන් අතීත මතක හෙමි හෙමින් පිරිමදින කටහඬකින් ගැයෙන මේ ගීතය අහද්දී අපේ ජීවිතවලත් සැඟවී ඇති ප්‍රේමයේ රිදුම් දුන් අතීත මතක යළි ඇහැරවෙන වග මට දැනෙනවා. ඒ ගීතයේ පද දහරාව ඒ තරමටම භාවාත්මක සොඳුරු ප්‍රකම්පනමය ගුණයකින් පරිපූර්ණයි. රෑපාර්ථ, පුනරුච්ඡාරණ ගුණය මේ ගීතය තුළ කදිමට විවරණය වී තිබෙනවා. මේ ගීතය පද, සංගීතය කටහඬ යන සෑම අංගයකින්ම පූර්ණ ගීතයක්.
බොහෝවිට අපි කලා නිර්මාණ හා හෘද සංවේදීව රුඳෙනවා අපේම අත්දැකීම් එක්ක. මේ ගීතය අහද්දී ඔබේ ජීවිතයේ අතීත ප්‍රේමණීය මතකයක් ළඟ ඔබ ඇත්තටම නවතිනවාද? ඔබ කැමතිද ඔබට දැනෙන ඔබේම අත්දැකීමක් එක්ක මේ ගීතය ගැන කතා කරන්න.

මගේ ජීවිතයට සියයට සීයක් සම්බන්ධ දෙයක් මෙතැන නැතිවෙන්න පුළුවන්. සැබෑ කලාකරුවෙක් කියන්නේ අනුන්ගේ දුකක් වේදනාවක් සතුටක් තමන්ගේ කරගන්න පුළුවන් තරම් දයානුකම්පී සහ අතීශය සංවේදී කෙනෙක්. කාලයකට පෙර මම ගියා සබරගමුව සරසවියට. ඒ ගියේ මගේ යාළුවෙක් එක්ක කලා කටයුත්තකට. එදා රූ අපි බීර වීදුරුවක් තොල ගාන ගමන් කතාබහ කළ දේවල් අතර මේ ගීතයත් එක් ප්‍රස්තුතයක් වුණා. ඒ වෙලාවේදී අපේ ජීවිතවලත් යම් යම් තැන් ඒ ගීතය ස්පර්ශ කරනවා කියන හැඟීම මට දැනුණා. මම දැන් තනිකඩයෙක්. ඒත් මම පෙම්වතෙක් වුණු සන්ධියේ ප්‍රේමය විඳිද්දී ප්‍රේමය හා ගනුදෙනු කරද්දී රිදුම් දුන් තැන් හරි අපූරුවට මතකයට එනවා. අතීත ආවර්ජනයකට මේ ගීතය එදා රූ අපිව අරගෙන ගියා. ප්‍රේමයේ විරහව භුක්ති විඳින්නන් තුළ පවතින්නා වූ ආත්මීය වේදනාව හරි අපූරුවට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් ගීතයක් විදිහට තමා මේ ගීතය මට දැනෙන්නේ.

ගීතයක් අහද්දී ඒ ගීතයේ පද සමුච්චය තුළ හදවතේ ගැඹුරටම දැනෙන තැනක් අපට හමුනොවන්නේ නැති තරම්. මේ ගීතයේ ඔබට වැඩිපුරම දැනෙන තැන කුමක්ද?
පෙර දින අප හමුවූ තැන - නටබුන් පමණකි කඳුළක
කඳු අතරේ වලා රොදක  ඔබ සැඟවීලා..... මේ පද ටිකට මම හරි කැමතියි.

ඒ කැමැත්තට හේතුවත් අපි කතා කරමුද?
පෙර දින අප හමුවූ තැන නටබුන් පමණකි කඳුළක... නටබුන් කියන්නේ ජීවිතයේ අපි සංරක්ෂණය කරන දේවල්. නටබුන් නැවත අලුත් කරන්නත් බෑ. නටබුන් යනු නටබුන්ම පමණයි. එහෙයින් මහා වටිනාකමක් නිර්ලෝභීවම ප්‍රදානය කරමින් අපි නටබුන් සංරක්ෂණය කරනවා. ඔහු විඳි ප්‍රේමයේ සුවඳ ඔහුට යළි නොලැබෙතත් ඔහු එය භක්ත්‍යාදරයෙන් සංරක්ෂණය කරගෙන තියෙනවා. ඒ සුවඳ අලුත් කරගන්න බැරි වුණාට ඒ අතීත සුවඳ තුළ ඔහු ජීවත් වෙනවා. මේ ගීතය ඇතුළේ තියෙන්නේ විශ්වවිද්‍යාල පෙම් කතාවක්. විශ්වවිද්‍යාලය තුළ ඔහුට ප්‍රේමයේ සරසවිය වුණේ ඇය වෙන්න පුළුවන්. ඔහුට ප්‍රේමය නම් කුමක්දැයි කියා දෙන්න ඇත්තේ ඇය. කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා.... කියලා කියද්දී.... වළාකුළු අපිට අල්ලන්න බෑ. මේ ගීතය ආරම්භයේම තියෙනවා ලස්සන සංකේතාත්මක පද දෙකක්. සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්.... තරුණයාගේ හදවත පුරවන්නේ ඇයගේ ප්‍රේමයෙන්. එහෙම ආදරය දුන් කෙනා අද ජීවිතයේ නටබුන් අතරට එක්වී අවසන්.
පෙර දින අප හමුවූ තැන - නටබුන් පමණකි කඳුළක
ඇය හැර ගියත් ඇය සදාතනිකව හදවතේ ලැගුම් ගෙන සිටින බව මේ ගීතයේ හැම තැනකදීම පුනරුච්ඡාරණය කරනවා. සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා... විඳි ප්‍රේමයේ සුවඳ ඔහු හැර නොගොස් හැමදාම ඔහු තුළ තියෙනවා.

ප්‍රේමයේ අවසානය විවාහයකින්ම කෙළවර විය යුතුයි කියන සම්ප්‍රදායිකත්වය ඔබ පිළිගන්නවාද?
නැහැ.... ප්‍රේමය විවාහයකින්ම කෙළවර විය යුතුයි කියලා මම හිතන්නේ නැහැ. එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්යතුමා ලියූ මළගිය ඇත්තෝ නවකතාවේ ප්‍රශ්න කරනවා ප්‍රේමය විවාහයකින් කෙළවර විය යුතුද කියලා. ප්‍රේමය විවාහයෙන් කෙළවර නොවුණාට ආදරයේ මතක සුවඳ සදාතනිකව අප තුළ තියෙන්න පුළුවන්. සුවඳ හදවතේ රඳවන්න තරම් ආදරයක් මට තාම ජීවිතයේ මුණ නොගැසුණාට මේ ගීතය තුළින් දනවන ඒ හැඟීම ගැඹුරු සහකම්පනයකින් විඳින්න මට පුළුවන්. භෞතිකව අප අත්හැර යන ඇතැම් දේවල් ආධ්‍යාත්මිකව අප අත් නොහැර අප සමඟම නිරන්තරයෙන් හුස්ම ගන්න බව මම විශ්වාස කරනවා.
ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්....

ආදර කඳු තරණය කරන්න අමාරුයි. කන්ද තරණය කරද්දී අතරමඟදී වෙන්වී ගියා නම් ඒ රිදුම ඒ හැටි දැනෙන්නෙ නැහැ. අත්පත් කර ගැනීමට නොහැකි වුවත් අයිතියක් හඟවන්න බැරි වුණත් ආදරය මේ තරමටම දැනෙන්නේ ආදර කන්ද තරණය කරමින් ඒ දුෂ්කර ගමන එකට ගිය හින්දා.

මේ ගීතය ආදරයේ සැබෑ ධර්මතා ගැන කතා කරන ගීයක් බව ඔබට හැඟෙනවාද? ඒ ධර්මතා අද්‍යතන පරම්පරාව තුළ ඇත්තටම ඔබ දකිනවාද?
ආදරයේ විරහව, වේදනාව උපේක්ෂාවෙන් දරාගන්න තරුණයෙක් මේ ගීතය ඇතළේ හුස්ම ගන්නවා. වර්තමාන තාරුණ්‍යය පිළිබඳව විමසද්දී ඒ ධර්මතා ඔවුන් තුළ බෙහෙවින්ම අඩු ප්‍රවණතාවක් තමා දකින්නට ලැබෙන්නේ. වර්තමාන බහුතර තාරුණ්‍යය නිරන්තරයෙන් තාක්ෂණික කාරණාවන් සමඟ බද්ධ වීම තුළ ඔවුන් කෙරෙන් ගීතය සහ සාහිත්‍යය වැනි සියුම් රසවින්දන මාධ්‍යයන් දුරස් වී ඇති බවයි මට හැඟෙන්නේ. 
විප්‍රලම්භ ශෘංගාරය කියන්නේ කලාවේ එක් සොඳුරු ඉසව්වක්. ගීතය සාහිත්‍යය තුළින් ඒ රස උකහාගෙන වින්ද හදවත්වලට විරහව සැබෑ ජීවිතයේදී උපේක්ෂාවෙන් දරාගන්න පුළුවන්. ගීතයේ රස සමඟ ප්‍රකම්පනය විය හැකි හදවතකට සහකම්පන ගුණයෙන් ගීතය සාහිත්‍යය වැළඳගන්න පුළුවන් හදවතකට නියත දහම ළඟ අවසඟව නොයා ඉන්න පුළුවන්.

තාරුණ්‍යයේ ඒ ඍණාත්මක වෙනසට වගවිය යුත්තේ කවුරුන්ද?
හරසුන් දේ ඔස්සේ නිරන්තරව අවිචාරවත්ව යාන්ත්‍රිකව බලපෑම් කරන බහුතර මාධ්‍ය ඊට වගකිව යුතුයි. සෞන්දර්යාත්මක සංවේදනාවන් මානව සන්තානය අභ්‍යන්තරයේ පැලපදියම් කරන්නට මාධ්‍ය යම් වෑයමක් දරනවා නම් ඇත්තටම ඒ වෑයම හරි අපූරුයි සහ ප්‍රශංසනීයයි. මව්පිය ගුරුවර චින්තනය වගේම අපේ අධ්‍යාපන ක්‍රමවේදයත් වෙනස් විය යුතුයි. සෞන්දර්ය තුළින් මානව මනස පුදුමාකාර විදියට පෝෂණය කරනවා. සුන්දර සංවේදී සමාජයක පදනමට ඒ ආධ්‍යාත්මික පොහොසත්කම් අත්‍යවශ්‍යයි.

ගීත රචනය යනු කලාවේ එක් ගැඹුරු ඉසව්වක්. ගීත රචකයා යන්න ඔබ දකින විදිහ කෙබඳුද?
කවිය හා ගීතය කියන දෙකේ වෙනස අපි මුලින්ම තේරුම් ගත යුතුයි. කවිය තුළින් ඕනෑම දෙයක් ඕනෑම දුරකට කියන්න පුළුවන්. හැබැයි ගීතයකදී අල්ප කාලයකදී විසල් ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතුයි. පද සමුච්චය අතිශය ප්‍රබල විය යුතුයි. ගීතයක සමහර පද තියෙනවා ඒ පද අපිව පැහැර ගන්නවා.

ගී රචනයේදී අලුත් වචන ඕනෑ. ඊට ඇති මඟ තමා පොතපත පරිශීලනය. ඒ වගේම බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසුන් ඇසුරු කළ යුතුයි. හොඳ ගීත සහ කලා නිර්මාණ රසවිඳිය යුතුයි. ගී රචනය මම දකින්නේ සතතාභ්‍යාසය, ව්‍යුත්පත්තිය සහ ප්‍රතිභාව යන තුන් වැදෑරුම් කාරණාවන්හි සුසංයෝජනයක් විදිහට. ගීත රසවින්දනය ඉතා ප්‍රබල දෙයක්. එය ජීවිතය කියවීමක්. ගීත රසවින්දනය ඇත්තටම භාවනාවක්. කෙටි මං හොයන්නෙ නැතුව මේ මඟ දිගේ යන්න කියලා මම තාරුණ්‍යයෙන් ඉල්ලන්නේ.