2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

තාමත් මට හරියටම රඟපාන්න බෑ...

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 312

සෙනුර... අපි ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියමු....?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. මගේ අම්මාගේ නම කුමුදු පීරිස්. තාත්තා ජයලත් පීරිස්. අක්කාගේ නම චමත්කා පීරිස්.

තාදි කියන්නේ සෙනුරගේ පළමු නිර්මාණය වුණාට, චමත්කාත්, සෙනුරගේ තාත්තාත් කලාවට ආගන්තුක නැහැ. එහෙම නේද?
ඔව්... ඒක ඇත්ත. තාදි කියන්නේ මගේ අක්කිගේ තුන්වෙනි නිෂ්පාදනය. මේ මෑතකදීම අක්කා සත්‍යා කියලා ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ වගේම ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයටත් එයා නිෂ්පාදනයෙන් දායක වුණා. මගේ තාත්තිත් ටෙලිනාට්‍ය වගේම සිනමා පට කිහිපයකුත් නිෂ්පාදනය කරලා තියෙනවා. &තාදි* කියන්නේ මගේ මුල්ම කලා නිර්මාණය වුණාට මගේ පවුල් පරිසරය තුළ කලාවට යම් නැඹුරැවකුත් තිබුණා.

සෙනුර පාසල් අධ්‍යාපනය හැදෑරුවේ කොහේද?
මම මුලින්ම ඉගෙන ගත්තේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේයි. මම පුංචි කාලේ ඉඳන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආසා කළා. ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ වගේම ඒ කාලේදී මම දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ නිසා ක්‍රිකට්වලට තිබුණු ආසාව නිසාම මම මරදාන ශාන්ත ජෝශප් විදුහලට ඇතුළත් වුණා. ඒ පාසලේදී අධ්‍යාපනයත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවත් සමබරව කරගෙන යන අතරතුරේදී මගේ පොඩි ආබාධ කිහිපයක් නිසාම මම ක්‍රිකට් ක්‍රීඩා කරන එක නතර කළා. ඔය අතරේදි මම වැඩිදුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට ගියා. තාමත් ඕස්ට්‍රේලියාවේ Deakin University එකේ උපාධිය හදාරණවා.

චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන &තාදි* සෙනුර රඟපාන මුල්ම ටෙලිනාට්‍යය නේද?
ඔව්. තාදි කියන්නේ මගේ මුල්ම රංගනයයි. චරිත් අයියා මේ පිටපත ගෙනත් දුන්නේ ගිය අවුරුද්දේ පෙබරවාරි මුල් කාලවලදීයි. ඔය පිටපත ගැන ඒ අය Meeting කිහිපයක්ම කරලා තිබුණා. නිෂ්පාදිකාව විදිහට මගේ අක්කිත් ඒවාට සහභාගි වෙලා තිබුණා. හැබැයි ඒ මීටින්වලදී එක දවසක්වත් මම මුණගැහිලා තිබුණේ නැහැ. කවදාකවත් මගේ අක්කි මේ චරිතයට මගේ මල්ලිව ගන්න කියලා චරිත් අයියට කියලවත් තිබුණේ නැහැ. කොහොම හරි එක දවසක් මට චරිත් අයියව මුණගැහුණා. ඊට පෙර චරිත් අයියා මාව එච්චර දැකලා තිබුණෙත් නැහැ. කොහොමටත් මගෙයි ඒ තාදි එකේ චරිතයයි අතරේ එහෙම ලොකු වෙනසකුත් නැහැ. කොහොම හරි මේ පිටපත චරිත් අයියා මට දුන්නම මම රංගනය හදාරලවත්, කරලවත් නැති දෙයක් නිසා මම මුලින්ම බැහැ කිව්වා. නමුත් චරිත් අයියා අපි Workshop එකක් දාමු. ඒකත් එක්ක ඔයාට මේක කරන්න පුළුවන්. කියලා මට කිව්වා. කොහොම හරි මාර්තු මාසෙ ඉවරවෙද්දි අපි ඒ Workshop එක පටන් ගත්තා. රෑගත කිරීම් පටන්ගන්නා තුරැ අපි ඒ Workshop එක කළා.

කොහොමද ඒ ලබපු අත්දැකීම්?
ඒක මාරයි. ඒ Workshop එක හරහා මම කවදාවත් නොකරපු, කවදාවත් කරන්නටත් හිතේ නොතිබුණු දෙයක් මගේ ඇඟට ආවා. මට රඟපාන්න ආස හිතුණා. හැබැයි තාමත් මම ඉගෙන ගත්තේ බොහෝම පොඩි කොටසක් විතරයි. තව මේක ගැන බොහෝ දේවල් මම ඉගෙන ගන්න ඕනේ. ඒ දේවලුත් මම ඉදිරියට කොහොම හරි ඉගෙන ගන්නවා.

පාසලේදී ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණ සෙනුර අඩුම තරමේ පාසලේ වේදිකාවේවත් රඟපාලා නැද්ද?
නැහැ. මම පාසලේදී මුල්තැන දුන්නේ මගේ අධ්‍යාපනයටයි ක්‍රිකට් ක්‍රීඩාවටයි. ඒ දෙක කරගෙන යද්දී තවත් බාහිර ක්‍රියාකාරකමක් කරන්න වෙලාවක් ලැබුණේ නැහැ. මම පාසල් අධ්‍යාපනයත් හොඳින් කළා. ඒ නිසා පාසලේදී මම කලාවට පොඩ්ඩක්වත් සම්බන්ධ වුණේ නම් නැහැ. හැබැයි ඒ කාලේ ඉඳන්ම මම ගොඩක් චිත්‍රපට බැලුවා. ටෙලිනාට්‍ය බැලුවා. හැබැයි ඒ කිසිම වෙලාවක මට රඟපාන්න ආස හිතුණේ නැහැ. ඒ වෙනස් ක්ෂේත්‍රයට මාව යොමුකළේ චරිත් අයියායි.

තාදි එකේ චරිතයේදී කතාවට වඩා මුහුණෙන් ඉරියව් ප්‍රකාශ කිරීම වැඩියි...?
ඔව්... ඒක ඇත්ත. ඒ චරිතයේදී කතාවෙන් අදහස කියනවාට වඩා මුහුණේ ඉරියව්වලින් අදහස් ප්‍රකාශ කිරීම වැඩියි. තාදි ටෙලිනාට්‍යෙය් රඟපාන්නේ බොහෝ ප්‍රවීණ කලාකරැවන්. කලාකාරියන්. මම තමයි තාදි ටෙලිනාට්‍යයට අලුත් මුහුණක් වුණේ. ඉතින් මේ චරිතය රඟපාන්න ඒ හැම ප්‍රවීණයකුගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ධනංජය අයියා (ධනංජය සිරිවර්ධන) වුණත් රංගනය උගන්වන කෙනෙක්. මගේ තාත්තාට රඟපාන්නේ ධනංජය අයියායි. ඉතින් මට බොහෝ වෙලාවට ඔහුත් එක්ක රඟපාන්න අවස්ථාව ලැබෙනවා. අපි මුණගැහෙන හැම මොහොතකම ධනංජය අයියාගෙන් මට ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා. ඒ අතරේ Workshop එකේදීත් අපි බොහෝ වැඩ කළා. කැමරා යට වැඩ කළා. ඒ නිසා මුහුණෙන් ඉරියව් ප්‍රකාශ කරන හැටි ඉගැන්නුවා. අැත්තටම තාමත් මට රංගනය අමාරැයි. මට තාමත් මගේ චරිතයට සියයට සීයක්ම සාධාරණයක් ලබලා දෙන්න බැහැ. මම තාමත් ආධුනිකයි. හැබැයි නවකයෙක් විදිහට මට පුළුවන් උපරිමයෙන්ම ඒ චරිතයට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මම දැන් රඟපාන්න ආසයි. ඒ ආසාව නිසාම මම තව ඒ ගැන ඉගෙන ගන්නවා.

තාදිවලට අමතරව සෙනුරට තවත් නිර්මාණයකට ආරාධනාවක් ලැබිලා ඇති බව තමයි ආරංචිය?
ඔව්... අනුරුද්ධ ජයසිංහ මහතාගේ පිටපතක් මට ලබලා දුන්නා. මේ දවස්වල මම ඒ පිටපත කියවනවා. අනුරුද්ධ අංකල්ව මම පොඩි කාලේ ඉඳන්ම දන්නවා. හැබැයි අපේ ඒ හැඳුනුම්කමට මම අංකල්ගේ එක වැඩකටවත් සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඉතින් අනුරුද්ධ අංකල්ගේ ඒ පිටපතට අමතරව තවත් නිර්මාණ කිහිපයකටම කතා කළා. හැබැයි තව තාදි රූගත කිරීම් කරන්න කොටස් තියෙනවා. ඊට අමතරව මේ මගේ උපාධියේ අවසන් වසරයි. ඒ අධ්‍යාපන කටයුතුත් මම කරන්න ඕනේ. කොවිඩ් ප්‍රශ්නය නිසා මට මේ කාලේදී ඕස්ට්‍රේලියාවේ යන්න බැහැ. හැබැයි මමත් Online ක්‍රමයට ඉගෙනීම් කටයුතු කරගෙන යනවා. අධ්‍යාපන කටයුතු වගේම තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලටත් මම යම් විදිහකින් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා මේ හැමදේම සමබරව මම කරගෙන යනවා.

පුංචි කාලේ සෙනුරගේ හීනය වුණේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නද?
 ඔව්.... පොඩි කාලේදී නම් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න හරියට ආසා කළා. හැබැයි සිදුවුණු පොඩි පොඩි අනතුරුත් එක්ක ඒක මගේ හිතින් නැතිවෙලා ගියා. ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ ලංකාවේ ක්‍රිකට් එක්ක මම සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මම හොඳට ඉගෙන ගෙන හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න හීන දැක්කා. දැන්නම් ව්‍යාපාරිකයෙක්ට අමතරව හොඳ රංගන ශිල්පියෙක් වෙන්නත් ආසා කරනවා.

ඕස්ට්‍රේලියාවේදී ගතකරපු ජීවිතේ කොහොමද?
මට කලින් අක්කි එයාගේ වැඩිදුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට ගියා. එහේ හරිම නිදහස්ව ස්වාධීනව ජීවිතේ ගත කළා. ලංකාවේ ඉන්න විදිහයි, එහේ ඉන්න විදිහයි ටිකක් වෙනස්. හැමදේම කළමනාකරණය කරගෙන ඉගෙන ගන්න ඕනේ. අපිට අපේ තනියට රුකවරණයට අම්මා තාත්තා ළඟ නැහැ. අපේ වැඩ අපිම තනියම කරගෙන ඒ රටේ ඉගෙනගන්න ටිකේ. රෙදි ටික හොදගන්නේ තනියමයි. කෑම ටික හදාගන්නේ තනියමයි. පරිස්සම ගැන තනිවම හිතන්න ඕනේ. ඒ වගේ හැමදේම කරගෙන අපේ අධ්‍යාපන කටයුතුත් අපිම කර ගන්න ඕනේ. දැන් ඒ ජීවිතයට මම හුරුවෙලා ඉන්නේ.

තාදි එකට සෙනුරට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
තාදි එකේ මගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලා නම් මම කියන්නේ නැහැ. බොහෝ හොඳ ප්‍රතිචාර ලැබෙද්දී මගේ චරිතයේ අඩුපාඩු ගැනත් මට ප්‍රතිචාර ලැබෙනවා. ඒකේ කිසිම වැරැද්දක් මම දකින්නේ නැහැ. ඒ හොඳ ප්‍රතිචාර නරක ප්‍රතිචාරත් ඔවුන් මට ලබලා දෙන්නේ ආදරයට කියලා මම විශ්වාස කරනවා. තාදි එකට හොඳ රසික පිරිසක් ඉන්නවා. මට මගේ අඩුපාඩු පෙන්නලා දෙන්නේ මට තිබෙන ආදරය නිසාමයි. ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඔය අඩුපාඩු හදාගන්න මට ලේසියි. ඒ නිසා මේ හැමදේම අපි ලබලා දෙන්නේ අපේ ප්‍රේක්ෂකයින්මයි. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා වටිනවා. ඒ නිසා අඩුපාඩු හදාගෙන තාදි ටෙලිනාට්‍යයට හොඳ සාධාණයක් ලබලා දෙන්න මම උත්සාහ ගන්නවා. තාදි හැම රාමුවකටම තාදි කණ්ඩායමේ හැමකෙනෙක්ගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ හැමෝටම මම ගොඩක් ස්තූති කරනවා.

සෙනුරගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මගේ උපාධිය අවසන් කරලා වැඩිදුර අධ්‍යාපනය කරන්න ඕනේ. ඒ අතරේ ව්‍යාපාර කටයුතු කරන ගමන් තාදි වගේ හොඳ නිර්මාණවලට දායක වෙමින් මම පුළුවන් උපරිමයෙන් රංගනයට සම්බන්ධ වෙන්නත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

 

                       සේයාරූ I සුමුදු හේවාපතිරණ