2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

මම ආදරය කළේ බෝධිසත්ත්වයෙකුට

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

අද තනිකඩයා විශේෂාංගය තුළින් ඔබ හමුවට එන්නේ ග්‍රන්ථ 340කට අධික ප්‍රමාණයක් ලියා පළකළ ප්‍රවීණ ලේඛිකා ජනප්‍රසාදිනී සම්මානනීය ගත්කතුවරියක වන සෝමා ජයකොඩි මහත්මියයි.
ළමා සාහිත්‍යය, යොවුන් සාහිත්‍යය, නවකතා, ගුවන්විදුලි නාට්‍ය හා ඉතිහාස කතා රැසක් ලියූ ඇය පසුගියදා ඇගේ නිවස හා පුස්තකාලය රජයට පරිත්‍යාග කළාය.

ඔබේ කියවීමට අනුව විවාහය කියන සංකල්පය ඔබ දකින්නේ කොහොමද?
මානව වර්ගයාගේ පැවැත්මටයි සොබා දහමේ නියමයන්ට අනුව මිනිස්සු විවාහවෙන්න ඕනෙ. කාන්තාවක් හෝ පිරිමියෙක් විවාහ වීම හෝ නොවීම ඒ පුද්ගලයාට අදාළ දෙයක් මිසක් ඒකට කිසි කෙනෙකුට බලපෑමක් කරන්න බැහැ. ඒක ඒ අයගේ අයිතියක්. බලාපොරොත්තු නොවූ යම් යම් හේතු නිසා කෙනෙක් විවාහ නොවී ඉන්න පුළුවන්. නමුත් ඒක සමස්තය නොවෙයි. පුද්ගලයාගේ චර්යා ධර්මයයි, සමස්ත චර්යා ධර්මයයි දෙකක්නෙ.

ඔබ විවාහ නොවුණේ යම්කිසි හේතුවක් නිසාද?
මම විවාහ නොවීම මට නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. මම ආදරේ කළ කෙනා යම්කිසි හේතුවක් නිසා මට ලැබුණෙ නැහැ. ඒක දුකක් තමයි. නමුත් එහෙම වුණා කියලා මම ජීවිතේ කඩාකප්පල් කර ගත්තෙ නැහැ. හොඳ පැවැත්මක් ඇතුව ඉස්සරහට ආවා.
ඒ විරහව මට ආවෙ ආශීර්වාදයක් හැටියට. මම ලියන්න පුරුදු වුණා. හිතට කරදරයක් දුකක් ආපු වෙලාවට මට හොඳට ලියන්න පුළුවන්. ලියන කියන හැමෝටම ඒක හොඳ අත්දැකීමක් වෙන්නැති. මගේ නිර්මාණ තුළින් සමාජයට යම් පණිවිඩයක් දෙන්න තමයි මට ඕනකම තිබුණේ. මට ලැබෙන පාඨක ප්‍රතිචාරවලින් ඒක මම කරලා තියෙනවා කියලා හිතෙනවා. මේ විශ්වය තමයි අපිව මෙහෙයවන බලගතුම බලය. අද විවාහ නොවීම නැත්නම් ළමයි නැතිවීම තමයි මේ සමාජයේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ. ඉතින් මිනිස්සුන්ගේ ප්‍රශ්න මොකටද මගේ ප්‍රශ්න කරගන්නෙ. විවාහ වෙන්න ඕනෙ, ළමයි ලබන්න ඕනෙ, නැත්නම් සමාජ ප්‍රගමනයක් නැහැනෙ. එහෙම නොවුණා කියලා ලෝකෙම වැටෙන්නෙ නැහැ. අනික විවාහ වෙලා ඉන්න හැමෝම ප්‍රීතිමත් ජීවිත ගත කරනවද? ටිකක් කල් යනකොට හිතෙනවා මේක නොකළා නම් හොඳයි කියලා. මේක තමයි ස්වභාවය. ඒත් සංසාර පුරුද්දට හමුවෙලා ආදරෙන් විවාහ ජීවිත ගත කරන අයත් ඒ අතර ඉන්නවා.

ඔබේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටෙන්න හේතු වුණු කාරණා මොනවද?
මම ආදරේ කරපු මට ආදරේ කරපු කෙනාට අපේ දෙමාපියෝ විරුද්ධ වුණා. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ දේශපාලන මතවාද. ඉතින් මට ඔළුව නමන්න සිද්ධ වුණා. මම මේ කතා කරන්නෙ 2021 ගැන නොවෙයි. අවුරුදු 50කට කලින් සිද්ධ වුණු දෙයක් ගැන. ඒ සමාජ රටාවයි අද සමාජ රටාවයි වෙනස්. මේ කාලෙ වුණා නම් මම සේරම දාලා යන්න තිබුණා. දෙමාපියෝ මට යෝජනා ගොඩාක් ගෙනාවා. ඒත් මගේ හදවතේ ඉඩ තිබුණෙ ඔහුට විතරයි. මට ආදරේ කරන කෙනෙක් ඉන්නකොට, මම කොහොමද එයාව හිතේ තියාගෙන සමාජය සතුටු කරන්න වෙන කෙනෙක් විවාහ කරගන්නෙ. එහෙම කරලා තිබ්බා නම් මම ඔහුට කරන්නේ කොච්චර ලොකු අසාධාරණයක්ද? මගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටීම මගේ ප්‍රශ්නයක්. ඒක ලෝකෙට හෝ සමාජයට ප්‍රශ්නයක් නොවෙයිනෙ. ඒක අදාළ වෙන්නෙ අපි දෙන්නට විතරයි.

ඒත් ආපහු හැරිලා බලද්දී මට ඒ ගැන පසුතැවෙන්න හේතුවක් නැහැ. ඔහුටත් ඕන වුණේ මාව හොඳ තැනකට ගේන්න. ඔහු කවදාවත් අවිචාර, අශීලාචාර වුණේ නැහැ. සාන්තුවරයෙක්, බෝධිසත්වයෙක් වගේ කෙනෙක් එක්ක තමයි මම ඇසුරු කළේ කියලා මට හිතෙනවා. එයාට විරුද්ධව තීරණයක් ගන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ. ලෝකෙට පේන්න කිසිම කෙනෙක් විවාහ විය යුතු නැහැ.

බැඳීම් කියන්නෙ දුකක් කියලා අවබෝධ වුණ නිසාද ඔබේ නිවසත් පරිත්‍යාග කළේ?
බැඳීම් අතහරින්න කියලා කිව්වට අපි හැම කෙනෙකුටම බැඳීම් තියෙන්න ඕනෙ. හැබැයි එතන තෘෂ්ණාව තියෙන්න බැහැ. බැඳීමක් එක්ක මතුවෙලා තියෙන වගකීම් හා යුතුකම් අපි ඉෂ්ඨ කරන්න ඕනෙ. මම මේ නිවස හා පුස්තකාලය පරිත්‍යාග කළේ බැඳීම්වලින් නිදහස් වෙන්න නොවෙයි, සමාජයට වඩා හොඳ දෙයක් වෙනවා දකින්න. මම මේවා යනකොට අරගෙන යන්නෙ නැහැනෙ. බැඳීමට වඩා මිනිස්සුන්ගෙන් ඉෂ්ට වෙන්න ඕනෙ යුතුකම් හා වගකීම්. අපේ බුදු දහමෙ වුණත් සිදුහත් කුමාරයයි, යශෝධරා දේවියයි හැම සසරෙම එකට ආවෙ බැඳීම් නිසා නොවෙයිද? හැබැයි ප්‍රේමය තුළින් බැඳිලා ඒ තුළ තියෙන වගකීම, යුතුකම හා අවසාන ඉලක්කය ලෝකෙට කියලා දුන්නා. මම පසුගිය වැලන්ටයින් දවසෙ මගේ මූණු පොතේ සටහනක් තිබ්බා ආදරවන්තයින්ගෙ දවසෙ රෝස මලක් පුද කරන්න ඕනෙ සිදුහත් කුමාරයාටයි, යශෝදරා දේවියටයි කියලා. ඒකට මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. පිවිතුරු ප්‍රේමය තිබුණෙ එතැන කියලා අපි පිළිගන්න ඕනෙනෙ. ප්‍රේමයක් නැතුව සතුටින් ඉන්න පුවවන්ද එක ගෙයක් ඇතුළෙ? මරාගන්නවනෙ. ඉතින් එහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද?

අවිවාහකව තනිකඩව ජීවත්වෙන්න ඔබ තුළ තිබෙන ලොකුම ශක්තිය කුමක්ද?
මට කල්‍යාණ මිත්‍රයො තමයි ගොඩාක් ඉන්නෙ. හරියට අම්මා කෙනෙක්ව බලාගන්න දරුවො වගේ කියලා කියන්න පුළුවන්. ජීවිතේ කරදර හෝ මානසික පීඩා ඇතිවුණාම ඒවා සමහන් වෙන්නෙ ඒ ගොල්ලො නිසා. ඒ අතර ගොඩක් තරුණ පිරිස් ඉන්නවා. මට ඒ ශක්තිය ගොඩාක් වටිනවා. මෑතකදී නම් මම පීඩාවට පත්වුණේ මගේ නිවස පරිත්‍යාග කළාට පස්සෙ. මේ වගේ දෙයක් වෙලා තියෙන්නෙ පළවෙනි වතාවට. ඉතින් ඒ සම්බන්ධව නීතියක් නැහැලු. ඇඳුමෙ හැටියට ඇඟ කපන්න බැහැනෙ. ඒ නිසා අඟේ හැටියට ඇඳුම කපන්න ඕනෙ. ඒ අනුව නීති සම්පාදනය වෙන්න ඕනෙ. අපි ඉන්නෙ වෙනස් වෙච්ච ලෝකෙක. පරණ නීතිත් එක්ක අපිට ඉස්සරහට යන්න බැහැ.

ඔබේ සැබෑ ජීවිතේ කොටස් වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්න ඔබ ලියූ මොන නවකතාවෙද?
සාමාන්‍යයෙන් ඕනෙම ලේඛකයෙක් යම්කිසි නිර්මාණයක් කරන කොට තමන්ගෙ පෞද්ගලික අත්දැකීම් වගේම සමාජ අත්දැකීම්, අනාගත දැක්ම වගේ දේවල් ඒවාට එකතු කරගන්නවා යම් ප්‍රමාණයකට. ලංකාවෙ නම් අනාගතය ගැන ලියන අය නැහැ. අතීතය ගැන ලියන අය ඉන්නවා. මම ලියන්නෙ අනාගතය ගැන.

ඔබේ ජීවිතේ අතීත සිදුවීම් ගැන හිතලා ඔබ පසුතැවෙන්නෙ නැහැ කිව්වා නේද?
ඔව්. මම මගේ ජීවිතේ දුක්බර දේවල් ගැන හිත හිතා අඬ අඬා ඉන්නෙ නැහැ. මොකද මම ධර්මයනෙ ඇසුරු කළේ. එතැනදි තමයි මම සාර්ථක වුණේ. අපි දැහැමි නම් අපි ඒ විදිහට ඉන්න ඕනෙ බොරු කරන්නෙ නැතුව. දුක කියන එක ජීවිතේ නැතුව නොවෙයි. ඒත් ඒක මගේ ජීවිතේ බිමටම සමතලා කරන එකක් වුණේ නැහැ. වැටිලා නැගිටින කෙනෙක් තුළ තියෙනවා ලොකු ශක්තියක්. පළිගැනීම්, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මා ළඟ නැහැ.

අවිවාහක කෙනෙක් කියන්නෙ ජීවිතේ තනිවුණු කෙනෙක් කියලා සමහරු හිතනවා?
ඒක වැරදියි. අවිවාහක කෙනෙක් කියන්නෙ තනිවෙච්ච කෙනෙක් නෙවෙයි. මම විශාල පිරිසක් මැද, ඒ ගොල්ලන්ගෙ ආදරය හා ගෞරවය මැද ජීවත් වෙන කෙනෙක්.