2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

ගොවියන්ට කඩේ යන පොළොවෙ පයගහපු නළු නිළියෝ

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

ගොවින්ගේ ගැටලු ගැන මේ දවස්වල ඉන්දියාවේ බොහෝ තැන්වල කතාබහ කරන මාතෘකාවක්. බොලිවුඩයේ බොහෝ නළු නිළියන්ද ගොවින්ගේ සහායට ඔවුන් හා එකතුවෙලා තියෙනවා. ඔවුන් තම සහාය ගොවීන්ට විවෘතව ලබාදෙන අතර ඔවුන් තම මතය තමන්ගේ සමාජ මාධ්‍යවල පළ කරලා තියෙනවා... බොලිවුඩයේ හැඩකාරයන් සහ හැඩකාරියන් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. 

01. ප‍්‍රියංකා චොප්රා

ප‍්‍රියංකා චොප්රා තමන්ගේ සමාජ මාධ්‍ය ගිනුමක් හරහා ඉන්දියාවේ ගොවීන්ට සහාය පළකරලා තිබුණේ මෙන්න මේ විදියටයි. අපේ රටේ ගොවීන් තමයි භාරතයේ ආහාර සොල්දාදුවන්. ඔවුන්ගේ බිය නැතිකරලා දෙන එක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයක් සහ අපේක්ෂාවන් සපුරාලීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ප‍්‍රජාන්ත‍්‍රවාදය දියුණු ලෙසින් පවත්වාගෙන යෑමට නම් ගොවීන්ගේ ගැටලු සහ අර්බුද ඉක්මනින් විසඳා දීමට පියවර ගැනීමට වග බලා ගත යුතුයි.

02. සෝනම් කපූර්

සෝනම් කපූර් තම ස්වාමිපුරුෂයා ආනන්ද් අහුජා සමඟ ගොවීන්ට සහාය පළ කිරීම සඳහා ඉදිරිපත්වෙලා ඉන්නවා. ඔවුන් දෙදෙනා විසින් ඉන්දියාවේ ගොවීන් විසින් සිදු කරන ඉල්ලීම් ගැන තමන්ගේ සමාජ මාධ්‍ය හරහා ඡායාරෑප පළ කරමින් ජනප‍්‍රිය අමෙරිකානු නීතීඥයෙක් වන ඩැනියෙල් වේබ්ස්ටර් කරන ලද වාක්‍යයක්ද පළ කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. සී සෑම ආරම්භ වනතුරු වෙනත් වැඩ කළ නොහැකියි. ඒ නිසා ගොවීන් කියන්නේ අපගේ ශිෂ්ටාචාරයේ ආරම්භකයින් යනුවෙන් සඳහන් කරලා තියෙනවා.

03. රිටේෂ් දේශ්මුඛ්

රිටෙෂ්ද ගොවියන්ගේ සහායට ඉදිරිපත් වෙලා තියෙනවා. ඔහු තමන්ගේ සමාජ මාධ්‍ය වලින් මෙන්න මේ විදියට තම අදහස් පළ කරලා තියෙනවා. ඔබ අද ආහාර අනුභව කරන්නේ නම් ඒ සඳහා ගොවීන්ට ස්තූති කළ යුතුයි. මම අපේ රටේ සෑම ගොවියෙක්ටම සහයෝගය දක්වනවා... ගොවීන්ට ජයවේවා... 

4. ශර්මිලා මතෝංද්කර්

මෑතකදී කොංග‍්‍රස් පක්ෂයෙන් ඉවත්ව ශිවසේනා පක්ෂයට එක්වුනු ශර්මිලා මතෝංද්කර්ද ගොවීන්ට සහාය දක්වමින් සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් තියලා තියෙනවා.

05. ස්වරා භාස්කර්

සෑම සමාජ දේශපාලන කාරණයක් පිළිබඳවම තම මතය සහ අදහස් ඉදිරිපත් කරන නිළි ස්වාරා භාෂ්කර්ද ගොවීන්ගේ ගැටලු පිළිබඳව තම ප‍්‍රතිචාරය තම සමාජ මාධ්‍ය ගිනුම් හරහා දක්වලා තියෙනවා. ඇය ගොවීයෙකුට ආරක්ෂක නිලධාරියෙක් පහර දෙන ඡායාරූපයක් තම සමාජ ට්විටර් ගිනුමේ පළකොට, මෙන්න මෙහෙම ලියා තියෙනවා. වඩාත්ම කනගාටුදායක කාරණය මේ තරුණයා ද ගොවියෙකුගේ පුතෙකු වීමයි. ඇය විසින් පළකොට අති මේ සටහන සහ ඡායාරූපය මේ වනවිට වෛරස් එක වගේ සමාජ මාධ්‍ය හරහා පැතිරෙමින් තියෙනවා. ඒ වගෙම බොහෝ දෙනෙක් මෙයට ප‍්‍රතිචාර දක්වා කමෙන්ට් ප‍ලකරලා තියෙනවා.

06. හිමංශි ඛුරානා

බිග්බොස් 13 හි පංජාබී ගායිකාවක් වන හිමංශි ඛුරානා ද ගොවීන්ට සහාය දැක්වීමට සමාජ මාධ්‍යයන්හි කැපී පෙනෙන චරිතයක්. ඇය ගොවීන්ට තියෙන ප‍්‍රශ්න ගැන මුලින්ම ලියා ඇති අතර රජය වසරේ දින 365ම වෙහස වෙමින් වැඩකරන ගොවීන්ට රජයේ කිසි සහායක් නොලැබෙන බව ඇය සඳහන් කරලා තියෙනවා. හිමංශි ගොවීන්ට සහාය දක්වද්දී කංගනා රනවුට් හිමංශි එක්ක විශාල වාදයක් පටන් අරගෙන තියෙනවා. කන්ගනා මේ වනවිට හිමංශිව තම ට්විටර් ගිනුමෙන් අවහිර කර තියෙන අතර හිමංශි සෑමවිටම ගොවීන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනවා.

07. සාරා ගුර්පාල්

පන්ජාබයේ සිනමාවට සහ ගායන ක්ෂේත්‍රය සම්බන්ධ බොහෝ පිරිසක් ගොවි ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් තම සහාය ගොවීන්ට දෙමින් සිටිනවා. බිග් බොස් 14 හිටි තරගකාරියක් මෙන්ම පන්ජාබයේ ගායිකාවක් සහ නිරූපිකාවක් වශයෙන්ද කටයුතු කරන සාරා ගුර්පාල් ද නිරන්තරයෙන් ගොවීන්ට සහයෝගය ලබාදෙන ලෙස ඉන්දියාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇය මෙන්න මෙහෙම තම ට්විටර් ගිනුමේ සටහන් කොට තියෙනවා.
ඔබ ආහාර වෙනුවෙන් එළවළු, පළතුරු හෝ කෘෂිකර්මාන්තයට අදාළ මොනයම් හෝ දෙයක් පරිභෝජනය කරන්නේ නම්, ඔවුන් වෙනුවෙන්, ඔවුන්ගේ අපහසුතා වෙනුවෙන් පෙනී නොසිටීමට කුමන හෝ නිදහසට කරුණක් ඉදිරිපත් නොකොට ඔබ ගොවීන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔවුන්ට සහාය දිය යුතුය. එසේ නොමැති නම් ඔබ ආහාර නොකන කෙනෙක් නම් පමණක් පසෙකට වී ගොවීන්ට සහාය නොදක්වා සිටින්න.