2021 මාර්තු 06 වන සෙනසුරාදා

මගේ කේන්දරේට කැපෙන බලවත් කේන්දරයක් තිබුණෙ නෑ...

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

අද හදසර තනිකඩයා විශේෂාංගය තුළින් ඔබ හමුවන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වන පුෂ්පා රම්‍යාණි සොයිසා. වසර 20කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙන පුෂ්පා අද ජාතික පුහුණුකිරීමේ නිලධාරිනියක ලෙස කටයුතු කරන්නීය.

කොරෝනා තත්ත්වයත් සමඟ ඔබේ වෘත්තීය ජීවිතේ කාර්යබහුලත්වය ගැන මුලින්ම කතා කරමුද?
ඇත්තටම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට රෝගීන් ලක්ෂයකට වඩා පැමිණෙනවා. මේ නව ගොඩනැගිල්ල ඉදිකෙරුණෙ 1991 වසරේදී. මෙහි මුල්වරට Triage සංකල්පයට අනුව රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කළා. ලංකා ඉතිහාසයේ මුල්වරට තමයි මෙවැනි සංකල්පයක් හඳුන්වලා දුන්නෙ. මේ සංකල්පයේ මුල්ම හෙදිය හැටියට මාව හඳුන්වා දුන්නා. ඒ වගේම ජපානය, අමෙරිකාව ඇතුළු රටවල් 10ක විතර මේ සඳහා අවශ්‍ය විශේෂඥ පුහුණුව මට ලබාදුන්නා. ඒ අනුව තමයි මම ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී තනතුරට පත්කළේ. 1991/1992 වසරවල මේ අලුත් ගොඩනැගිල්ල මිලියන 600ක මුදලක් යොදා ෆින්ලන්ත රජය තමයි හැදුවෙ.

මම හෙදියක් හැටියට විවිධ අංශවල සේවය කරලා තිබුණා. මේ තනතුර සඳහා බලධාරීන්ට ඕන වුණේ හොඳ සන්නිවේදන හා නිපුණත්වයක් තියෙන කෙනෙක්. මේ කාරණා නිසයි මට මේ තනතුර ලැබුණෙ. ඒත් ලංකාවට මේ සංකල්පය මුල් කාලෙ හුරුවෙලා තිබුණෙ නැහැ. හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කරන ලෙඩ්ඩු අසාධ්‍යයද, නැද්ද ඒ අය යොමු කරන්න ඕනෙ මොන දොස්තරවරයාටද කියන දේවල් මගේ වෘත්තීය වගකීම්වල ප්‍රධාන කොටසක් වුණා. වෘත්තියෙන් හෙදියක් වීම නිසා මට මුල් කාලෙ ගැටලු රැසකට මූණ දෙන්න සිද්ධ වුණා.

මාව නිතරම රෑපවාහිනී නාලිකාවල දකින්න ලැබෙන කොට ගොඩක් අය විවිධ කතන්දර කිව්වා. ඒත් මම කළේ මගේ වෘත්තියට අදාළ රාජකාරිය විතරයි. ඒ සඳහා විශේෂඥ පුහුණුව ලබපු එකම හෙදිය මම. විශේෂඥ වෛද්‍යවරුන්ට තියෙන ගරුත්වය මේ රටේ විශේෂඥ හෙදියකට ලැබෙන්නෙ නැහැ. මම කරපු කැපකිරීම් මේ රටේ මිනිස්සු ගොඩ දෙනෙක් දන්නෙ නැහැ.

කොවිඩ් තත්ත්වයෙන් පස්සෙ තත්ත්වය තවත් වෙනස් වුණා. අර්බුද රැසකට මූණ දෙන්න වෙනවා. මෙතෙන්ට එන ලෙඩ්ඩුන් හරියට බොරු කියනවා. කොහොමත් මේකෙ දවසකට කොවිඩ් ආසාදිත ලෙඩ්ඩු දෙන්නෙක් තුන්දෙනෙක් හඳුනා ගැනෙනවා. ආරක්ෂාකාරී ලෙස ඒවට මූණ දෙන්න අපි කටයුතු කරගෙන යනවා.

 මේ කැපකිරීම් නිසා ඔබට පෞද්ගලික ජීවිතේ ඇතැම් දේවල් නැතිවෙලා තියෙනවද?
මම අවිවාහකයි. අම්මා බලාගන්නෙ මම. අක්කා අල්ලපු ගෙදර හිටිය නිසා මට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. පැය 24/48 එක දිගට වැඩකරලා ශාරීරිකව දැනෙන වෙහෙස විස්තර කරන්න බැරි තරම්. ඒත් උදෙන්ම නැගිටලා අම්මගෙ කෑම බීම හදලා, එයාට කවලා, පොවලා, නාවලා තමයි මම රාජකාරියට ගියේ. දවල්ට අක්කා බලාගත්තා. අම්මා අවුරුදු 10කට කලින් මෙලොවින් සමුගත්තා. එතකොට එයාට අවුරුදු 84යි. මම ඒ හැමදේම සතුටින් කළේ.

ඔබට විවාහය මඟහැරුණෙ ඇයි? ඒ ගැන උනන්දුවක් තිබුණෙ නැද්ද?
මාව විවාහ කරගන්න කැමති වුණු දෙතුන් දෙනෙක් හිටියා. ඒත් හෙදි වෘත්තියෙන් අයින්වෙන්න කියපු නිසා මම ඒ අදහස අතහැරියා. මගේ වෘත්තීයට මම ආදරේ කරපු ගරු කරපු කෙනෙක්.

අම්මගෙන් ඔබට බලපෑමක් ආවෙ නැද්ද විවාහ වෙන්න කියලා?
තිබුණා. අම්මට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි මගේ විවාහය. රෑ දවල් ඒ ගැන හිත හිතා හිටියෙ. ඒත් ගින්දරක් දැක්ක පළියට මට බැහැනෙ ගින්දරට පනින්න.

පාසැල් කාලෙ ඔබට විවාහ වීමේ හීනයක් තිබුණෙ නැද්ද?
එහෙම හීන මට තිබුණෙ නැහැ. මම පවුලෙ බාලයා. මගේ ලෝකෙ හිටියෙ අම්මා, තාත්තා සහ සහෝදර සහෝදරියො. ඒ ගොල්ලන්ගෙ ආදරය මැද තමයි මම ජීවත් වුණේ. සමාජයට, පවුලට, පාසැලට මම කැපවෙලා වැඩ කළා. මම ඉගෙන ගත්තෙ ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ. පාසැලේදී මම ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රුසකින් ජයග්‍රහණය කළා. බස්නාහිර පළාතෙන් පළවෙනියා වුණා. ක්‍රිකට්. එල්ලෙවලිනුත් දක්ෂතා දැක්වූවා. 1980 දී පමණ දීපව්‍යාප්ත කෙටිකතා තරගයකින් පළවෙනියා වුණා. සතර කෙටිකතා තරගයෙනුත් මුල් තැන ලබාගත්තා. ඉස්සර ඉඳලම මම එක දේකට කොටු වෙච්ච කෙනෙක් නෙවෙයි. පාසැලේදී ගීත ගායනා කළා. නාට්‍යවල රඟපෑවා.

ඔබ හෙදියක් වෙන්න හිතුවෙ ඇයි?
ඇත්තටම මගේ එක අක්කා කෙනෙක් හෙදියක්. එයා තමයි මට හොරෙන් ඉල්ලුම්පත්‍රයක් දාලා මාව මේ වෘත්තියට යොමු කළේ. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වුණාට මට සරසවි යන්න බැරිවුණා. අයියා ඉංජිනේරුවෙක්, ලොකු අක්කා උපාධි ගුරුවරියක්, අනිත් අක්කා හෙදියක් නිසා අම්මට ඕන වුණා මාව වෛද්‍යවරියක් කරන්න. විශේෂයෙන්ම මගේ තාත්තා වෙද මහත්මයෙක් නිසා. හෙදියක් වෙලා හිටිය මුල් කාලෙ මම මේක දාලා යන්න හැදුවා කීපසැරයක්ම. ලෙඩ්ඩු දැකලා මට ඔලුව කැක්කුම හැදුණා. ලෙඩ්ඩු අඬනකොට මාත් අඬනවා. මම කලන්තෙ දාලා වැටෙනවා. කතන්දර ගොඩයි. මට ඉස්පිරිතාලෙ ජීවිතය දරාගන්න බැරිවුණා. ලෙඩ්ඩු මැරෙනකොට මට හරි දුකයි. ගෙදර ඇවිත් ඒ ගැන හිතලා වරු ගණන් අඬනවා. ඒත් දෛවය වෙනස් කරන්න බැහැනෙ. ඒ නිසා මට මේකෙම රුඳිලා ඉන්න සිද්ධ වුණා. මම ටිකෙන් ටික ප්‍රසිද්ධ වුණා. මට වැඩ කරන්න හරි ආසයි. මම ලෙඩ්ඩුන්ට ආදරෙන් කතා කළා. රුකබලා ගත්තා. මගේ මහජන සම්බන්ධතා කටයුතුවල නිපුණතාවය නිසා මට මේ තනතුර ලැබුණා. ඒත් සමහර තැන්වල කැපිලි ගොඩකුත් ආවා. මාව මරන්න හැදුවා, කපන්න හැදුවා, වස දෙන්න හැදුවා, පෙත්සම් ගැහුවා. එක එක දේවල්වලට කොටු කරන්න හැදුවා. ඒත් මගේ ගමන මම නිශ්ශබ්දව ආවා. සොබාදහම මට විරුද්ධ වුණු අයට ප්‍රතිචාර දැක්වූවා.

පෞද්ගලික ජීවිතේ ඔබට පසුතැවෙන්න හේතුවක් නැද්ද?
පෞද්ගලික ජීවිතේ මට නැතිවුණේ විවාහය විතරනෙ. අනිත් හැමදේම ලැබුණා. පවුලෙ ආදරය නොඅඩුවම ලැබුණා. මට හිතෙන්නෙ සතුට තියෙන්නෙ ඒ ආදරය ඇතුළෙ. මම ලෙඩඩුන්ට අවශ්‍ය කිහිලිකරු, රෝද පුටු විශාල ප්‍රමාණයක් මගේ පිටරට ඉන්න හිතවතුන් සහ අපේ රට තුළ ඉන්න යාළුවො හරහා ලබාදීලා තියෙනවා. ඒකේ සතුටත් මට.

මම කවදහරි නැතිවුණ දවසක මගේ අවසන් කටයුතු කළයුතු ආකාරය මගේ ඥාති දියණියකට කියලා තියෙන්නෙ. මම කියලා තියෙන්නෙ උත්සව මොකුත් තියන්න එපා. පාංශු කූලය දීලා කිසිම කෙනෙකුට නොකියා කෙළින්ම අස් කරන්න කියලා.

ඔබේ කේන්දරේ ඔබ ගැන මොනවද කියලා තියෙන්නෙ?
මම කේන්දර විශ්වාස කරන්නෙ නැහැ. ඒත් අම්මා තාත්තා දකුණෙ අම්බලන්ගොඩ. දකුණෙ ඉන්නවා හින්නිහාමි කියලා කේන්දර බලන කෙනෙක්. එයා කියලා තියෙන්නෙ මුලු රටේම නමක් තියෙන දරුවෙක් තමයි ඉපදිලා තියෙන්නෙ කියලා. එක වෘත්තියක යෙදෙන්නෙ නැහැලු. සෞඛ්‍ය ක්ෂේත්‍රය වගේම ගුරුවරියක්, ගායිකාවක්, ග්‍රන්ථ කතුවරියක්, සමාජ සේවිකාවක් වගේ වෘත්තීන් දහයක විතර නියැලෙනවලු.
යෝග හයකින් යුතු බලගතු රාජයෝගයක් මට තියෙනවලු. මේ යෝගයෙන් ඉපදෙන ගොඩාක් අය පොඩි කාලෙ මැරෙනවලු. මාත් පොඩි කාලෙ මැරෙන්න ගිහින් තියෙනවලු. ඒත් කොහොම හරි බේරිලා තියෙනවා. මගේ විවාහය මඟහැරුනෙත් සමහරවිට මට ගැලපෙන බලවත් කේන්දරයක් නැති නිසා වෙන්නත් ඇති.