2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

මව්පියෝ වෙනුවෙන් ප්‍රේමය දන් දුන්නා

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 160

අද තනිකඩයා විශේෂාංගය හැඩ කරන්නේ 50 හා 60 දශකවල සිංහල සිනමාව පෝෂණය කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මහත්මියයි.

වරද කාගෙද, රදල පිළිරුව, දොස්තර, දුප්පතාගේ දුක, නළඟන, දරුවා කාගෙද, සීගිරි කාශ්‍යප, සුවිනීත ලාලනී, සූරයන්ගෙන් සූරයා, සැකය ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ උදුලා දාබරේ කිසිදා විවාහ වූයේ නැත. අද ඇය මත්තෙගොඩ ඇගේ ඥාති දියණියක් සමඟ දිවි ගෙවමින් සිටී.
අද ජීවතුන් අතර සිටින සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම නිළිය ඇයයි.

• ඔබ රංගනයට පිවිසුනේ පාසැල් යන කාලෙදි නේද?
ඔව්. ඒත් මම පාසැල් නාට්‍යවල ප්‍රධාන චරිත රඟපාලා තිබුණට මට නිළියක් වීමේ කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. මට ඕනවෙලා තිබුණෙ ගුරුවරියක් වෙන්න. ඒත් දෛවය හැමදේම වෙනස් කරලා මාව නිළියක් කළා.

• ඔබ අවිවාහකව ඉන්න තීරණය කළේ ඇයි?
ඇත්තටම මම අවිවාහකව ඉන්න තීරණය කළේ නැහැ. ඒක එහෙම සිද්ධ වුණා. හැමදේම ඉතින් සිද්ධ වෙන්නෙ දෛවයට අනුවනෙ.

• ඔබේ ප්‍රේම සම්බන්ධයක් බිඳුණු නිසාද අවිවාහකව ඉන්න තීරණය කළේ?
මෙහෙමයි. අපේ පවුලෙ සේරම හත් දෙනෙක්. පස් දෙනෙක්ම අඩු වයසෙන් නැතිවුණා. ඉතුරු වුණේ මායි මගේ නංගියි විතරයි. නංගි වේලාසනින්ම කසාද බැඳලා කුරුණෑගල පදිංචියට ගියා. ඉතින් මගේ අම්මයි තාත්තයි හිටියෙ මගේ ළඟ. චිත්‍රපටවලින් අයින් වුණාට පස්සෙ මම අවුරුදු විස්සක් ජාතික ලොතරුයි මණ්ඩලේ වැඩ කළා. ඔය කාලෙදි තමයි මාව විවාහ වෙන්න කෙනෙක් බලාපොරොත්තුවෙන් හිටියෙ. ඒත් මට අම්මා තාත්තා තනිකරලා විවාහ වෙන්න බැරිවුණා.

• ඒ ගැන තව විස්තර ටිකක් කියන්නකො?
ඔහු මාධ්‍යයට සම්බන්ධ කෙනෙක්. අවුරුදු ගණනක හිතවත්කමක් අපි අතර තිබුණා. එයාට පිටරට ශිෂ්‍යත්වයක් ලැබුණා ඡායාරෑපකරණය සම්බන්ධව. එයාට ඕන වුණා මාවත් විවාහ කරගෙන මා එක්ක රට යන්න. ඒත් අම්මා කැමැති වුණේ නැහැ ඒ දෙන්නා මෙහෙ තනිවෙයි කියලා හිතලා. අම්මා ඒ ගැන හිතලා අඬනවා නිතරම. නංගි කුරුණෑගල ඉන්න නිසා මේ දෙන්නව එහෙ තියලා යන්නත් බැරිවුණා. මම අපේ ඥාතීන් කීපදෙනෙකුගෙන්ම ඇහුවා අම්මයි තාත්තයි බලාගන්න පුළුවන්ද කියලා. මම රට ගිහින් ඒ දෙන්නගෙ වියදමට මාස්පතා මුදල් එවන්නම් කිව්වා. ඒත් කිසි කෙනෙක් ඒකට කැමති වුණේ නැහැ. ඉතින් මම අම්මා තාත්තා නැති වෙනකම්ම ඒ දෙන්නව බලාගත්තා. ඒ නිසා විවාහයක් කරගන්න බැරිවුණා.

• ඒ ගැන අද හිතෙන කොට දුකක් දැනෙන්නෙ නැද්ද?
දුකක් නැත්තෙ දෙමාපියො නිසා. ඊට පස්සෙත් මට විවාහ යෝජනා කීපයක් ආවා. මමත් කසාද බඳින්න කැමැති වුණා. ඒත් මැරෙනකම් අම්මා තාත්තා බලාගන්නවා කියලයි මම තීරණය කරලා තිබුණෙ. මාව බඳින්න කැමැති වුණු හැමෝම කිව්වෙ බඳිනවා නම් බඳින්නෙ ඔයාව විතරයි, ඔයාගෙ අම්මයි තාත්තයි බාරගන්න බැහැ කියලා. මම ආත්මාර්ථකාමී වෙලා විවාහයක් කරගෙන සතුටින් ඉන්නවට වඩා අම්මා තාත්තාට සලකලා ඉන්න එක ලොකු පිනක් කියලා මම අන්තිමේදී කල්පනා කළා. ඉතින් මගේ ජීවිතය ඒ විදිහට තනිකඩව ගෙවුණා.

• ඔබේ කේන්දරේ මොනවද විවාහය ගැන කියලා තිබුණෙ?
මම ඒ කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නැහැ. මට තියෙන්නෙ මගේ උප්පැන්න සහතිකේ විතරයි.

• ඔබ දැන් ඉන්නෙ කා එක්කද?
මම ඉන්නෙ මගේ අයියගෙ දුවත් එක්ක. ඒ ගොල්ලො මට හොඳට කරුණාවෙන් සලකනවා.

• සිනමා ක්ෂේත්‍රයේ ඔබේ සමකාලීන අය හමුවෙන්නෙ නැද්ද දැන්?
දැන් අපේ වයසත් එක්ක එහෙ මෙහෙ යන්න එන්නත් අමාරුයි. මම ඉන්නෙත් ටිකක් දුර නිසා ගමන් කරන්නත් අමාරුයි. ඉස්සර නම් ආරාධනා ලැබුණම සිනමා උත්සවවලට ගියා. අද ඉන්න තරුණ නළු නිළියොත් මට හම්බවෙනවා අඩුයි. ඒත් මේ පරපුරේ හොඳට රඟපාන අයට මම ආසයි. සිනමාවෙ කිසි කෙනෙක් එක්ක මම අමනාප වෙලා ඉඳලා නැහැ. ඉඳලා හිටලා මගේ චිත්‍රපටයක් රූපවාහිනී නාලිකාවල යනකොට බලන්න ආසයි. වැඩියෙන්ම කැමති ඒ කාලෙ මම කොහොමද හිටියෙ කියලා බලන්න.

• එදා සිනමාවට සම්බන්ධ වෙලා හිටිය කාන්තාවන්ට ලැබුණ සැලකිල්ල මොන වගේද?
තමන් හොඳට හිටියොත් ඒ ගෞරවය නොඅඩුවම ලැබෙනවා. ඒ නිසා අපේ වෘත්තීය ගෞරවය රුකගෙන අපි හොඳින් වැඩකළා නම කැත කරගන්නෙ නැතුව. ඔබලා අද මාව හොයාගෙන ආවෙත් ඒ නිසානෙ. මම සිනමා ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධකම් පැවැත්වූයේ නැහැ. චරිත ඉල්ලගෙන පස්සෙන් ගියේ නැහැ කාගෙවත්. මම ෂූටිං කරන කාලෙ මගෙ පස්සෙන්ම හිටියෙ මගෙ අම්මා. එයා මාව පණ වගේ ආරක්ෂා කළා. මම ෂූටිං කරන තැන්වල වොෂ්රූම් එකට ගියත් අම්මා දොර ළඟ හිටගෙන ඉන්නවා. මේ ක්ෂේත්‍රයේ හැමෝම ඒ කාලෙ අම්මට කිව්වෙ මගෙ බොඩිගාඩ් කියලා.

• ඔබ සිනමා නිළියක් වෙන්නෙ හරි අපූරු වාසනා ගුණයක් එක්ක. ඒ ගැනත් පොඩ්ඩක් මතකය අලුත් කරමුකො?
මම ඉගෙන ගත්තෙ නාරාහේන්පිට මහවත්ත  විද්‍යාලයේ සහ මරදාන Forward Academy එකේ. පාසැල් කාලෙත් මම නාට්‍යවල රඟපෑවා. ගුවන් විදුලියෙ කරුණාරත්න අබේසේකර අයියගෙ ළමා පිටියට සම්බන්ධ වෙලා වැඩසටහන් කළා.
දවසක් කරු අයියා මට කිව්වා සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම් මහතා අලුත් චිත්‍රපටයකට නවක නිළියක් හොයනවා, අපි එයාව හම්බවෙන්න යමු කියලා. මම කරු අයියා එක්ක සම්මුඛ පරීක්ෂණයට ගියා. ගුණරත්නම් මහත්තයා මගේ දක්ෂතා ගැන සතුටු වුණා. ඒ වෙලාවේ ගුණරත්නම් මහත්තයගෙ තවත් මිත්‍රයෙක් තව නිළියක් එක්ක ඇවිත් තිබුණා මේ චරිතයට. අවසානෙදි අපි දෙන්නටම මේ චරිතය සඳහා අවශ්‍ය සුදුසුකම් හොඳටම තිබුණා. ඒත් තිබුණෙ එක පුරප්පාඩුවක්. ඉතින් ගුණරත්නම් මහතා යෝජනා කළා කාසියක් උඩදාලා ඒ අනුව අපි දෙන්නගෙන් එක්කෙනෙක් තෝරමු කියලා. කාසියේ වාසිය ලැබුණෙ මට. මට 1954 වසරේ වරද කාගෙද චිත්‍රපටය හරහා සිනමාවට සම්බන්ධ වෙන්න ලැබුණෙ ඒ අනුව තමයි.

සේයාරුව I උපුල් නිශාන්ත