2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

එක්පෙති මල තියෙන්නේ කොහේද කියලා මම බන්දුලගෙන් ඇහුවා

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 450

ගීතයට ආදරය කරන මගේ ගීත රසිකත්වය තුළ ඔහු මට එක්තරා වීරයෙකි. ඒ වීරත්වය නිර්ලෝභීව මා ඔහුට ප්‍රදානය කරන්නේ ඔහු හදවතේ ඉපදී වදන් වියමන් බවට පත්වූ ගීත ඒ තරම්ම ඉසියුම් හෘද සංවේදී සහකම්පනයක් කරා මා නිරායාසයෙන්ම කැටුව යන හෙයිනි.
ඔහු ප්‍රවීණ ගී පද රචක කුලරත්න ආරියවංශය. අද මගේ නොවන මගේම ගීතය ගැන කතා කරන මගේ ආරාධිතයා ඔහුය.

මිනිස්සුන්ගේ හදවත්වල ගැඹුරටම දැනෙන්න ඉතාමත් තියුණු හා සංවේදී ලෙස පද හසුරුවමින් ගී ලියන අතළොස්සක් ගීත රචකයන් අතර ඔබත් එක් අයෙක්. මේ තරම් හෘද සංවේදීව ගීත ලියන්නෙ කොහොමද ඔබ?
හුඟක් රසිකයෝ මට කියනවා මගේ ගීත ඔබ ඔය කියන විදිහටම හදවතට හුඟාක් දැනෙනවා, ඒ ගීත අහද්දි ඒ අය එයාලගේ ජීවිත හෙමිහෙමින් පිරිමදිමින් ඒ ගීත එයාලගේම කරගන්නවා කියලා. අවුරුදු අටේ විතර කාලයේ ඉඳන් මම පුදුමාකාර ගීත රසිකයෙක්. ගීත රසවිඳින්න වගේම තාලයට ගීතයක් ගයන්නත් මට පුංචි කාලයේ ඉඳන්ම හැකියාව තිබුණා. ගීතයට තිබූ ඒ කැමැත්ත දවසින් දවස වැඩිවුණා. මම අහපු ගීතවල තනු පවා මගේ මතකයේ රුඳුණා. ගීත හා මට තියෙන බැඳීම ලේ බන්ධනයක් තරම් ගැඹුරු ආධ්‍යාත්මික බැඳීමක්. පුංචි කාලයේ ඉඳන්ම කවි ලියන්න හැකියාවක් තිබුණු නිසා මම කවි ලීවා. සාහිත්‍ය ඉගෙන ගනිද්දි භාෂා දැනුම දියුණු වෙද්දී මම ගීතයේ සාහිත්‍යමය රසය විඳින්න ටික ටික හුරුවුණා. මහගම සේකර, කරුණාරත්න අබේසේකර, මඬවල එස්. රත්නායක වැනි අයගේ ගීතවල සාහිත්‍යමය රසය, අර්ථය, ශ්‍රවණ මාධූර් ය‌ෙයන් ඔබ්බට මම පිරික්සද්දි ගීතය හා මගේ ඇති ඇල්ම හරි ගැඹුරු ඉසව්වක් දක්වා ගමන් කළා. මින්දද හීසර වගේ ගීතයක් අහද්දි ඒ කාලේ මට දැනුණු රසය වචනයෙන් කියන්න බැරි තරම්. ගුවන්විදුලියේ සරල ගී වැඩසටහන්වල අමරදේවගේ සින්දු යද්දි මම ඒ සින්දු අහන්නේ ගී පද ලියාගන්න ලෑස්තිවෙලා. මේ ගීත රසිකත්වය තමා අවසානයේ මාව ගීත රචකයෙක් දක්වා දුර ගමනක් රුගෙන ගියේ.
ගීතයක වචන චිත්‍රයක් වගේ සිත්තම්වෙලා එකින් එක ඈඳිලා ගීතය වියමනක් සේ නිමාවෙන හැටි ගීත ඇසුරින්ම අධ්‍යයනය කරන්න කියලා ගීත ලියන හැම කෙනෙක්ගෙන්ම මම ඉල්ලන්නේ. මටසිලුටු, සුමට, ගීතවත්, ළයාන්විත, එසේම ගායනයේදි හඬ අලංකාර උපද්දවන්න පුළුවන්, හඬ විවිධ රමණීය පරාස තුළ විහිදුවාලිය හැකි වචන තමා මගේ ගීත රචනාවලදි මම යොදාගන්නේ. ඇත්තටම ගීත රචනයේදී මම සාහිත්‍යයටම මුල්තැන දෙන්න යන්නෙ නෑ.
ගීතයක් ලියද්දි සංගීතඥයාට එයාගේ ශිල්ප දක්වන්නත් ගායකයාට එයාගේ ස්වර හසුරුවන්නත් ඉඩහසර අප උදා කළ යුතුයි. රෝහණ වීරසිංහ මහතා නිතර කියන්නේ මගේ පදමාලාවක් අතට ගත්ත ගමන් නිරායාසයෙන්ම තනුව නිර්මාණය වෙනවා කියලා.

ඔබේ අප්‍රමාණ ගීත රසිකත්වය තුළම ඔබ හදවතින්ම ඔබේම කරගත්ත ගීතයක් නැතිවෙන්න බෑ?
මම හුඟාක් ප්‍රිය කරන ගීත දහස් ගණනක් අතරින් හරිම අමාරුවෙන් එක ගීතයක් තෝරාගන්නම් ඔබ එක් ගීයක් ගැන මගෙන් විමසන හින්දා.

දහස් ගණනක් ගී අතුරින් ඔබේ තේරීම බවට පත්වන ඒ සුවිශේෂී ගීතය මොකද්ද?
බන්දුල නානායක්කාරවසම් ලියූ එක්පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට කියන ගීතය.

ඒ ගීතයට ඔබේ කැමැත්ත පිටුපස ඇති හේතු ගැන අපි කතා කරමු?
මේ ගීතය අපට නිතර දෙවේලේ ඇසෙන විරහ ගීවලට වඩා වෙනස්ම විදිහෙ විරහ ගීතයක්. මේ ගීතයේ පෙම්වතෙක් ඉන්නවා. ඒ පෙම්වතා මට දැනුණු හැටියට මහා පුදුමාකාර නිර්මල පරාර්ථකාමී හදවතක් ඇති පෙම්වතෙක්.

එක්පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ
මගෙ බෝසත්කමට...

මේ ගීතය ආරම්භ කරන්නෙම අපූරු සංකල්ප රෑපයකින්. එක්පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට.. මේ පෙම්වතා බොහොම අහිංසක විරාගී මනසකින් ප්‍රකාශ කරන දේ බලන්න. පෙම්වතියට අවශ්‍ය දඟකාර කායික සෞන්දර්යාත්මක ස්පර්ශයක් කැටිවුණු ආදරයක් වෙන්න පුළුවන්. ඒත් පෙම්වතාගේ ආදරය හරි ආධ්‍යාත්මික ගැඹුරු නිර්මල ස්නේහයක්. ගීතයේ එක් තැනක පෙම්වතා ඇය ඔහු හැරගිය දිනේ දන්නවා කියන්නේ ඒ දවස විශේෂ දවසක්. ඇය තවත් කෙනකු හා පිටගම් ගිය දා ඒ දවස වෙන්න ඇති.

අයිතිය ගැන අත්පත් කර ගැනීම ගැන නොසිතූ ආදරයක් ඔහුගේ හිතේ පැළපදියම්ව තියෙන්න ඇති. ජීවිතයේ සමහර දේවල්වල වටිනාකම අපට දැනෙන්නේ ඒ දේ අහිමි වුණාම. මේ ගීතයේ පෙම්වතාගේ මතකය අග්ගිස්සටත් ආදරය, අතීත මතක සියල්ල එන්නේ විරහී වේදනාවත් එක්ක.

මේ ගීතය අහද්දි ඔබ ආධ්‍යාත්මයෙන්ම නැවතුණු තැනක් තියෙනවද?
විශ්මිතගමට අදහන්නට බෑ තවම.. එතනින් පටන්ගන්න පද ටිකට මම හරි ආසයි. මේ දෙන්නගේ ආදරය, ඒ ආදරයේ තිබුණු ඒ විවෘත ස්වභාවය මුළු ගමම හැඳිනගෙන සිටි බව, එතනින් කියවෙන අපූරුවට මම ආසයි.
හදවතට දැනෙන්න ප්‍රේමය නොදුන් බව ගීතයේ කියවෙනවා. අප්‍රකාශිත, මඟහැරුණු ප්‍රේම කතාවල අවසානයේ විරහව හුඟාක් ප්‍රබලව දැනෙන්නේ ඒ ආදරය තමන් සන්තකයෙන් ගිලිහුණාම. ඒ යථාර්ථය හුවාදක්වන මේ පද සම්මුච්චය ළඟ මම හදවතින්ම නවතිනවා.

ඇත්තටම මේ ගීතයෙන් ඔබට දැනුණු හැටියට ආදරය කියන්නේ කවර ගුණ පිරුණු හැඟීමක්ද?
ආදරය කියන්නේ තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන් බොහෝම දයා ගුණයකින් කැපවීම. එවැනි ආදරයක් අහිමිවුණු තැන දරාගැනීමේ ශක්තිය ගිලිහිලා කෙනෙක් මානසික අවපාතයකට ඇදවැටෙන්න පුළුවන්. එහෙත් නියත ධර්මතා, ලෝ දහම හඳුනාගත් මේ ගීතයේ එන පෙම්වතා උපේක්ෂාවෙන්, පරිත්‍යාගයෙන්, සැබෑ ප්‍රේමය ගැන අවබෝධයෙන් හිත හදාගන්නවා. ගීතයේ අවසන් කොටසින් කියන්නේ ඒ ගැන.
සරච්චන්ද්‍ර මහැදුරුතුමා කීවා වගේ ප්‍රේමය නම් අසනිය කුසුමක් වේ, රිසි වූ කෙනකුට පූජා කරන්න, ලෝභ සිතින් තොර පිදුව මනාවේ, පෙරළා බිඳකුත් ලබනට නොසිතා..
මේ ගීතයේ අවසානයේ විවරණය කරන්නෙත් රසිකයාගේ පපුවට දැනෙන විදිහට ඒ ධර්මතාව ගැන තමයි.

මේ ගීතය අහද්දි ඔබගේ ජීවිතයට සමීප අත්දැකීමක් ළඟට හිතින් යන්නෙ නැද්ද ඔබ. මම කැමතියි අවංකම උත්තරයක් ඔබෙන් ඉල්ලන්න?
මම මෙහෙම විරහ වේදනාවක් විඳලා නෑ ඇත්තටම. අද මගේ බිරිඳ, එදා මගේ පෙම්වතියට ආදරය කරන කාලේ ඇයව දකින්න, ඒ ආදරය විඳින්න, හිත ඉල්ලන ඉඩහසර නැතිවුණාම දැනෙන වේදනාව හුදෙකලාව කම්පනය තමා මම විඳලා තියෙන්නේ.

එක්පෙති මලක් විය ගීතය ගැන ඔබ ගීත රචකයා එක්ක කතා කර තියෙනවද?
මම එයාගෙන් ඇහුවේ එකම එක දෙයයි. මල්ලි ඔය එක්පෙති මල් තියෙන්නෙ කොහේද? එක්පෙති මලක් ගැන මම ඉස්සරෝම ඇහුවේ මේ සින්දුවෙන් කියලා. බන්දුල මල්ලි කීවා එක්පෙති මල කියන්නේ ඔය උදුපියලි වගේ තණකොළ යායවල තියෙන පුංචි දම්පාට මලක් කියලා. එයාලගේ වත්තේ ඉස්සර ඒ මල තිබුණා කීවා.

උපමා, අලංකාර, ව්‍යංගාර්ථ නැති බොහෝම සරල, අර්ථ නිරවුල් එහෙත් ධ්වනි පූර්ණ පද වියමනක් මේ ගීතයේ තියෙන්නේ.

මේ ගීතයේ සංගීතය හා කටහඬ ඔබ විඳින්නේ කොහොමද?
ගීතයක රස භාව ස්වර සංයෝජනයෙන් යථාර්ථවත් කර උත්කර්ෂයට නැංවිය යුතුයි. ජගත් ජයවර්ධන තමා මේ අපූරු තනු නිර්මාපකයා. ඇත්තටම හතර පදවලට තනු නිර්මාණය කරන්න හරි අමාරුයි. හතර පද කියන කොටුවට තනු දාන්න ලේසි නෑ. මේ ගීතයේ තනුව සංගීතය ප්‍රතිනිර්මාණය කළ තනුවක්. කවි ආකෘතියේ ගී පද රචනාවකට දැමූ තනුව වගේම රොහාන් ශාන්ත බුලේගොඩගේ කටහඬත් මේ ගීයට කළ සාධාරණය විශිෂ්ටයි.. උපරිමයි. එයාගේම අත්දැකීමක් කරගෙන රස භාව උපරිමයෙන් දැනෙන්න ගයද්දී බුලේගොඩ ඇරෙන්න වෙන කවුරු මේ ගීය ගැයුවත් මේ රහ එන එකක් නෑ කියලා මට හිතෙන්නේ. මේ ගීතය ඉවර වෙන්නෙ වචන අවසන් වී දීර්ඝ සුසුම් රාවයකින්.

මේ ගීතය ගයන්න අවස්ථාවක් ලැබුණොත් ගයන්න කැමතිද? 
ලේසියෙන් කෙනෙක්ට ගයන්න බැරි ගීත තියෙනවා. මේ ගීතය ගයන්න නම් ගායකයෙක්ම වෙන්න ඕනෑ.

කලාවත් එක්ක ජීවිතය දකින්න ඔබ අද්‍යතන පරම්පරාවට දෙන උපදෙස කුමක්ද?
අපේ හදවත් මෘදු වුණේ හදවතේ තෙත් ගතිය ඇතිවුණේ ගීත රසාස්වාදයෙන්. අපේ කාලේ තිබුණේ දයාව ආදරය ජනිත කරන ගීත. කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගු කල් ජීවත් වෙන්නකෝ ගීතය මම ඇහුවේ ආදරය ගැන හැඟීම් මගේ හිතේ නැති කාලෙක. රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ, දවසක් පැල නැති හේනේ මේ වගේ ගීත බලන්න.. ජීවිතය ගැන මහා ආදරයක් අවබෝධයක් සහකම්පනයක් දැනෙන්නේ. ඇන්ටන් චෙකොෆ් කියපු විදිහට හිස් මනසක් ඇතුව උපදින මිනිසාට දේවත්වය ආරෝපණය කරන්නේ කලාකරුවා. මනුෂ්‍ය සිතේ ඉන්න නපුරු සතා ශික්ෂණය කරලා දේවත්වය ගුණධර්ම පෝෂණය කරන්නේ යහපත් අර්ථපූර්ණ සැබෑ කලා නිර්මාණවලින්. ඒ නිර්මාණ ආදරයෙන් පරිශීලනය කරන්න. විඳින්න. ස්වභාවධර්මයට, සාහිත්‍යයට, කවියට ආදරය කරන්න, ළං වෙන්න. සංවේදී මිනිසෙකු නිර්මාණය වෙන්නේ මේ සියල්ලෙන්.