2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

ආදරෙන් ජීවිතය සොයා ගිය ඈ....සින්ඩරැල්ලා

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

අල පෙති පුරවලා ටෝස්ට් කරපු පාන් කමින් උණු කෝපි කොප්පයක් තොල ගාමින් මම සඳලු තලයෙන් එහා ගස් අස්සෙන් පේන අහස දිහා බලාගෙන හිටියා.
හැන්ඳෑවට අහසේ මේ විදිහට පාට තැවරෙන්නේ කොහොමද කියලා මම තවම දන්නෙ නෑ. තැඹිලි, දම්, අළු, සුදු, නිල් මේ පාට වළාකුළු අස්සේ තැවරෙද්දී ඒ අහස කියන්නේ කියාගන්න ලියාගන්න බැරි හැඟුම් සමුදායක් වගේ. එහෙම අහසක් දකින හැමදාම හිත ගිහින් නවතින එක තැනක් තමා සින්ඩරැල්ලා චිත්‍රපටයේ සින්ඩරැල්ලා මල් කළඹක් සොහොන මත තබමින් කුරුසයක් සහිත සොහොනක් ළඟ දණ ගසාගෙන ඉන්න සොවින් බර දසුන. සින්ඩරැල්ලා ඉංග්‍රීසි චිත්‍රපටය ඔයා බලලා තියෙනවනම් මම මේ කියන දර්ශනය ඔයාට මේ මොහොතේත් මතකයට නැගෙනවා ඇති.

සින්ඩරුල්ලා චිත්‍රපටය පටන්ගන්නේ ඇය ආදරයෙන් අම්මාත් තාත්තත් එක්ක ජීවිතය සොබාදහමත් සමඟ විඳින ආදරණීය තැනකින්. දෛවය ඇයි ඒ සතුට ඇයට පරිස්සම් කර නොදුන්නේ කියලා දෙවියන්ට දොස් නගන්න හිතෙන තරමට ඔවුන්ගේ ජීවිත වෙනස් වෙනවා. මේ දේවල් මේ විදිහට තීරණය කරන්නෙ කවුද කියලා දන්නෙ නෑ මම. දෛවය, ඉරණම කියන නම්වලින් මිනිස්සු හඳුන්වන්නේ ඒ තීරකයා වෙන්න ඇති. ස්වභාවධර්මය, දෙවියන් වහන්සේ, කුසල් අකුසල් මේ විදිහට මිනිස්සු අර්ථගන්වන්නේ අන්න ඒ බලවේග වෙන්න ඇති.

සතුට කවුදෝ හොරා ගනිද්දි ඇය ඇගේ තාත්තත් එක්ක තනි වෙනවා. ඒත් අම්මා කියන්නේ ඇගේ ලෝකයේ හැමතැනම ගැවසුණු සෙවණැල්ල. තමන්ගේ සෙවණැල්ලත් කළුවරකදි තමන් හැර යද්දි ඇයව කළුවරකදිවත් තනි නොකළ සෙවණැල්ල...
තනිය පුරුදු නැති මිනිස්සු තනිය තනි කරන්න කැමති නැහැ. ඒ නිසා ඒ අය හොයන්නෙ ඒ හිස්තැන මකන්න ආදේශකයක්. ඒ තාත්තත් එහෙමයි. ඇයට කුඩම්මා කෙනෙක් ගේන්නේ ඇගේ ලෝකය සරසන්න නෙවෙයි. ආදරයේ අලුත් වැස්සකින් මුඩු බිමක් වගේ වියළී ගිය ඇගේ ජීවිතය අස්වද්දන්න නෙවෙයි. ඔහු තවත් බිරියක් කැටුව එන්නේ ඔහුගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්.

ඇය තවත් දියණියන් දෙදෙනකුගේ මවක්. ඇය දියණියන් දෙදෙනා සමඟ පැමිණෙන්නේ මහ වැස්සක අශ්ව කරත්තයකින්. ඇය අකමැත්ත සඟවාගෙන තමන්ගේ පියා සමඟ කුඩයක් යටින් යනවා මේ කුඩම්මාව පිළිගන්න. තාත්තා නැවත වැස්සෙන් නොතෙමා කුඩය යටින් නිවස වෙත කැටුව යන්නේ තමන්ගේ දූ නෙවෙයි. අලුත් බිරිය හා ඇගේ දියණියන්. ඇගේ හිත රිදෙන පළමු තැන එතන. ඇයට ඇගේ නිවස, අයිතිය, ආදරය, තාත්තා මේ සියල්ල අහිමි වෙනවා. ඇය ඒ නිවසේ මෙහෙකාරිය බවට පත්වෙද්දි ඇයට ලැබෙන්නේ ඒ මුළුතැන්ගෙයි බිම නිදාගන්න පුංචි ඉඩක් හා වැරහැලි ගවුමක් විතරයි. ඇය හැමදාම ඇගේ අම්මාගේ සොහොන ළඟට යනවා දුක කියන්න. තාත්තෙකුට පුළුවන්ද එච්චර ඉක්මනින් තමන්ගේ දුවව අමතක කරන්න. තමන්ගේ දුවට නොසලකා හරින්න. ඇයව අතරමං කරන්න. ඇගේ නිවසේ හිඳින පරෙවියන් ඇයට ආදරෙයි. ඇගේ නිවස පිහිටි උද්‍යානයේ තුරු වදුළු මල් කැකුළු ඇයට ආදරෙයි. ඒ ආදරය තුළ ඇය ජීවිතයට අත්හැරෙන්න නොදී ජීවිතය හයියෙන් අල්ලා ගන්නවා.
සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය.. ඇය ඒ දේ විශ්වාස කරනවා. ඒ නිසා කවදා හරි දවසක ආදරයක් මුණගැසෙනකම් ඇය අනාදරය දරාගන්නවා. ඉරුණු වැරහැලි අඳින ඇය සින්ඩරුල්ලා.. 


එහෙත් ජීවිතය හැමදාම අපිට රිදවන්නෙ නෑ. හැමදාම හැමදේම ජීවිතය අපට අහිමි කරන්නෙත් නෑ. අවසානයේ සියල්ල අහිමි වූ ඇයට කුමාරයකුගේ ආදරය හිමිවෙනවා. ලස්සන රිදී පාට සපත්තුවක් තමයි ඒ වාසනාව අවසානයේ ඈ වෙත අරගෙන එන්නේ. 

දුක ඉහිරිච්ච ඒත් ලස්සන ආදරණීය රොමාන්තික චිත්‍රපටයක් තමා සින්ඩරැල්ලා කියන්නේ.
කවුද මේ මිනිස්සුන්ගේ ජීවිතවල ඇතැම් සංසිද්ධීන් මේ විදිහට තීරණය කරන්නේ. විනිශ්චය කරන්නේ.. ඔබට හිතිලා නැද්ද කවුද එහෙම කරන්නෙ කියලා.. අර මම ඉස්සරලා කීව විදිහට ඒ කවුරු වුණත් මම කියන්නේ කවදාවත් ජීවිතය අත්නොහැර ජීවිතයට ජීවිතයක් මුණගැසෙන තෙක් ජීවිතය ආදරයෙන් ඉවසිලිවන්තව දරාගන්න කියලා. ජීවිතය ආදරයෙන් මලක් මෙන් සිපගන්න කියලා. මොකද අඬන ඇස් දෙකකට හිනාවෙන්න දවසක් මොහොතක් නොඑනවානම් ඒ හරිම කලාතුරකින්.
කඳුළු දෙන්නෙ හිනාව දරාගන්න.. අනාදරය රිදවන්නේ ආදරය වටිනාකමක් විදිහට තේරුම් ගන්න... රිදුම් දෙන්නෙ සතුටක සැනසිල්ලක මහා අගය තේරුම් ගන්න.. හුඟාක් දේවල් මිනිස්සුන්ට අහිමි කරන්නේ.. හිමිකමක් පරිස්සම් කර ගන්න හැටි කියා දෙන්න.. මට හිතෙන්නේ මම විශ්වාස කරන්නෙ එහෙම.

සින්ඩරැල්ලා අපිට කියා දෙන්නෙත් අන්න ඒ ජීවන සත්තාව කියලයි මට හිතෙන්නේ.